නිදහස් ලේඛක ජයසිරි අලවත්ත සිය 60 වැනි උපන්දිනය (27.12.2023) නිමිත්තෙන් තැබූ සටහනකි. ඔහුට අපි සුබ උපන්දිනයක් වේවායි පතමු!
මෙම ලියවිල්ල සමාජ මාධ්‍යයට මුදා හැරීමට මිනිත්තු අටකට ප්‍රථම එනම් අද දින උදැසන 04.52 වන විට මා මෙලොවට ජනිත වී වසර 59ක් ඉක්ම විය. මේ එළඹ තිබෙන්නේ මගේ දිවි ගමනේ 60වන විය යි.
ගත වූ වසර 59 දෙස ආපසු හැරී බලන විට පැවසිය යුතු විශේෂ ම කරුණ වන්නේ සැබැවින් ම මේ ගෙවා දමන්නේ අතිරික්ත ජීවිත කාලයක් බවයි. එනම් මගේ ජීවන ගමනේ දී මා දෙවතාවක් දිවි අහිමි කරගැනිමට තැත් කළේ ය. ඒ, අන් කිසිදු හේතුවක් මත නොව කුඩම්මාගෙන් වූ වෙනස්කම් ඉවසා දරාගත නොහැකි අවස්ථා දෙකක දී ය. එහෙත් කුමන හෝ හේතුවකට මා මිය නොගියේ ය.
පාසල් සමයේ සිට: කුඹුරු කෙටීම, තේ වතු නෙළීම, කුරුඳු තැළීම යනාදි රැකියාවල නිරත වූ මා පාසල් ගමනට සමු දුන් පසු මේ දක්වා විවිධ රැකියාවල නිරත විය. ඒ අතර: හෝටල් සේවය, බේකරි සේවය, එළවළු වෙළඳාම, මාළු වෙළඳාම, සහෘද කණ්ඩායමක් සමග පදික වේදිකාවේ ගී ගැයීම, වික්ටෝරියා ව්‍යාපාරයේ ගබඩා පරිපාලකයකු ලෙස සේවය කිරීම, ලොතරැයි පත් අළෙවිය (ගෙන් ගෙට ඇවිද ගොස් අලෙවි කිරීමේ සිට අනෙක් සියලු ආකාර දක්වා) ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අත් වැඩ දීම, වැද්දුම්කරුවකු ලෙස සේවය කිරීම, වඩුකර්මාන්තයේ අත් උදවුකරුවකු ලෙස සේවය කිරීම, පෞද්ගලික ආරක්ෂක සේවාව, ශබ්ද පරිපාලන ක්ෂේත්රයේ (දැවැන්ත ශබ්ද විකාශන යන්ත්‍ර කර ගසාගෙන යෑම සහ එසවීමේ සිට සහය ශබ්ද පරිපාලකයකු දක්වා) සේවයේ නිරත වීම, පොත් ප්‍රකාශන ආයතනයක් සමග එක්ව කටයුතු කිරීම, පොත් ප්‍රකාශකයකු ලෙස (වීදි පොත් අලෙවියේ සිට පොත් ප්‍රකාශකයකු දක්වා පැමිණ පොත් සාප්පුවක් පවත්වාගෙන යෑම දක්වා) කටයුතු කිරීම, පුවත්පත් ආයතන කිහිපයක ම නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කිරීම, අවසන ‘‘සත්හඬ’’ පුවත්පතේ ප්‍රධාන උපසංස්කාරක (ChiF sub Editor) සහ සාහිත්‍ය කලා අතිරේක සංස්කාරක ලෙස සේවය කිරීම, වෙබ් අඩවි කිහිපයකට ම ලිපි සැපයීම, SIS වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කිරීම, ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘති සංස්කාකවරයකු ලෙස (හරියට ම දෙමසක්) සේවය කිරීම යනාදියේ සිට මේ වන විට ස්වාධීන ලේඛකයකු ලෙස කටයුතු කිරීම දක්වා විදාරණය කෙරේ.
