තනූජා ධර්මපාල මාධ්‍යවේදිනිය, ලේඛිකාව විසින් 'මගේ රුසියාව' යැයි නම් කරමින් අලංකාර මෙන්ම පරිපූර්ණ කාව්‍යයක් ඇගේ මුහුණුපොතේ පළ කරනු ලැබ තිබේ.
රුසියාවේ සැබෑ පරිසරය පිළිබඳව සඳහන් කරමින් ලියා ඇති කවියේ අර්ථය සැබවින්ම අප වැනි රටක තිබෙන සමාජීය අඩුපාඩු බෙහෙවින් සිහිපත් කරවයි.
මගේ රුසියාව!
ත්රිතිකොව් ගැලරියේ
චිත්‍ර නරඹන්න
පොදි පිටින්-රසවතුන් පිරි
රුසියාව
ඒ ඒ විසල් සිතුවම් අස නැවැතී,
සිය දරුවන්ට
ඒවාහි හැඩතල ගැන
ඒවා විඳින හැටි ගැන
කියාදුන්,මාපියන් සිටි
රුසියාව
නාසිවාදය නැසූ හැටි ගැන,
අභිමානවත් ඉතිහාසය ගැන
කතා කියා දුන්,
අත්තම්මලා,සීයලාගේ
රුසියාව
ට්රෑම්කාර,මෙත්රෝ ආදී
පොදු වාහන පවා
පුස්තකාල කරගෙන
හැම මගියකුම,පොත් කියවූ
රුසියාව
ඕනෑම රැයක,ඕනෑම කතකට
මඟ බැස යා හැකි වූ
සුරක්ෂිත
රුසියාව
පුලන්නන් නොසිටි
වෙසඟනන් නොමැති
මහා මං පිරි
රුසියාව
බැලේ බලන්නට
කළු කඩෙන් ටිකට් ගන්නා තරමට
රසවතුන් සිටි
රුසියාව
ආනයනික කෙසල් නෙකා,
ඩෙනිම් නොහැඳ,
කොකා කෝලා නොබී නමුත්
සුන්දර වූ ,
රුසියාව
රතු චතුරශ්‍රයේ
ලෙනින් බලන්නට,
එතැන අසිරිමත්
හමුදා ආචාර දකින්නට
සීත කල පවා
සෙනඟ පිරි
රුසියාව
එකිනෙකා හා තරග නැති,
ලොව සියලු දරුවන්ට
මවක වූ ඒ
රුසියාව
ඒ තමා
මගේ,
රුසියාව!