මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයකම දකින නවින්දි රැපියෙල් කලා ක්ෂේත්රය තුළ දකින්නට ලැබෙන අලුත් මුහුණකි. ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන දිව්‍යාදරි හි තුෂි ලෙසත්, හිරු රූපවාහිනියේ විකාශය වෙන සංසාරිණි හි අමෝදි ලෙසත් වර්තමානයේ ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගන්නට සමත් නවින්දිට මෙවර මිරර් ආර්ට්ස් තුළින් අපද ඉඩක් වෙන් කළා.
කලා ක්ෂේත්රයට ඔබගේ පිවිසීම සිදුවන්නේ කොහොමද?
ටෙලි නාට්‍යය රංගනයට නම් එන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. ඒ ප්‍රදිප් ධර්මදාස අයියාගේ දිව්‍යාදරි ටෙලි නාට්‍යය තුෂි කියන චරිතය හරහා. හැබැයි මම රංගනයට එන්නේ මට වයස අවුරුදු හතක් වෙද්දි. මුලින්ම රඟපෑවේ ඇන්කර් නිව්ඩේල් කියන වෙළෙඳ දැන්වීමේ. එදා ඉඳලා ඉතින් අද වෙනකම් මම වෙළෙඳ දැන්වීම් බොහෝමයකට පෙනී ඉඳලා තියෙනවා.
දිව්යාදරිට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් කිව්වොත් හරි. මගේ මල්ලි මට කලින් දිව්‍යාදරි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. ප්‍රදිප් අයියාගේ බෝංචි ගෙදර ඉන්ද්‍රජාල ටෙලි නාට්‍යය හරහා තමයි මල්ලි රඟපාන්න ආවේ. ඒ හින්දා මල්ලිව ගොඩක් හොඳට ප්‍රදිප් අයියා දන්නවා. ඔහු මල්ලිට කියලා තිබුණා පිහිනන්න දක්ෂ ගැණු ළමයෙක් ටෙලි නාට්‍යයට අවශ්‍යයි කියලා. මල්ලි කිව්වා නිකමට වගේ අපි පොටෝ ටිකක් යවලා බලමු ප්‍රතිපලය මොකක් වුණත් කමක් නැ කියලා. මල්ලි රඟපාන නිසා මටත් පොඩි කැමැත්තක් තිබුණා රඟපාන්න. කොහොම හරි පොටෝ ටික යවලා තිර පරික්ෂණයකටත් ඒ අය මට කතා කළා. එකටත් මුහුණ දුන්නට පස්සේ තමයි මට තුෂි කියන චරිතයට ලැබුණේ රඟපාන්න.
දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?
දිව්‍යාදරි තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. එහි තුෂි කියන චරිතය ගොඩක් ප්‍රේක්ෂකයෝ කතා කරපු චරිතයක් වුණා. දෙරණේ විකාශය වුණ ශක්ති ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා. එහි මම ඉදිරිපත් කළේ ටයිනිගේ චරිතය. ඒකත් මම කරපු ලොකු චරිතයක්. හිරු නාළිකාවේ විකාශය වෙන සංසාරිණි ටෙලි නාට්‍යයේ අමෝදි කියන චරිතයෙන් මේ දවස්වල මාව දකින්න පුළුවන්. ඒක මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක් කිව්වොත් හරි. ගොඩක් ආරාධනා එනවා නමුත්, භාරගන්නේ නැහැ. මොකද, මම දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින නිසා.
රඟපාන්න ඔබ දක්ෂද?
ඇත්තටම ඒකට මට දෙන්න උත්තරයක් නැහැ. මම රඟපාන විදිහ බලන ප්‍රේක්ෂකයින්ට තමයි ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. රංගනය කියන්නේ මට අලුත් දෙයක්. ඉතින් තවමත් මම මේ දේවල් ඉගෙන ගනිමින් තමයි රංගන කටයුතුවල නිරත වෙන්නේ. අ.පො.ස උසස් පෙළට මම නාට්‍යය හා රංග කලාව විෂයක් විදිහට හැදැරුවා. නමුත්, මම දන්නවා ඒක විතරක් ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් ඉදිරියට රංගනය ගැන හදාරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ගැටළුවකට තියෙන්නේ මේ තියෙන වැඩත් එක්ක ඒකට කාලය සොයා ගැනීමේ අපහසුව. දැනට මම ව්‍යාපාර කළමණකරණය පිළිබඳවත් හදරමින් සිටිනවා.
පවුලේ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වුණාට?
මගේ පවුලේ ගොඩක් අය කලාවට සම්බන්ධ වුණ අය. විශේෂයෙන්ම තාත්තා. ඊට අමතරව මගේ මල්ලි. එයා දැනටත් ටෙලි නාට්‍යය කිහිපයකම වගේ රඟපානවා. මගේ ආච්චි සියා දෙන්නත් ගොඩක් සංගීතයට කැමති දෙන්නෙක්. ඉතින් මායි මල්ලියි හැදුණේ ඒ වටපිටාවක් තියෙන නිවසක. ඉතින් ගෙදර අය කවදාවත් මට එපා කිව්වේ නැහැ කලාව පැත්තට යොමු වෙනවට. ඒ අය මට නිදහසේ තිරණ ගන්න අවස්ථාව දීලා තිබුණා. හැමදේටම මගේ සෙවණැල්ල වගේ ඉන්නේ මගේ අම්මායි තාත්තායි. ඊට අමතරව මල්ලිගෙන් ලැබෙන සහයෝගයත් කියලා නිම කරන්න බැහැ.
ආදරේ යෝජනා එහෙම ලැබෙන්නේ නැද්ද?
ආදර යෝජනා නම් ලැබෙනවා. නමුත්, එහෙම ලොකුවට ඒ දේවල් වදයක් වෙලා නැහැ. අනික ආදර සම්බන්ධයක් ගැන හිතන්න මම තාම පොඩි වැඩියි කියලා මම හිතනවා. මොකද, මම ඔළුවේ තියන් ඉන්නවා ගොඩක් ඉලක්ක. ඉතින් ඒ ඉලක්කවලට යන්න නම් මට නිදහස් මනසක් අවශ්‍යයි. දැනටත් මම අධ්‍යාපන කටයුතු නිසා කාර්යබහුලයි. ඉතින් ඒ වගේ දෙයක් මට තාම හිතෙන්නේ නැහැ. වෙලාව අවාම මම ඒ ගැන හිතනවා ඉතින්.
සංවාදය : බුද්ධික සේනාධීර