'කනත්ත පාර' ගීතයෙන් ජනප්‍රිය වූ අර්ජුමාන් මේ වන විට සිය සංගීත ජීවිතය තුළ කාර්යබහුල චරිතයක් වුවත් සිය මිත්‍ර සමාගමය නොවෙනස්ව පවත්වාගෙන යන්නෙක් බව පෙනෙන්නට වූයේ පසුගියදා ජගත් මනුවර්ණ කොඩිතුවක්කු අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' චිත්‍රපටය නැරඹීමට යාම දක්නට ලැබීම හේතුවෙනි.
කෙසේ නමුත්, ඉන් දින ගණනාවක් ඉක්බිති සැමගේ අදහස් විමසන සිය හෘදය සාක්ෂියේ අදහස් අර්ජුමාන් හෙළි කර තිබිණි.
මළගිය භූත ආත්ම හොල්මන් කරන රහස් කියන කඳු!
ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් තාමත් මගේ මොළේ රසායනික තත්වය වෙනස්. වෙනස් කියන්නෙ ආයෙමත් ස්වභාවික තත්වයට ආවා වගේ මට දැනෙන්නෙ. පහුගිය කාලේ අනපේක්ෂිතව ලැබුන ජනප්‍රිය රැල්ලත් එක්ක බෝට්ටුව එක එක පැත්තට වැනෙන්න පටන් ගත්තා. සැඩ සුලං ආවා. මුහුද සැර කරා. සුනාමියක් වගේ උස රැලි ගැහුවා. කොච්චර රුවල් තද කරත් ඒ රාක්ස රැලි එක්ක හැප්පෙන්න අමාරුයි. බටහිරට හරවන්නද නැගෙනහිරට හරවන්නද මට හරියටම තේරුන් නෑ. ඔහොම ඉද්දි මුහුදු හුලං වැදිලා මට මාරාන්තික උණක් සෙට් වුනා. බෝට්ටුව යටට රිංගලා කුණු මාලු අස්සෙ සති දෙකක් නින්දකට ගියා. නැගිටලා බලද්දි මුහුදෙ සැර අඩු වෙලා. ඉර පායන්න ළඟයි. එක පාර ජගා අයියා කථා කරලා කිව්වා ෆිල්ම් එකේ ප්‍රිමියර් එකට වරෙන් කියලා. ෆිල්ම් එක බැලුවා. උණ හොඳ වුනා. දැන් අහස පැහැදිලියි.
අපි අතර එදිනෙදා වැඩ සිටින ඉතා ගුණගරුක, නිතර පල්ලි යන, නිතර පන්සල් යන, යහපත ගැන නිතර උදම් අනන, දුප්පත් අයට දානමාන දෙන, දෙවියන්ට කීකරු, ජොබ් එකට මහත් සේ කැප වෙච්ච, සුචරිත මිනිසුන්ගේ ලැට් එක පිටුපස ඇති අඳුරු මිලේච්ඡ යක්ස ස්වභාවය දැන් මට වෙනදටත් වඩා ඉතා පැහැදිලිව පේන්න අරන්. හරකගෙ ඔලුවට පොරොවෙන් කොටලා, දනිස් කුඩු කරලා බිම වට්ටලා, ආයෙත් මැරෙනකම්ම වද දුන්න ලේ තවරාගත්ත මස් කඩේ කම්කරුවන්ට වඩා මම ගොඩාක්ම භය තෙල් නැති කටු නැති සුපිරි මස් තේරීම තම විනෝදාංශය හෝ තම පොරත්වය පෙන්වීමේ නිර්ණායකයක් කරගත් නාගරික මැද පන්තියේ ඉහල පෙලේ රැකියාවන් වල නිරත වන පිරිසිඳු ඇඳුම් අඳින පිරිමි මහත්තුරුන්ටයි. රාජකාරිය දේවකාරිය කරගත් තම ස්වාමියාගෙ / ආණ්ඩුකාරයාගේ ජංගිය ඉතා කැපවීමෙන් සෝදා ගිනි අව්වේ රෙදි වැලවල් වල වනන, ලෞකික පෙරේත ගැහැණුන් ඉදිරියේ තම බාහු බලය ප්‍රදර්ශණය කරන්නට මැන බලන්නට උත්සහා දරන මාගේ හිතාදර පිරිමි මිතුරනි, මට උඹලව රහස් කියන කඳු අස්සෙ වදකාගාරයක හම්බුනා. උඹලගෙ හිත් ඇතුලෙ වදදෙන අඳුරු කාම-සංකීර්ණයත් මම ඒ වදකාගාරය ඇතුලෙදි දැක්කා. ඒකයි මම කිව්වෙ දැන් අහස ඉතා පැහැදිලියි.