මා වෙබ් මාධ්‍යයට පිවිසියේ ලංකාවට වෙබ් පුවත් හඳුන්වා දුන් ප්‍රවීණ මාධ්‍යෙව්දියකු වූ සඳරුවන් සේනාධීර සොයුරාගේ ENEWS වෙබ් අඩවිය තුළිනි. ඔහු සමග සබඳතාව ගොඩනංවන්නේ ගුණසිරි සිල්වා සොයුරා ය. එකල මාධ්‍යකරණයේ නියැළි පුද්ගලයකු ලෙස ප්‍රචලිතව නොසිටි මා හට ලංකාවේ ප්‍රථම වෙබ් මාධ්‍ය ජාලයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කිරීමට ඉඩ කඩ සලසා දුන් සඳරුවන් සේනාධීර සොයුරා ද මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයකි.
‘‘සත්හඬ’’ පුවත්පතේ සේවය කරන සමයේ මගේ ලේඛන දිවිය මුවහත් කර ගැනීම පිණිස විමල් කැටිපෙආරච්චි සොයුරාගෙන් ලද සහයෝගය පුවත්පත් දිවියේ නොමැකෙන සටහනක් ලෙස ද සඳහන් කළ යුතු ය. එමෙන් ම: ගුණසිරි සිල්වා, විමලනාත් වීරරත්න, මංජුල වෙඩිවර්ධන, තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සහ දීප්ති කුමාර ගුණරත්න සොයුරා ද මගේ පුවත්පත් කලා දිවියේ සහායකයෝ වෙති.
නන්දන වීරරත්න යනු ඇවිදින පුස්තකාලයක් බඳු පුද්ගලයෙකි. ඔහු මගේ ජීවන ගමනේ දී හමු වූ තවත් අපූරු සහෘදයෙකි. ඔහු, මා මාධ්‍ය ක්ෂේත්රයේ වෙනස් ම ඉසව්වක් වෙත රැගෙන ගියේ ය. ඒ වාර්තාමය චිත්‍රපටකරණය (Documentary film) සහ පර්යේෂණ (Research) ක්ෂේත්රය යි. එබඳු පුද්ගලයකු සමග මාධ්‍යකරණයේ නියැළෙන්නට ලැබීම මා ලද සුවිශේෂී අත් දැකිමකි. ඉදින් මේ මොහොතේ ඔහුට ද මගේ ප්‍රණාමය පුද කළ යුතු ය.
මාගේ දේශපාලන දිවිය පිළිබදව ද යමක් පැවසිය යුතු ය.
1984 සිට 1997 දක්වා ගත කළ එම කාලය තුළ දෙවතාවක් (1987) ජීවිතය අහිමි වන්නට ආසන්නව තිබිය දී එයින් මිදීමේ අවස්ථාව එළඹුණ ද 1988 අගෝස්තු මාසයේ එක් දිනක යළිත් ඒ බියකරු අවස්ථාවට මුහුණ දෙන්නට සිදුවිය. එදා සිට තෙමසක් පමණ යුද හමුදා කඳවුරක (මා සැක කරන අන්දමට ඒ ජපුර විය හැකි ය) ඉතා සැප පහසු, සංග්‍රහශීලී ජීවිතයක් ගත කර එක්තරා මධ්‍යම රාත්‍රියක දී ඒ සැපවත් ජීවිතයට සමුදෙන්නට සිදුවන්නේ නොසිතු ආකාරයෙනි. එදින රාත්‍රියේ ආරක්ෂක අංශ විසින් මා රැගෙන ගොස් අත්හැර දැමුවේ කොතැනට ද යන්න එදා දැන නොසිටියේ ය. මට කළ හැකිව තිබුණේ මගේ දෑස් බැඳ තිබූ රෙදි කඩ ඉවත් කර, වට දෙක තුනක් කරකවා ‘‘දුවපිය පරයා’’ යැයි අණ කළ විට දෑසට පෙනෙන මානයේ පවතින මාවත දිගේ දිවීම ම පමණි; හරිහැටි දෙනෙත් නොපෙනී වුව ද දිවීම ය. එහෙත් ඒ දිවීම අඩි කිහිපයකින් නිමා වේ යැයි අනුමාන කළ ද දිවීම හැර අන් විකල්පයක් නොවූ බැවින් මම දිවීම තෝරා ගත්තෙමි. අවසන මා නතර වූයේ ගඟක් හෝ ඔයක් අසබඩ ය. උදෑසන පහ පමණ වන තෙක් අසල ලන්දකට වී, බියෙන් ගැහෙමින් ද, සිරුරේ පිලිස්සුම් තුවාලවලින් සහ කඳවුරේදී ලද සැලකිලි හේතුවෙන් ද වේදනා විඳිමින් සිටි මා එම ඔය හෝ ගඟ හරහා මිනිසුන් එතෙර මෙතෙර කරන පාරුව පදින පුද්ගලයාගේ අනුකම්පාව හේතුවෙන් කිසියම් ස්ථානයකට ඇරලවී ය. ඒ, වේරහැර ප්‍රදේශයේ ස්ථානයක් බවත්, ආරක්ෂක අංශ මා අත්හැර දමා ගොස් තිබුණේ රත්මලාන බොරුපන පාරේ බවත් දැනගන්නේ ඊට සති කිහිපයකට පසුව ය. මා සිතන අන්දමට ඒ මගේ ජීවිතය නිමවීමට තිබූ සුවිශේෂි අවස්ථාව ය. මේ වන විට ගෙවා දමන්නේ අතිරික්ත කාලයක් යැයි පවසන්නේ එබැවිනි.
මෙලෙස ගෙවා දැමූ කාලය තුළ විඳි දුක් ගැහැට අනන්ත ය; අප්‍රමාණ ය. එහෙත් ආපසු හැරී බැලීමේ දී විශාල වශයෙන් තුටු පහටු වීමට යමක් නොලද ද, විශාල වශයෙන් දුක් වීමට ද නොහැකි ය. මන්ද දැන් මට සිතෙන්නේ ඒ සියලු දුක් පැණි රස බවය; අනාගතයේ දී කිසියම් දුකක් විඳින්නට ලැබුන ද එය ද පැණි රස බවය. මන්ද මේ වන විට මා හොඳින් ම පන්නරය ලබා ඇති බැවිනි. ඒ පන්නරය ලද්දේ වයස අටේ දී පමණ සිට ය. තවත් සරලව පවසන්නේ නම් කුඩම්මාගේ ග්‍රහණයට නතු වූ අවදියේ සිට ය.
කොළඹ කාසල් රොහලේ ඉපිද, අවම අවුරුදු තුනක් හතරක් පමණ වත්තල ජීවත් වී, එතැන් සිට දකුණු පළාතේ හැදී වැඩී 1983 අගෝස්තු මස 14වන දින කොළඹට (විජයරාමය හෙවත් ගංගොඩවිලට) සංක්‍රමණය වූ මා මා මේ වන විට: කොස්නිල්ගොඩ, මොරවක, දංගල, දෙනියාය, පල්ලේගම, අලපලාදෙණිය, පැනෑටියන, තෙපුදෙණිය, නිමලව, අහංගම, වැලිගම, කනංකේ යන ප්‍රදේශවල දිවි ගෙවා ඇත. කොළඹට සංක්‍රමණය වීමෙන් ඉකිබිතිව ද මේ දක්වා වැඩි කාලයක් විජයරාමයේ ද තවත් ප්‍රදේශ කිහිපයක ද විසී ය.
මේ කාල සීමාව තුළ මගේ ජීවිතය විවිධාකාරයෙන් වෙනස් කිරීමට දායක වු පුද්ගලයෝ ද බහුල ය. ඒ පුද්ගලයන් කිහිප පළක් නම් වශයෙන් ම සඳහන් කළ යුතු ය. එහි පළමු වැන්නා විජයරාම පාසල් මාවතේ ජී. ඩී. ජයලත් සොයුරා ය. මගේ පළමු කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා’’ පිදුවේ ඔහු නමිනි. අනතුරුව දේශපාලන දිවියේ පළමු අදියරේ දී (ජවිපෙ) හමු වූ දේවක සොයුරා සහ ඕපාත සොයුරා සිහිපත් කළ යුතු ම ය. එම දෙපළ වෙනුවෙන් මගේ ‘‘සාහිත රසවිතෙන් ඔබ්බට’’ කෘතිය පුදා ඇත. එමෙන් ම 1994 වසරේ සිට මේ දක්වා මගේ දිවි ගමනට මෙන් ම ප්‍රකාශන සහ ලේඛන කලාවේ ම එක් කොටසක් වූ පිටකවර නිර්මාණය සඳහා සහයෝගය දැක්වූ මොල සෙනවිරත්න සොයුරා ද මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ පුද්ගලයෙකි. ඔහු මෙන් ම නිහාල් සේරසිංහ සොයුරා ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ම ය. වීරවිජය ගුණසේකර සහ සිරිමල් සුවඳරත්න දෙමිතුරෝ ද මගේ ජීවන සහකරුවෝ ය. සාහිත ලෝකයේ දී හමු වූ තවත් මිතුරු තෙපළක් ලෙස සුජිත් අක්කරවත්ත, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ මොහාන් රාජ් මඩවල යන තෙපළ ද අමතක කළ නොහැකි ය. ඒ, මොවුන් තෙපළ ද සාහිත කතිකාවෙන් ඔබ්බට ගොස් මට ජීවන අත්වැලක් වූ බැවිනි.
කොළඹින් බොහෝ දුර බැහැර (කතරගම) විසුව ද, සිය පළමු ස්වතන්ත්‍ර ප්‍රබන්ධය වූ ‘‘රත නොරත රත’’ කෘතිය ප්‍රකාශයට පත් වූ අවදියේ සිට මේ දක්වා මගේ සැපෙහි දී මෙන් ම දුකෙහි දි ද අත්වැල් සැපයූ අනුර වික්‍රමසිංහ (මහාචාර්ය නොවේ) සහෘදයා ද සිහිපත් කළ යුතු ම පුද්ගලයෙකි.
මගේ දිවියේ දී හමුවූ තවත් විශේෂිත පුද්ගලයෙක් වන්නේ සංගීතවේදී, ගායක කීර්ති පැස්කුවල් කලාකරුවා ය. ඔහු මට මගේ දිවියේ මෙතෙක් හමු වූ උතුම් ම මිනිසෙකි. මගේ ‘‘මම විඳි කවියක්’’ කෘතිය ඔහු වෙනුවෙන් පුදා ඇත. චන්දන ගුණසේකර (ලන්ඩන්) සොයුරා ද මගේ ජීවිතයේ හමු වූ උතුම් ම මිනිසෙකි. ඔහු හඳුනාගත්තේ 2013 වසරේ දී ය. ඒ හඳුනාගැනීම සිදුවූයේ බාසුර ජයවර්ධන සොයුරා හරහා ය. ඉදින් මේ මොහොතේ ඔහු සිහිපත් නොකර සිටිය හැකි ද...? ජිවිතයේ විවිධ අවස්ථාවල දී මා අත් නොහැරි තවත් පුද්ගලයෙකි, උදිත සිරිවර්ධන සොයුරා. ඔහු දැනුදු ඕනෑම මොහොතක මගේ දිවියට අත්වැල සපයන්නෙකි.
පොත් ක්ෂේත්රයේ හමු වු පළමු මිතුරා ගුණසිරි සිල්වා සොයුරා ය. මගේ ‘‘සාහිත රස විත’’ කෘතිය ඔහු වෙනුවෙන් පුදා ඇත. මා එම ක්ෂේත්රයට පිවිසි පසු: වරකාපොළ ආරිය ප්‍රකාශන අධිපති ආරියපාල ඉඹුල්දෙණිය, මරදාන සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි, මහාචාර්ය සරත් විජේසූරිය මහතා සහ එම මැතිනිය මෙන් ම විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉනිමංකඩ මහතා ද මට සහය දුන් අය වෙති. මා හට අතුල ජයෙකාඩි මහතා හඳුන්වා දුන්නේ මහින්ද කුමාර දළුපොත සොයුරා ය. ඔවුන් ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ම ය. එමෙන් ම මගේ කියවීමේ පරාසය දියුණු කිරීම සඳහා ජනක මහබෙල්ලන කවියාගෙන් ලද දැනුම ද ඉතා ඉහළ ය. එමතු නොව කේ. කේ. සමන් කුමාර හෙවත් සර්පයාගේ ලියවිලි ද ඊට පාදක විය. ඔහු වෙනුවෙන් මා මගේ තෙවන ප්‍රබන්ධය වූ ‘‘ආදරණීය පළිගැනීමක්’’ කෘතිය පිදී ය.
මගේ දේශපාලන දිවියේ දෙවන අදියරේ ප්‍රමුඛයා දිප්ති කුමාර ගුණරත්න ය. ඔහු වෙනුවෙන් මා මගේ පළමු ප්‍රබන්ධය වන ‘‘අක් දහර’’ කෘතිය පිදී ය. අනතුරුව මට සම්මුඛ වන අපූරු ම පුද්ගලයා රුවන් එෆ්. ගුරුගේ සොයුරා ය. ඔහු වෙනුවෙන් මා, මගේ සිවු වන ප්‍රබන්ධ කෘතිය වූ ‘‘මතඟනා’’ පිදී ය. දීප්ති කුමාර ගුණරත්න සොයුරා විසින් හඳුන්වා දෙන ලද ඉතා උතුම් මිනිසකු (මිතුරකු) මේ මොහොතේ සිහිපත් කළ යුතු ය. ඒ, ආචාර්ය මහේෂ් හපුගොඩ සොයුරා ය. ඔහු වෙනුවෙන් මා, මවිසින් රචිත ප්‍රථම චරිතාපදානය වන ‘‘කළු රංජිත් සුදු මිනිසෙකි’’ කෘතිය පිදී ය.
මා ලේඛකයකු ලෙස අත් පොත් තබන්නේ ‘‘මකරන්ද කාව්‍ය විමංසා’’ විචාර කෘතියෙනි. එතෙක් කිසිදු කෘතියක් රචනා කර නොතිබුණ ද එම කෘතිය ප්‍රකාශ කිරීම සඳහා නොපැකිළව ඉදිරිපත් වූ නුගේගොඩ නාවල පිහිටි නැණිල ප්‍රකාශන ආයතනයේ අධිපතිනී මිලන් ප්‍රනාන්දු මහත්මිය නොසිටින්නට මම තවමත් ලේඛකයෙක් නොවන්නට ඉඩ තිබිණ. එතුමිය ද මේ මොහොතේ සිහිපත් කළ යුතු ම ය. එමෙන් ම මගේ දෙවන කෘතිය (සාහිත රසවිත) ප්‍රකාශයට පත් කළ, නිරන්තරයෙන් ම මගේ දුක සැප විමසා සහයෝගය දක්වන අනිල් ජයවීර සොයුරා ද මගේ දිවි ගමනේ ගමන් සගයෙකි. මා, ඔහු වෙනුවෙන් මගේ ‘‘කාව්‍යාලාප’’ කෘතිය පිදී ය. මගේ පළමු කාව්‍ය සංග්‍රහය නොපැකිළව ම පළ කළේ KBOOKSහි කාංචනා ප්‍රියකාන්ත සොයුරිය යි. ඇයට එහි ගෞරවය හිමි විය යුතු ම ය.
