" අපේ තාත්තා බොහොම සරල චරිතයක්...නිතර විමෝදයෙන් ඉන්නේ..ඒත්..අපෙ අම්මා නැතිවුණ දවසේ ඒ දුක දරාගන්න බැරිව ඒ වගේ තාත්තා හඬනව අපි කවදාවත් දැකලා තිබුණෙ නැහැ.."
හෙළ සිනමාවේ ආරම්භයේ සිටම ක්ෂෙත්ර කිහිපයකටම එකසේ දස්කම් පෑ අද මෙන්ම හෙට දවසේදීත් අප මතකයෙන් බැහැරව නොයනා අපූර්වතම කලාකරුවකු පිළිබඳව මෙවර අපේ "මවුපිය වරුණ " කතා සිරිත සිරිමත් වෙයි..සිනමාවට එක් වූ දා සිට ඔහු ඉටුකළ මහඟු මෙහෙවර සුළුපටු නොවේ යැයි වරෙක සිතේ..
ඔහු පිළිබඳ යටගිය තතු සොයමින් පසුවන අතරේදී ප්‍රංශයේ වෙසෙන ප්‍රකට "පූජා" චිත්‍රපටයේ නිෂ්පාදක ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීම මේ මොහොතේදීද කෘතවේදී ව සිහිපත් කරමි.
අපේ ආදරණීය කතා නායකයාගේ දූ දරුවන් අතර මට හමුවූයේ අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානයේ සභාපතිවරයා වන එම පවුලේ බාලම පුතු ජෝන් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ය..හෙතෙම දැන් මා සමීපයේය.
මීගමුව, පෙරියමුල්ලේ බෝතලගේ එලිසබෙත් ප්‍රනාන්දු සහ පේදුරු ප්‍රනාන්දු මවුපිය දෙපළට සිටියේ දියණියක සහ පුතෙකි.
1914ක්වූ ජූලි මස 14 දා මෙලොව එළිය දුටු අපේ සොඳුරු කතා නායක තෙමේ පවුලේ වැඩිමලාය. උප්පැන්නයේ සඳහන් අයුරින් ඔහුගේ නම ඌගෝ සිංඤ්ඤෝය. ඔහුගේ එකම නැගණිය මරිය මාර්තාය..
කුඩා ඌගෝ සිංඤ්ඤෝ අකුරු කරන්නට ගියේ මීගමුව දළුපොත පිරිමි පාසලටය..මේ අතරේදී ඉංග්‍රීසි බස ඉගෙනුම පිණිස ගිය එම පන්තියේදී එහි ගුරු භවතා ඔහුට මෙසේ කීවේය..
" නුඹට දරුවො ඔය ඌගෝ සිංඤ්ඤො කියන නම නම් ගැළපෙන්නෙ නැහැ..අද පටන් නුඹ ඌගෝ නෙවි..හියුගෝ ..හියුගෝ ප්‍රනාන්දු ..තේරුණාද.."
එතැන් සිට අපේ ආදරණීය කතා නායකයා හියුගෝ ප්‍රනාන්දු නමින් ප්‍රකට වීය.
පස්වන පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහුගේ හිස මතට අහස කඩා වැටුණාක් මෙන් වී..
මා සමීපයේම පසුවන බ්‍රිටෝ මා දෙස බලාගත්වනමය ...හේ සිය කටහඬ අවදි කරන්නේය.
"ඔව්..අපි කවුරුවත් නොසිතු දෙයක්ම සිද්ධ වුණානෙ..අපේ තාත්තාගෙ තාත්තා ඒ කිවෙ අපෙ සීයා අසනීප වී නැතිවුණා..අපෙ තාත්තාගෙ පාසල් ගමනත් එතැනින් ම අහවර වුණා..තාත්තාගෙ අම්මාත් වැඩ කරපු පොල් මෝලක තාත්තාත් රස්සාවකට ගිහින් තියෙනවා.."
ඉගෙනුම නවතා දමා ගිය පොල් මෝලේ රස්සාවෙන් එක දවසකට හේ සත 25ක වැටුපක් ලැබීය..ඔහු තුළ තිබූ නොසිඳෙන සිහිනය වූ සංගීතය වෙනුවෙන් පළමු වැටුපෙන් ම හෙතෙම මවුත්ඕගනයක් මිලදී ගත්තේය..ඉඩක් ලැබෙන හැම විටකදීම අපේ හියුගෝ එය මුවගට තබා වයන්නේය. තවත් ටික දිනකින් ජැපනීස් මැන්ඩලීනයක් මිලදීගත් හෙතෙම තවත් කෙටි කලෙකින් සර්පිනාවක්ද ගත්තේය..
හෙතෙම ගුරුවරයකු නොමැතිව ම සංගීතය ස්වෝත්සාහයෙන් උගත්තේය..
"අපෙ තාත්තාට ඕනෑම දෙයක් පහසුවෙන් ග්‍රහණය කරගැනීමේ පුදුම කුසලතාවක් තිබුණා ..ඒ නිසාමදෝ කිසිම ගුරුවරයකු නැතිව සංගීත භාණ්ඩ වාදනයට දක්ෂයෙක් වුණා.."
තම පියාණන් පිළිබඳ ව උපන් අසීමිත අභිමානයකින් යුතුව පුතු බ්‍රිටෝ කතා කරන්නේ යැයි මට හැඟේ.
මේ අතරේදී අපේ ආදරණීය කතා නායකයා නාට්‍යවලදී සංගීත අධ්‍යක්ෂක වූයේය..නාට්‍ය සඳහා ඔහු ම ගී පද රචනා කොට සංගීතය මුසුකොට අපූරුවට වාදනය කළේය..පල්ලියේ ගීතිකා වලදී ද එහි ගී ප්‍රබන්ධය හා සංගීතයද ඔහුගේ ය..මේ අතරේදීය අපේ ආදරණීය හියුගෝ එවක ප්‍රකට බී. ඒ .ඩබ්ලිව් ජයමාන්න..එඩී.ජයමාන්න සමඟ රුක්මණී දේවිගෙන් සැදුම්ලත් මිනර්වා නාට්‍ය කණ්ඩායමට එක්වූයේ..මිනර්වා කණ්ඩායමේ "කඩවුණු පොරොන්දුව" නමැති නාට්‍ය සිනමා සිත්තමක් ලෙසින් නැඟීමට එම පිරිස ඉන්දියාව බලා ගිය ගමනේදී එහි නළුනිළියන් හැසිරවීමටත් සංගීතයටත් අවස්ථාව ලද අපේ කතා නායකයාද ඉන්දියාව බලා ගියේය..
"ඉතිං ..අපෙ තාත්තා ඉන්දියාවට ගියාය කියමුකො..ඒ චිත්‍රපටයෙ මුදල් පොලියට දෙන හෙට්ටියෙක්ගෙ වගෙ පොඩි චරිතයකට තෝරාගෙන හිටපු හාදයා ලංකාවට ආපු නිසා ඒ චරිතය කරන්න ලැබුණෙ අපෙ තාත්තාටයි..තාත්තා ඒ චිත්‍රපටයෙ රඟපෑවා."
පුතු බ්‍රිටෝ සිනාමුසුව කියන්නේය.
" ඔබ තාත්තා ව දකින්නෙ කොහොමද ?"
"ම්..ම්..මේ ටික නම් මට හොඳටම මතකයි. කවදාවත් තාත්තා අපි කවුරුවත් වඩාගෙන සුරතල් කරපු තාත්තා කෙනෙක් නම් නෙවෙයි. එයා යුතුකම් කළා..අපට ආදරෙයි..ඒ වුණාට තාත්තා අපට දුරකින් හිටියෙ..මොනව හරි ගෙදරට එද්දි දරුවනට ගේනවනෙ..ඒත් ..ඒවා එයාගෙ අතින්ම අපට ලැබෙන්නෙ නැහැ..අම්මා හරහා තමයි අපට ඒවා ලැබෙන්නේ ..තාත්තා ගැන අපේ හිත්වල ලොකු ගෞරවයක් අභිමානයක් එදා වගේම අදත් තියෙනවා. දරුවනට ළඟම ඉන්න ඕනෙ තාත්තා නෙමෙයි අම්මා ය කියන අදහසක් අපෙ තාත්තාට තියෙන්නත් ඇති..."
