මරා මළා!
ඔක්තෝබර් 15වැනිදා,
කොළඹදී.
ප්‍රිය ජැක්සන් ,
මගේ ලියුමට එබී බලපු බිරිඳගෙ කටින් පිටවුණා ජැක්සන් මළානෙ කියල .ඇත්ත . ඒ වුණාට මාස පහළොවක් තිස්සෙ ලංකාවෙ සෑහෙන පිරිසකගෙ පණ තියෙන්නෙ ඔයා ගාවනෙ ජැක්සන් .මැරිල වළලලත් ඒකෙ වෙනසක් වෙලා නෑනෙ.ඉතිහාසය විකුණගැනීමෙන් කප් ගහපු ජැක්සන් බාගෙට හා හරියට මැරිලත් කප් ගහනව, ඉතිහාසෙ කිසිම කලාකාරයෙක් මෙහෙම විකිණිලා නැති නිසා .මැරිලත් සන්තෝෂයිනෙ.(මමත් මේ ඔයාව විකුණනව තමයි . මළගෙදරදිත් ඔයාව වික්කනෙ කියල මේක සාධාරණීකරණය කරන්න
බෑ තමයි.ඒ වුණාට මාත් ඉතින් proud srilankan කෙනෙක්නෙ)
අනේ මන්දා,ඔයාට කලාකාරයෙක් කීමත් හරිද මන්දා.පහුගිය දවස්වල ඇතැම් සිරා විචාරකයො ඔයාව නිසි තැන තිබ්බ අඩු ගානෙ ජැක්සන් හොඳ නළුවෙක්වත් නෙවෙයි කියල .සිංහලෙන් කියනව නම් ඔයාව cut in to size කරා.චිත්‍රපට,ටෙලි නාට්‍යවලත් ඔයැයිගෙ තියෙන්නෙ නාට්‍යවල තියෙන අධි තාත්වික රඟපෑමය කියන්නෙ.මේක අහල අපේ පුතා කිව්ව ඒ වුණාට වැඩියෙන්ම සිනමා,ටෙලි සම්මාන දිනාගත්ත නළුවා ජැකානෙ කියල .ඒකෙන් අර විචාරකයො කළ විශිෂ්ට සොයාගැනීම වැරදි වෙන්නෙ නෑනෙ.ඔයාව හොඳම නළුවා හැටියට තෝරපු සිය ගණනක් විනිශ්චයකාරයන්වනෙ හෙළිදරව් වෙන්නෙ,නේද ?
මගේ බිරිඳ කියනවා ඔයාට පහරදෙන මිනිස්සු කියන්නෙ ඇත්තනෙ.ඔයා ඇරෙන්න දේශපාලනඥයන්ට කඩේ ගිය වෙන කිසිම කලාකාරයෙක් නැති මේ පුණ්‍ය භූමියෙ,ඒ මිනිස්සුන්ගෙ රත්තරන් මූණුවලත් දැලි ගෑවුණානෙ ඔයා නිසා කියල .ඈ කියනව ඊළඟ ආත්මෙවත් ඔයා දක්ෂ වගේම අපක්ෂපාතී කලාකාරයෙක් වුණොත් හොඳයිලු.මට කියවුණා ජැක්සන් කතෝලිකයා,ඕකා දෙවියෙක් හරි යකෙක් හරි වුණොත් මිසක් මනුස්ස ආත්මයක උපදින්නෙ නැහැනෙ කියල .අපේ පුතා මගෙන් අහනව ජැකා වැඩියෙ හොඳ ඒ දෙකෙන් කොයි චරිතෙටද කියල .
මට නම් ජැක්සන් ඔයා ගැන තියෙන කළකිරීම අපේ නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා සාර්ථකව අලෙවි කිරිල්ල ගැනයි.ඒක හිමිකම් නැත්නම් කොපි රයිට් හොරකමක්නෙ.
රෙදි බැනියම් අඳින කට්ටියගෙයි,සිවුරු අඳින කට්ටියගෙයි පාරම්පරික බිස්නස්සෙක විකුණගෙනනෙ ඔයා ජීවත්වුණේ.අපේ පුතා අහනව කඩේ යන්නෙ නැතුව ජැකාම
රෙදි බැනියම් රස්සාවට හරි සිවුරට හරි බැස්ස නම් කොහොම ගමනක් යයිද කියල .බුදු අම්මෝ!
ඔයාගෙ වාහනේ අලියෙක් හැපිල්ල අපතෙ ගියේ නෑ ,ජැක්සන්. අපේ සල්ලිවලින් මවුන්ට් එළිසබෙත් යන රටේ ,බයිසිකලේකින් පාර්ලිමේන්තු ඇවිත් කාර් කොම්පැණි සල්ලි දීල ගන්න රටේ,අහිංසාවාදී ආගම් වෙනුවෙන් මරාගන්න කැහැපොට ගහන රටේ,ජැක්සන් ලොකුම අපරාධකාරයා වුණාම
අපිට හොඳටම තේරැම් ගියා අපේ හෙට දවස ඈවරයි,දෑවරයි,තීන්දුයි කියල .ඔයාට ෆේස් බුක් පිහිටයි!
මම,
මානි
ප:ලි:ජැක්සන් ඔයා කතෝලිකයා නිසා පුනරැත්පත්තිය අදාළ නෑ තමයි .ඒත් ඔය තිබිච්ච බෞද්ධ උණ නිසා,වැරදිලාවත් ආයෙ ඉපදිලා ජම්ම පුරැද්දට ආයෙ කඩේ යන්න හිතුණොත් අරගොල්ලොන්ට එහෙම කඩේ යන්න එපා හොඳේ .කඩේ යන්නම ඕන නම් කඩේ ගියාට බැණුම් අහන්න වෙන්නෙ නැති කට්ටියකට කඩේ යන්න හොඳේ
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මෙල් මහතා විසින් රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව කළ විවේචන සහ චෝදනා සම්බන්ධයෙන් උපහාසාත්මකව ලියූ නිර්මාණාත්මක ලියැවිල්ල ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගැනිණි.