ඉන්දියාවේ ජනප්‍රියතම සිනමා සම්මාන උලෙළක් වන 'ෆිල්ම්ෆෙයා' සම්මාන උලෙළ ඊයේ (28) පැවැත්වුණේ ගුජරාටයේදීයි.
සම්මාන උලෙළේ ප්‍රධානම සම්මාන දෙක වන හොඳම නළුවා - නිළිය සම්මාන දිනාගත්තේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම තාරකා වන රන්බීර් කපූර් සහ ආලියා භට්.
රන්බීර් සම්මාන ලැබුවේ සංදීප් රෙඩ්ඩි වංගා විසින් අධ්‍යක්ෂණය කළ 'ඇනිමල්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන්. රන්බීර්ගේ බිරිඳ වන ආලියා හොඳම නිළිය සම්මානය හිමි කරගත්තේ කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කළ 'රොකී ඔර් රාණි කි ප්‍රේම් කහානි'හි රඟපෑම වෙනුවෙන්.
මෙවර මේ සම්මාන දෙකේ විශේෂත්වය ගැන කියවෙන්න ගත්තේ රන්බීර් කපූර් සහ ආලියා භට් අඹුසැමියන් වීමත් මේ වන විට දියනියකගේ දෙමව්පියන් වන මේ දෙපල එකම සම්මාන උලෙළේ හොඳම නළුවා සහ නිළිය වීමත් නිසයි.
ඉන්දියාවේ දැවැන්ත සිනමා පවුල් දෙකක සාමාජිකයන් වෙන මේ දෙන්නා මේ තත්ත්වයට ආවේ ඉන්දියාවේ 'පවුලේ සිනමාව' එහෙමත් නැතිනම් 'නෙපොටිස්ම්' කියන කාරණය උඩ බොහෝ පාර්ශ්ව තරු පවුල්වල නළු නිළියන් රඟපාන චිත්‍රපටි ඉහළින්ම වර්ජනය කරන වකවානුකදීයි. විශේෂයෙන් මීට වසර කිහිපයකට පෙර සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයත් සමග සිනමා කර්මාන්තයට පිටස්තරින් එන තාරකාවන් ප්‍රතික්ෂේප වීම වැළකීමට තරු පවුල්වල දරුවන්ගේ නිර්මාණ වර්ජනය කළ යුතු බවට වන අදහසක් තරමක් ශක්තිමත් ක්‍රියාවලියක් විදිහට පැවතුණා. ඒ හේතුවෙන් සමහර චිත්‍රපට අසාර්ථක වූ අවස්ථා තිබුණා වගේ ආලියා භට් මෙහිදී වැඩි වශයෙන් විවේචනයට ලක් වුණා.
මේ තත්ත්වය උඩ ආලියා - රන්බීර් විවාහ වී, ඉතා ඉක්මනින් මවක වීමත් පෙන්වමින් ආලියාගේ සිනමා ගමන අඩාල වනු ඇති බවත් සමහර පිරිස් පෙන්වා දුන්නා. නමුත්, කවුරුත් නොහිතපු විදිහටයි ආලියා කරන් ජොහාර්ගේ 'රොකී ඔර් රාණි කි ප්‍රේම් කහානි' චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් අතරට ආවේ. ආලියාගේ පෙර තිබූ ස්වරූපය එලෙසින්ම පැවතීම ගැන ආ ජනප්‍රියත්වයත් සමග ඇගේ චිත්‍රප්ටය සාර්ථක වුණා.
රන්බීර්ගේ සිනමා ජීවිතයේද යම් අඩාල වීමක් පෙනෙන්නට තියෙද්දියි ඔහු තෙලිඟු සිනමාවේ වාර්තාගත අධ්යක්ෂ කෙනෙක් වෙන සන්දීප් රෙඩ්ඩි වංගා සමග 'ඇනිමල්' සඳහා වැඩ කරන්න ගන්නේ. 'ඇනිමල්' බැලුව සියලු දෙනාගේම අදහස වුණේ අනිවාර්යෙන්ම හොඳම නළුවා වන්නේ රන්බීර් බවයි.
එහෙම කිව්ව මේ ජෝඩුව තමයි ඊයේ තමන්ගේ පවුලට එකම අවුරුද්දේ ෆිල්ම්ෆෙයා සම්මාන දෙක අරන් ගියේ. ඔවුන්ගේ දියනිය රාහාගේ වාසනාව මේ දෙන්නට බලපෑවා කියලත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒත්, සමාජ ජාලවල තැනින් තැන මේ වෙනකොටත් සටහන් වෙන්නේ ආලියා දක්ෂතම නිළියක් වුණත් මේ වසරේ හොඳම නිළිය වීමට ඇයට වඩා සුදුසුකම් ඇති නිළියන් සිටිය බවයි.
හොඳම නළුවා හැටියට මේ වසරේ රන්වීර් සිං - රොකී ඔර් රාණි කි ප්‍රේම් කහානි සඳහා, ෂාරුක් ඛාන් දෙවරක් ජවාන් සහ ඩන්කි සඳහා, සනී ඩියෝල් - ගද්දර් ටූ සඳහා, විකී කෞෂාල් - සෑම් බහාදූර් චිත්‍රපට සඳහා නම් වී තිබුණා.
හොඳම නිළිය හැටියට තාප්සී පන්නු - ඩන්කි සඳහා, රාණි මුඛර්ජී - මිසිස් චැටර්ජී වර්සස් නෝවේ සඳහා, දීපිකා පදුකෝන් - පතාන් සඳහා, කියාරා අද්වානි, භූමි පෙඩ්නේකර් යන නිළියන්ද නිර්දේශ වුණා.
මේ අය අතරින් හොඳම නළුවා - නිළිය කවුද කියන විනිශ්චය දිය යුත්තේ මේ චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයින් විතරක් වන බව තමයි අපි නම් හිතන්නේ. කොහොමත් මේ සෑම චිත්‍රපටයක්ම හරිම ලස්සන කතා පුවත් රැගත් ඒවා බව නම් සත්‍යයක්. ඔබත් බලන්න මේ චිත්‍රපට අතරින් ඔබට හොඳම නළුවා නිළිය වන්නේ කවුද කියා.
ඉදිරිපත් කිරීම : මාශි සේනානායක
මිරර් ආට්ස් යූටියුබ් නාලිකාව සඳහා කළ විශේෂාංගයකිනි.