ජගත් මනුවර්ණ නම කියපු ගමන් අපට සිහිපත් වන්නේ චරිතාංග නළුවෙක්. ඒ කලා ගමන ආරම්භයේ ඉඳන්ම තමන් චරිතාංග නළුවෙක් කියන එක කාටත් රහසක් නොකොට, ජගත් තමන් දායක වුණු නිර්මාණවලින් හැමෝටම පෙන්වා දුන්නු නිසා.
මේ වගේ අවස්ථා ගණනාවක් පසු කරමින් ආව ජගත් ඊයේ ජනවාරි 28 තමන් රංගනයෙන් වගේම අධ්‍යක්ෂණයෙනුත් කීර්තියක් ඇති කෙනෙක් කියලා ලෝක ප්‍රජාවට කිව්වා.
ජගත් මෙහෙම කිව්වේ තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වුණු 'රහස් කියන කඳු' චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්යක්ෂවරයා හැටියට 2024 ධකා ජාත්‍යන්තර සිනමා සම්මාන රාත්‍රියේ සම්මානයට පාත්‍ර වීමෙනුයි. සම්මාන උලෙළේ ආසියානු අංශය නියෝජනය කරමින් ලංකාවේ චිත්‍රපටයක් වන රහස් කියන කඳු අධ්යක්ෂවරයා සම්මානයට පාත්‍ර වෙලා තිබුණා.
චිත්‍රපටයක් කියන්නේ සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවක් වෙන්න ඕනෙ කියලා හිතන ලංකාවේ සමහර දෙනා ජගත් හොඳ අධ්යක්ෂවරයෙක් හෝ රහස් කියන කඳු හොඳ සිනමාපටයක් නොවේ යැයි පවසන වේලාවකයි ජගත් 2024 වර්ෂයේ ආසියාවෙම හොඳම සිනමා අධ්යක්ෂවරයා වෙනවා. ඒ ලොව බොහෝ සිනමා ප්‍රවීණයින්ගේ තේරීම් අනුව.
බංග්ලාදේශයේ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී ලෝකයේම සිනමා වීරයින් අත්පොළසන් දෙන මොහොතේ ජගත්ට හිමි වුණ මේ සම්මානය කියන්නේ ජගත් තවදුරටත් අපට අයිති සිනමා අධ්යක්ෂවරයෙක් නොවෙන බව තමයි.
වරක් අපගේ සහෝදර විමල් කැටිපේඅරච්චි මෙහෙයවන යූටියුබ් සංවාදයකට සහභාගි වෙමින් ජගත් රහස් කියන කඳු චිත්‍රපටය ඉපදුණේ තමන් හොලිවුඩ් චිත්‍රපටයක් නරඹමින් සිටි අවස්ථාවක පහළ වූ අදහසක් අනුව බව ප්‍රකාශ කළා. ජගත්ට හිමි වූ සම්මානයත් ජගත්ගේ මේ කතාවත් අනුව දැන් ඒ දෙකේ සම්බන්ධය තහවුරු වෙලා ඉවරයි. මොකද, චිත්‍රපටයේ රූපවල, දර්ශනවල ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබුණ සිනමාත්මකබව නිසා.
රහස් කියන කඳු ප්‍රදර්ශනය ආරම්භ වුණේ ගිය වසරේ නොවැම්බර් 17 වැනිදා. ධකා සිනමා සම්මාන උලෙළට මේ වසරේ සියලුම චිත්‍රපට 253ක් ඉදිරිපත් වී තිබුණා. ජගත් තරඟ කළ ආසියානු අංශයේ ශ්‍රී ලංකාව හැරෙන්නට ලොව විශාලතම සිනමා කර්මාන්ත අතරින් එකක් වන ඉන්දියාව නියෝජනය කළ අධ්යක්ෂවරුන් දෙදෙනෙකුත් වගේම ඉන්දියාව, ඉරානය, කසකස්ථානය, කිර්ගීස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, තජිකිස්තානය, තායිලන්තය රටවල අධ්යක්ෂවරුන් අතරිනුයි ජගත් මේ සම්මානය දිනාගත්තේ.
සම්මාන උලෙළේ ජූරි සභිකයින් වුණේ ඉන්දියා - බෙංගාලි චිත්‍රපටවල ප්‍රවීණ නිළියක වූ ශර්මිලා තාගෝර්, රුසියානු කාන්තා චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය පිහිටුවූ ක්‍රියාකාරී සිනමාවේදිනී ඇනා ශැලශිනා, බංග්ලාදේශයේ චිත්‍රපට නිෂ්පාදක, අධ්‍යක්ෂක වන සාමියා සමාන්, ෂැංහයි සිනමා සංගමයේ උප සභාපති ෂි චුආන්, බැංකොක්හි සිනමා අධ්යක්ශ ටොම් වොලර් යනාදීන් තමයි.
ඉතින්, ජගත්ට අපි සුබ පතනවා ලෝකයක් නරඹන චිත්‍රපට තවත් කරන්නට හැකි වේවා කියලා.
ඉදිරිපත්කිරීම : මාෂි සේනානායක
මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවේ පළ වූ විශේෂාංගයකි.