1961 වර්ෂයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්දරයන්ගේ සිංහබාහු නාටකයේ සිංහබාහු භූමිකාව පළමු වරට රඟපෑ රංගන ශිල්පී චාලි ජයවර්දනයන් පසුගියදා (17) දිවි රඟ මඩලින් සමුගැනීම සනිටුහන් කළේය.
ඒ සම්බන්ධයෙන් ගලප්පත්ති මහතා සිය ශෝකය පළ කරමින් තැබූ සටහනක් පහතින් පළ කෙරේ.
සිංහබාහුත් පළමුවැන්නා යන්නම ගිහිං මහාචාර්ය සරච්චන්ද්‍රගේ විශිෂ්ටම රංග කාර්යය ලෙස පිළි ගැනෙන සිංහබාහු නාටකයේ පළමුවන නිෂ්පාදනයේ (1961) සිංහබාහු භූමිකාව පණ ගැන්වූ චාලි ජයවර්ධන ( නාට්‍ය කණ්ඩායමට චාලි අය්යා වූ ) සිංහ පවුල හැර ගිය බව දැනගන්නට ලැබුණේ ඊයේ රාත්‍රියේ ය. මේ වන විට සිංහබාහු නාටකයේ පළමු හා දෙවන සිංහයන් වූ මාක් ඇන්තනි ප්‍රනාන්දු හා සමන් බොකලවෙල යන දෙදෙනා ම ලෙන හැර ගොසිනි.ඔවුන් රංග භූමියට කැඳ වූ පොතේ ගුරු ටෙරන්ස් රණසිංහ ද කලක් යුවරජු වූ දන්තුරේ බණ්ඩාර ද සිංහ පවුලෙන් ඈත් වූවෝ වෙත්. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වූ චාලි ජයවර්ධන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙක් ලෙස කටයුතු කළ අතර තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කොට ඇත.පරිපාලන සේවයේ සගයන් අතර ඔහු ප්‍රසිද්ධව සිටියේ O.C.Jayawardane නමිනි. අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ආදි විද්‍යාර්ථියකු වූ චාලි ජයවර්ධන ප්‍රවීණ චිත්‍රපට නළු ඩොමී ජයවර්ධනගේ බාල සොයුරා ය. සිංහබාහු නාට්‍යයේ සිංහබාහු භූමිකාවට අමතරව සරච්චන්ද්‍රගේ ම වෙස්සන්තර නාටකයේ ද රඟ පා ඇත. සිංහබාහු පසු නිෂ්පාදනයක් දී යුවරජු භූමිකාව රඟ පා ඇති චාලි ජයවර්ධන කාලගෝල, ශ්‍රී වික්‍රම ආදී නාට්‍ය රැසක රඟ පෑවේය. ඔහු දිවි රඟ මඬලින්, සිංහ ලෙනින් නික්මෙන කල අසූදෙවන වියෙහි පසු විය. සිංහබාහු අවසන් සමුගැනීමේ තොරතුරු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග දන්වයි. රඟ මඬලේ යුවරජු ලෙස ද මගේ පොතපතක් දොරට වැඩුමක දී නොවැරදීම හමු වූ හා ඇසුර ලැබූ වැඩිහිටි සගයා ද වූ චාලි අය්යා ප්‍රාර්ථනා කළ යහපත් ලොවක සිටිනු ඇත යන විශ්වාසයෙන් ඔහුට සුබ රාත්‍රියක් පතමි.