ඉක්බිති මගේ ලේඛන දිවියේ ප්‍රමුඛතම අත්වැල් සපයන්නිය වූයේ කවිවර ප්‍රකාශන ආයතනාධිපතිනී කාංචනා (කවි) කරුණරත්න සොයුරිය යි. ඇය මගේ ප්‍රකාශන හිමිකාරිය මතු නොව දිවියට අත්වැල සපයන්නියක් ද වූවා ය. එය හුදෙක් ගනු දෙනු අභිභවූ සහයෝගිතාවකි. ඇය මේ වන විට මගේ කෘති 12ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද මගේ විශ්වාසය අනුව නම් මම ඇයට ණය ගැති ය. ඒ, ඇය මුදල් ඉදිරියට නොදමා මිනිසත් බව ඉදිරියට රැගෙන ආ බැවිනි. මා ඇය වෙනුවෙන් මගේ දෙවන ප්‍රබන්ධය වූ ‘‘තිත් මල්’’ කෘතිය පිදී ය. ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ඉන්දික සොයුරා ද මගේ දිවි ගමනට අත්වැල සැපවූවෙකි.
යට කී මිතුරු මිතුරියන්ට අමතරව මා හදිසි අනතුරකට ලක්ව දෙවසරකට අධික කාලයක් සයනගතව සිටිය දී මා ජීවත් කරවූ මිතුරු මිතුරියෝ බොහෝ ය. සැබැවින් ම ඒ ඇතැම් සොයුරු සොයුරියෝ මට මේ වන තුරු සජීවීව සම්මුඛ වී හෝ නොමැත. එහෙත් ඔවුන් මට දිරි දුන් සොයුරු සොයුරියෝ ය. ඔවුන් නම් වශයෙන් සිහිපත් නොකරන්නේ ඒ ප්‍රමාණය අවම වශයෙන් දෙසීය ඉක්මවන බැවිනි.
මේ අතර මා මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීමෙන් ඉක්බිති සම්මුඛ වූ සොයුරියන්, මිතුරියන්, හිතවතියන් කිහිප දෙනකු ද සිහිපත් කළ යුතු ය; නම් වශයෙන් ම සිහිපත් කළ යුතු ය. ඒ අය නම්: සුමුදු චතුරාණි, ධම්මිකා අක්මීමන, හිමාෂි කරුණාරත්න, කුමුදු කුමාරසිංහ, නදී වාසලමුදලි, පවිත්‍රා ඉරෝෂිණී, අනුරාධා නිල්මිණි, ඔමායා ඉරෝෂිණී, උත්පලා වීරසිංහ, රෝහිණී ජයන්ති ලියනගේ, උමා රත්නායක, වසන්තා මිහිඳුකුලසූරිය, ගංගා ශිරෝමනී, හර්ෂා සුගතදාස, සිරිනාලි නවරත්න (ඊශ්‍රායලය), මාලා විජේකෝන් (ඇමරිකාව), චන්දි ජයසිරි (ඊශ්‍රායලය) යන මිතුරියෝ ය; යෙහෙළියෝ ය; සොයුරියෝ ය.
මා මේ කරුණු ඉදිරිපත් කළේ මගේ දිවිගමනේ අංශු මාත්‍රයක් සැල කිරීම පිණිස ය. මෙය උම්මත්තක ලියවිල්ලකැයි යමෙකුට සිතෙන්නට පිළිවන. එසේ සිතෙන කිසිවකු සිටින්නේ නම් ඔහුගේ හෝ ඇගේ විවේචනය ද මෙහි සටහන් කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.
ඉදින් මිතුරු මිතුරියනි..., මා මෙතෙක් කිසිවකුට මගේ ජන්ම දිනය නොපැවසුවේ ද, කිසිවකුගේ ජන්ම දිනය වෙනුවෙන් සුබ නොපැතුවේ ද ජන්ම දිනය යනු ම මරණයට ළං වන දිනයක් වන බැවිනි. එසේ නම් කිසිවකු හෝ මරණයට ළංවන විට මා කෙසේ නම් ඔහුට හෝ ඇයට සුබ පතන්න ද...? එය ඉදිරියට ද නොකරන්නට මම අදහස් කළෙමි. මගේ මරණය ළංවන විට එය කෙසේ නම් කිසිවකුට පවසන්න ද...? එහෙත් අද ජීවිතයේ සංධිස්ථානයකි...
ජයසිරි අලවත්ත