88 / 89 භීෂණය මට පංච ඉන්ද්‍රීයන් වලට සෙට් වෙලා නැතත් එය හදවතේ සහ මොළයේ සංවේදන වල නිතර නිතර හොල්මන් කරන කිසිදා නොමියෙන අවතාරයක් බවට පත්වෙලා. පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි කෑ කෝ ගගහා ගෙදර රණ්ඩු කරද්දි ඒ භූත අවතාරය එළියට පනිනවා. පුංචියි බාප්පයි තිත්ත කුණු හරපෙන් කෑ ගගහා මල්ලිලා නංගිලා ඉස්සරා මරා ගද්දි ඒ යක්සාත්මය එළි බහිනවා. සාමාන්‍ය සමාජයේ හොරෙක් කිව්ව, ග්‍රීස් යකෙක් කිව්ව මනුස්සයෙක්ව අල්ලගත්තම ගස් වල ගැටගහලා ඇඳුම් ගලෝලා දිමි ගොටු දාලා පොලු වලින් තඩිබානවා දකිද්දි ඒ අවතාරය කථා කරනවා. ප්රභාකරන්ගේ මිනිය බල බල ඉතා උද්ධාමයෙන් කිරිබත් කද්දි ඒ අවතාරය හිත අස්සෙ ඉඳන් හොල්මන් කරා. ඒ හැමෝම පහුවදා මුකුත්ම නොවූවා සේ පාරේ බැහැලා වැදගත් මහත්තුරු විදියට වැඩට යද්දි / පල්ලි යද්දි / ඡන්දෙ දාන්න යද්දි කෑ ගහලා අඬන්න හිතිලා තියෙනවා. ඒ වගේම රහස් කියන කඳු බලද්දිත් මට ඉකි ගගහා අඬන්න හිතුනා. ඒත් එහෙම අත දරුවෙක් වගේ ඇඬුවම මානසික රෝහලේ කූරු ගණන් කරන්න සිද්ධ වෙන නිසා මමත් අනිත් උන් වගේම හිනා වෙලා ජවනිකාවට සහයෝගයක් දුන්නා. එතකොට මට කවුරුත් පිස්සෙක් කීවේ නෑ. හැමෝම කිව්වේ මම ආර්ටිස්ට් කෙනෙක් කියලා. ෆිල්ම් එක පුරාවටම අති දරුණු මානසික රෝගයක් වැළඳුන ඒ අසරණ තරුණ තරුණියන්ව හඹාගෙන ගිය උගත් දක්ෂ දොස්තර මහත්තුරුන් කොච්චර මහන්සියක් වෙන්න ඇත්ද මේ ලෙඩේ සුව කරන්න. නේද. එකී මානසික රෝගය ඇත්තටම පැවතුනේ කවුරුන් ඇතුලේද මම මගෙන්ම ප්‍රශ්ණ කරන්න පටන් ගත්තා. පැවැත්ම උදෙසා තම පක්ෂ සහෝදරයාගේ මල මිනියෙ බන්ධනයෙන් ගැලවෙන්ට උත්සහා කල-පසුව මල මිනියේ කුණු වෙන අතක් සමග මාංචුවක පැටලුන-වෛශ්‍යාවකගේ මැහුම් දැමීමෙන් පුනුරුත්පත්තිය ලබා අවසානයේ කඳු අතරටම නික්ම ගිය ඒ විප්ලවවාදී තරුණයාගේද? නැතිනම් ඊට විරුද්ධව නැගී සිටි එක්තරා සමලිංගික සංකීර්ණතාවයකින් රහසේ සටන් වදින යුධ හමුදා නිළධාරියාගේද? හෝ මිනි වලට පැන් වඩන, බණ කියන, ගමට උපදෙස් දෙන, නමුත් හිත යටින් ගලෝපු සැටලිමට ආසා කරන අපේ පන්සලේ හාමුදුරුවන්ගේද? උන්දගේ ගුරා වන ඒ වන විට මානසික රෝගකාරී තත්වයකින් පසුවේ යැයි කියන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේද? දරිද්‍රතාවයේ ගිලී සිටින ඒ මවගේද? ඒ පියාගේද? නැතිනම්... මේ සියලුම විකෘතිතා යනු එවකට බල ව්‍යුහයේ (power-grid) පැවති ජේආර්-විජේවීර මානසික සංකීර්ණයේ විවිධාකාර ප්රතිභිම්බයන් ද යන්න මම තනියම කල්පනා කරන්න පටන් ගත්තා.
භීෂණ සමය ගැන ලියවුනා යැයි කිවූ ගින්නෙන් උපන් සීතල බලලා ගෙදර ආවේ එක්තරා කලකිරීමකින්. ඒ ෆිල්ම් එක යම්කිසි අධ්‍යයනයක් හෝ අධ්‍යයනයක ආරම්භයක් වුනත් සිනමාව යන කාරණාවේදි යටි හිතේ දුකක් පැනනැග්ගා. ඒ දුක සමනය වෙන්න රහස් කියන කඳු ඊට තියුණු මානයන් වලින් මේ භීෂණ කාල වකවානුව කියෝලා තියෙනවා කියලා පේනවා. ඒක සතුටක්. ඒක එක්තරා වේදනාත්මක සතුටක්. විශේෂම කාරණාව ඒ කියවීම නූතනයි. විද්යාත්මකයි. සාර්වත්රිකයි. එකී මිලේච්ඡ සමය පුරාවටම රටේ සියලුම ආගමික සංස්ථාපිතයන් වැඩ කරපු ආකාරය මේ ෆිල්ම් එකෙන් නිරීක්ෂණය කෙරෙනවා. ඒක පන්සලටත් පල්ලියටත් කෝවිලටත් අදාල වන න්‍යයාත්මක කාරණාවක්. ඒක තවත් දිගහැරගන්න පුලුවන්නං අද වන විට ගෝලීයව පවතින ආගමික-බල ව්‍යුහය මූණ දෙන ව්‍යාකූලතාවයන් පැහැදිලි කරගන්නත් පුලුවන් වෙයි. විශේෂයෙන්ම තේරවාදී බුද්දහගම 1977න් පස්සෙ ලංකාවේ නිර්මාණය වුන ඇමරිකන් ෆැන්ටසි ලෝකයත් එක්ක හයිබ්‍රිඩ් වුන විදිය, එකල සහ දැනුත් ලාංකික සමාජයේ පවතින ගැඹුරු ආධ්‍යාත්මික අර්බුදය සහ සම්පූර්ණ භීෂණ සමය පිටිපස්සෙ උතුරේ සහ දකුණේ වැඩ කරපු හියුමන් සයිකොසෙක්ෂුවල් පැතලොජි එක (psychosexual pathology) කියෝගන්න රහස් කියන කඳු තල්ලුවක් වෙනවා කියලා මට හිතෙනවා.
- අර්ජුමාන්