ජනප්‍රිය ගායන ශිල්පී දයාන් විතාරණ 550 වැනි ගීතය ගායනා කළ අතර ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
හෙළයේ මුදුන් මල් කඩ බඳු වූ දන්ත ධාතුන් වහන්සේ මෙරට ශ්‍රේෂ්ඨ මෙන්ම පූජනීය වස්තුවයි. හේමමාලා කුමරියගේ සහ දන්ත කුමාරයා කිත්සිරි මෙවන් රජ දවස මෙරටට වැඩමවූ දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බඳු විය. පළමු විජයබාහු, පළමු පරාක්‍රමබාහු,දෙවන පැරකුම්බා, සයවන පැරකුම්බා සේම පළමුවන විමලධර්මසූරිය වැනි ශ්‍රේෂ්ඨ නිරිදාණන් රැසක් දළදාව වෙනුවෙන් කැපවුණු අය වෙත්.
කෝට්ටේ යුගයේ අවසාන භාගයේ රදවා තිබූ දන්තධාතුව දේශපාලන අස්ථාවරත්වය හමුවේ අම්බුලුගල සඟවා තබන ලදී. පසුව එය නුවරට වැඩම කර දළදා මාලිගාවේ තැන්පත් කරන ලදී.
එලෙස දිගු ඉතිහාසයකට හිමිකම් කියන අම්බුලුගල දන්තපාය රජමහ විහාරය වතුරකුඹුරේ ධම්මරතන හිමි ගේ ස්වෝත්සාහය සහ දායක සභාවේ අප්‍රතිහත දිරියෙන් බුද්ධාලම්බන ප්‍රීතීය වඩවනු වස් මේ ඉල් පොහොය දින බැතිමතුන් හට විවෘත කෙරෙත්.
මේ ඉල් පුන් පොහෝ දින,එනම් 26 වන ඉරුදින ස්වර්ණවාහිනී නාලිකාවෙන් මා විසින් ගැයූ 550 වෙනි ගීය ලෙස අම්බුලුගල දන්තපාය විහාර වර්ණනාව ඔබ සැමට ශ්‍රවණය කිරීමට ආරාධනා කරමි.ශාස්ත්‍රපති සගම අනෝමදස්සී හිමිපාණන් විසින් රචිත මෙම ගීය දර්ශන වික්‍රමතුංග සංගීතවේදීයාණන්ගේ සංගීතය යෙන් හැඩ වන ලදහ. පංච තූර්ය හඩ හා එක් වූ තේවා හඩ සමග නිර්මිත සංගීතය සේජ් ශබ්දාගාරයේදී ගයාන් පෙරේරා පටිගත කර සදරු ගමගේ ගේ සුරතින් නාද තුලනය වන ලදී.සම්බන්ධීකාරක ලෙස හිතවත් මා මිතුරු චමෝද් රුක්ෂාන් ගේ දායකත්වයද මතක් කළ යුතු වේ.
මාගේ දිවියේද මෙම ගීය සුවිශේෂී මං සලකුණක් වන අතර ඔබ සැමට මෙය සවන් පත් අතර සජීවීව සැරිසරන්ට 26 වන පොහෝ දින අම්බුලුගල දන්තපාය විහාරයේ සිට මෙමගින් මා ශ්රවණාරධනා කරමි.
සව් කෙළෙස් නැසූ සනරාමර ලොව්තුරු දළදා
දෙව් හරසර මැද වැඩ හිදිමින් බුදු රැස් විහිදා
පෑ පෙළහර හද සිතුවම් කොට දනමන පුබුදා
මහ වෙහෙර දිළෙයි පව් සිතුවිලි නිසැකව පරදා.
අම්බුලුගල දන්තපාය රජ මහ වෙහෙරේ
අන්න බලන් යළි පිබිදී බුදු රැස් විහිදේ
පෙර වීර විකුම් පෑ සයවැනි පැරකුම් නිරිදා
පින්සර සිතින් ඉදි කරලූ බැතිමල් පුබුදා
මහ වෙහෙර යළිත් පිබිදී සැම සිතුවිලි පහදා...
රන් රුවට දිළෙන හැටි පුදුමයි බුදුරැස් විහිදා
අම්බුලුගල දන්තපාය රජමහ වෙහෙරේ
අසිරිය දැක නමදිමු අපි සිතුවිලි පැහැදේ
සැම අදමිටු ගති මිසදිටුකම් සැබවින් පරදා
පෙර නෙල්ලිගලින් කූරගලින් සසුනම පුබුදා
අද දන්තපාය මහ වෙහෙරත් විකසිත කළ දා
මහ පුදුමයකින් බලා හිදියි විස්කම් උවිදා
අම්බුලුගල දන්තපාය රජමහ වෙහෙරේ
අසිරිය දැක නමදිමු අපි සිතුවිලි පැහැදේ.
ශාස්ත්‍රපති සගම අනෝමදස්සී හිමි / විශාරද දර්ශන වික්‍රමතුංග