අපේ සොඳුරු කතා නායක තෙමේ හදවතින්ම කතෝලික බැතිමතෙකි..පල්ලියේ සෑම කටයුත්තක් වෙනුවෙන් ම ඔහු වෙහෙසුණේය..පල්ලියේ ගීතිකා කණ්ඩායම බාරව සිටියේද අපේ හියුගෝ මාස්ටර්ය. ඒ සංගීත භාණ්ඩ වැයීමේ කුසලතාව ඔහුගේ දරුවනට ද පිහිටියේය.
තම දරුවනට දඬුවම් කරන්නට වුවද ඔහුට පිළිවෙළක් තිබුණි..කළ වරදේ ස්වභාවය අනුව දඬුවමද වෙනස් වෙයි. උපරිමය වේවැල් පහර තුනකි. එය ඉහෙන් දුම් පිටවන තරමට සැර යැයි පවසන අපේ බ්‍රිටෝ සිනාසී කියන්නේ අපෙ ලොකු අයියා නම් හොඳට කාලා තියෙනවා කියාය.
ජාතික ඇඳුම එකම සිත්ගත් ඇඳුම වූයෙන් තම දරුවන්ටද ජාතික ඇඳුම අන්දවා දරුවන් සමඟ පල්ලියට ගිය ගමන්වලදී ඔහු සිත අමුතුම සතුටකින් ඉපිලී යන්නේය.
දැන් දැන් අපේ ආදරණීය හියුගෝ සිරිලක සිනමා ක්ෂෙත්රයේ කවුරුත් දන්නා හඳුනන නළුවෙකි. ගී පද රචකයෙකි..චිත්‍රපට තිරනාටක රචකයෙකි. දෙබස් ලිවීමෙහි මහත් හපනෙකි.
"අපෙ තාත්තා ගැන අදත් අපට ලොකු ආඩම්බරයක් තියෙනවා..පස්වන පන්තියට විතරක් ඉගෙන ගත්ත අපෙ තාත්තා ක්ෂේත්‍ර කිහිපයකටම මෙතරම් දක්ෂයකු වුණේ කොහොමද කියලා..පාසල් ගමන නැවතුණත් තාත්තා අතට හසුවන හැම පොතක් පතක්ම කියවීමට තිබූ හොඳ පුරුද්ද නිසාම හැමදේකදිම ඉදිරියෙන් සිටියෙ කියලයි මං හිතන්නෙ..""
"අපට දඬුවම් කරපු අවස්ථාවලදි මෙහෙමත් තාත්තා කරනවා..දවසක් මමයි පොඩි අයියයි දබර වෙලා. ඉතිං..එය දැනගත් තාත්තා සුරුවම ඉදිරියෙ දණ ගහගෙන දෙන්නට දෙන්නගෙ මුහුණු බලන් ඉන්න කියනවා. ඔරසන් කියන්න කියනවා. පස්සෙ අපි තාත්තාගෙ අම්මා එලිසබෙත් ආච්චි ඇතුළු පවුලේ හැමෝටම වඳීන්න ඕනා..."
දැන් අපේ ආදරණීය කතා නායක හියුගෝගේ කල වයසත් හරිය..කසාදයකට මුලපිරූ හෙතෙම පා පැදියකින් ගියේ..නොඑසේනම් මඟුල් කියන්නට ගියේ හලාවත පදිංචි තම මාමා කෙනකු වෙතටය. ඒ අසා මාමා තරහින් මෙසේ කීවේලු.
"ඈ..උඹ කසාදයක් කරගන්ට..නෑ.නෑ..මම මේ පැත්තෙන්ම නුඹට මනාලියක් බලල අහවරයි. ඒකට කැමති වෙයන්."
ඒ ඇසූ අපේ හියුගෝ ඊට එතැනදීම අවනත වූයේය..
ඔහුගේ ප්‍රේමණීය ජීවන සහකාරිය වූයේ හලාවත..බණ්ඩාරවත්තේ එලිසබෙත් මෙනවියය.
විවාහය සිදුවී මනාලිය කැන්දා එන ගමනේදී හාපුරා කියා වචනයක් කතා කරන්නට හෙතෙම දහඅතේ කල්පනා කොට මුලට "අ" අකුර යහපත් යැයි සිතා සහකාරියගෙන් මුලින්ම විමසා ඇත්තේ 'අයියලාත් ආවාද " යනුවෙන් බව පුතු බ්‍රිටෝ මා සමග කීයේ සිනාසෙමිනි.
ඕ තොමෝ අතිශයින් කාරුණික තැනැත්තියකි. අනුකම්පා සහගතය. එම දෙපළගේ දූ දරුවන් වූයේ පළමුවැන්නිය බ්‍රිජට් මාලනීය..දෙවැන්නා නිමල් ඇන්ටනීය. තෙවැන්නිය ලලිතා ස්කොලස්ටිකාය. සිව්වැන්නා ගාමිණී මැල්කම්ය..පස්වැනියා මාටින් සරත් වන අතර බාලම දරුවා වූයේ මා හා පිළිසඳරේ පසුවන ජෝන් බ්‍රිටෝ ප්‍රනාන්දු ය.
"අපෙ තාත්තා අවිවේකයෙන් නිසා අපට ඉතිං හැමදේකදිම අම්මා තමයි.."
බ්‍රිටෝ කියන්නේය.
"අපෙ තාත්තා දක්ෂ රංගන ශිල්පියෙක් කියා නම් මම හිතන්නෙ නැහැ...ගාමිණී ..ජෝ වගේ. හැබැයි තාත්තා හොඳ විකට නළුවෙක්..ඒ වගේම විදේශීය චිත්‍රපටයක් බලල දේශීය අනන්‍යතාවයට සරිලන පරිද්දෙන් ඉහළින්ම තිරනාටකය ලියන්න නම් අපෙ තාත්තාට පුදුම හැකියාවක් තිබුණා. "
චිත්‍රපට වෙනුවෙන් ඉන්දියාවට නිතර යනෙන අපේ කතා නායකයාණෝ තම බිරිඳ සහ දූ දරුවන්ගේ දුක සැප විමසා ලියුම් එවන්නට නම් අමතක කළේම නැති.
"අනේ ඔව්..අයියාට තාත්තා කිවෙ සුදුමැලි සුද්දා..මට කීවෙ පිටි කන ගෝරියා කියලා. ලොකු අක්කාට හාල්මැස්සන් දේවි..ලොකු අයියාට කලවැද්දා ..මෙහෙම නමට පොඩි තුණ්ඩු කෑලි තාත්තා අපට එවනවා..."
බ්‍රිටෝ සිනාසෙයි.
අපේ ආදරණීය කතා නායකයාගේ කුලුපග මිතුරන් අතර ප්‍රවීණ රංගවේදී ඇන්තනී සී.පෙරේරා සමීපතමයකු විය...ඇන්තනී සී. නළුවකු වූයේ අපේ හියුගෝගේ අතදීමෙනි. ඇන්තනී සහ අපේ කතා නායකයා එක්ව රැඟූ "අල්ලපු ගෙදර" චිත්‍රපටයට අදත් හිමිවනුයේ ද මහත් ප්‍රසාදයකි. පෙරියමුල්ලේ වින්සන්ට් ජයමාන්න , ඇන්ඩ්‍රෘ ජයමාන්න ..සිල්වා ආදීහු ද ඔහුගේ සමීපතමයෝය.
මේ ආදරණීය පිළිසඳරට ඔහුගේ වැඩිමහල් පුතු නිමල් ඇන්ටනී ප්‍රනාන්දු ද එකතු වූයේය...
ලොකු පුතු නිමල් ඇන්ටනී කීවේ මෙලෙසය..
"අපෙ තාත්තා චිත්‍රපටවලට සම්බන්ධ වූ මුල් අවධියේදීම නායගම් මහත්මයා හඳුනාගෙන එතුමා එක්ක වැඩ කළා. සිලෝන් තියටර්ස් එකේ. නායගම් මහත්තයා ළඟදි තාත්තා සතුව තිබු හැකියාවන් මල්ඵල ගැන්වුණාය කීවත් හරි. ප්‍රේම තරඟය..අහංකාර ස්ත්‍රි..පුදුම ලේළි ආදී චිත්‍රපට අදටත් කාටත් මතකයිනෙ. පස්සෙ තාත්තා කේ.ගුණරත්නම් මහත්තයා එක්ක සිනමාස් සමාගමට එකතුව වැඩ කළා. අපෙ තාත්තා පියදාස ගුණසේකර ..කාන්ති ගුණතුංග ..ක්ලැරිස් ද සිල්වා ..රිචඩ් ඇල්බට්..ආදී තවත් නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන්නා."
"තාත්තා කියන්නෙ අපට ඉමිහිරි චරිතයක් " දිගු කතාවකට මුල පිරූ නිමල් ඇන්ටනී එසේ කියා සුසුමක් හෙළීය.
අපේ ආදරණීය කතා නායකයාණෝ සිනමාවෙහි නම පතළ අයකු යැයි හිස උදුම්මවා නොගත් සාමාන්‍ය අයකුව ජීවත් වූ අයකුම බව පුතුන්ගේ කතාවෙන් කියැවෙයි.
"අපෙ තාත්තාටම වෙන්වූ විශේෂ යහලුවන් පිරිසක් උන්නා.හැම ඉරිදාටම රා පොලේ සප්පායම් වෙනවා. කවදාවත් මුදල් පසුපස නම් හඹා ගියේම නැහැ. තාත්තා හොඳට හරි හම්බ කළා..අපට කාර් එකකුත් තිබුණා ..අපේ පැත්ත පළාතටම ටැලිෆෝනයක් කියල තිබුණෙත් අපට විතරමයි..අපට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩක් තිබ්බෙත් නැහැ.."
තම දූ පුතුන් සිනමාවට කැඳවා ගන්නට වචනයකුදු නොදෙඩූ අපේ ආදරණීය හියුගෝ දරුවනට කීයේ
"කලාව කොළා පමණයි. මේ සිනමාව තේ බොන්න විතරයි. නුඹලාට බත් කන්න ඕනෑ නම් රස්සාවක් කරපන්..කියාය.
දේශපාලන වේදිකාවේද ඔහු කැපී පෙනුණේය. නළු නිලි හවුල පිහිට වූ ගාමිණී ෆොන්සේකා සමඟ එකට සිටගත් හේ ඉන් ගාමිණී ඉවත්ව යාමත් සමඟ බලාපොරොත්තු නොවූ තත්ත්වයකට ඇද වැටිණි. ගුණරත්නම්ලාට එරෙහිවන්නටද නොහැකිය. කෙසේ හෝ වේවා අපේ කතා නායකයාණෝ සිනමාස් සමාගමෙන් පිටමංව හුදෙකලා වූයේය...ඔහුට චිත්‍රපට නැත්තටම නැතිවී ගියේය.
"තාත්තාගෙ ආදායම් මඟ නැවතුණා. අපි ඒ කාලෙ බොහොම දුක් වින්දා. තාත්තාව කිසිම චිත්‍රපටයකට ගන්නට එපාය කියල ගුණරත්නම් මහත්තයා කියල තිබුණා. යාළුවො කිව්ව තාත්තාට ගුණරත්නම්ලාට විරුද්ධව නඩු දාමු කියලා. ඒත් තාත්තා ඒ වෙලාවෙ කීවෙ කන්න දුන් අත හපාකන්න හොඳ නැහැ කියලයි..එහෙමයි යාළුවන්ට කිව්වෙ..චිත්‍රපට නැතිවම තාත්තා ගෙදරටම වී උන්නා. විජය චිත්රාගාරයෙන් තාත්තා ට කිසිම කැඳවීමක් නැහැ. අපි ඒ කාලෙ අසරණ වුණා. අපෙ තාත්තාත් කවදාවත් එහෙම අසරණව ඉන්නව අප දැක තිබුණෙත් නැහැ. "
රන්රසසේ හාදව තමන්ට ජීවන අත්වැල වූ ප්‍රිය බිරිඳ එලිසබෙත් 2000 වසරේදී නොඑනා ගමන් යන්නටම ගියාය...
දිනෙක ගමනක් යාමට සූදානම්ව කාමරයේ අල්මාරියක් විවර කළ ඔහුට ඉබේම තරහින් කෑ ගැසිණි. එහි තිබුණේ රන් භාණ්ඩ උකස් කරන ලද කුවිතාන්සි රැසකි.
තම බිරිඳ වහා කැඳවූ හේ කෑ ගෑවේය..
"මෙහෙම රන්බඩු උකස් කරන්න ඔහේට තිබුණු අවශ්‍යතාව මොකක්ද. ගෙදර..දරුවන්ගෙ වියපැහැදම් මං අඩුවක් නැතිව කරනවනෙ. "
ඇය නිරුත්තර ය.
" මං ආපහු ගෙට එනකොට මට මේවාට උත්තර ඕනෑයි කියමින් හෙතෙම ගමන පිටත්ව ගියේ කෝපයකිනි...ඕ ඉකි බිඳ බිඳ හඬා වැලපෙන්නට වූවාය..දරුවෝ අම්මා බදාගත්වනම වැලපෙති.
අපේ ආදරණීය හියුගෝ බාලම පුත් බ්‍රිටෝගේ දෑසද රත්පැහැගැන්වී ඇතැයි දිස්වේ.
"ඒ දවස හරිම දුකයි. අම්මයි තාත්තායි හරිම එකමුතුයි.අම්මාව කොහොම හරි බේරාගන්න එපායැ.මං පොඩි අක්කගෙ ගෙදර හදන රසකැවිලි වර්ග විකුණන්න මාත් ගියා. අම්මා අතට සල්ලි ගෙනැත් දෙන්න. අපි කරවල පැකට් කරල විකුණුවා..ඒ කරවල පැකට් තියල තිබුණෙ තාත්තාගෙ ඇඳ යට..කාමරේම කරවල ගඳයි.ඒත් තාත්තා හ්ම් කීවෙ නැහැ "
තාත්තා රන්බඩු උකස් තුණ්ඩු ගැන අම්මාගෙන් නැවත ප්‍රශ්න කරන්නට වූයෙන් ඕ ගෙතුළ දෙවනත් වන තරමට කෑ ගසා හඬන්ට වෙද්දී දරුවන් ද එකපෙළට අම්මා සමඟ තරඟයට මෙන් හඬන්නට වූහ. ඒ හඬ ඇසුණු මානයේ අසල්වාසීහු දිවැවිත් ගෙතුළ පිරිණි. විමසුම් කැරිණි. තාත්තා පැමිණි පිරිසට මොකක්දෝ කියා ආපසු පිටත් කර හැරියාසේම මේ දෙන්නා මාල්ලෝද හුරුපුරුදු සාමදානයටම එතැනදීම එක්තැන් වූහ..
අහල පහල දන්නා අයවලුන් තම දුකක් කියාගෙන උදව් පතා ආ කල්හි ඔහු ප්‍රිය බිරිඳ එලිසබෙත් කාරුණික හදවතකින් යුතු වූ නිසාම ඉවත නොබලා තම රන්බඩු උකසට තබා හෝ පිහිට වන්නීය. ඒවා පසුව බේරාගන්නට සිදුවන්නේද ඇයටමය.
මේ ඇත්තම කතාව අපේ හියුගෝ මාස්ටර් එපරිද්දෙන් ම ඇසූවිටදී ඇයගේ පරිත්‍යාගශීලී බව තවදුරටත් අදහා ඈ හිස අතගා හදපුරුදු ආදරයම ඇයට තිළිණ කළේය.
"අපෙ තාත්තා අපෙ අම්මා නැතිවුණ දවසේ අනේ හඬාපු තරම්..එහෙම තාත්තා හඬාපු දවසක් අපි දැකලාම නැහැ.."
පුතු කීවේ ඒ ටිකය.
"අපෙ තාත්තා දුම්වැටිය ප්‍රිය කළාද නම් මතක නැහැ. කඩේ අරක්කු නෙවි. හැලි අරක්කු තමයි බීවේ. ආදායම් මාර්ග ඇහිරිලා තියෙද්දි නම් තාත්තා හිතේ අමාරුවටම බීවා.."
අපේ සොඳුරු කතා නායක තෙමේ මතටම ඇබ්බැහිව ගියේය..ඒ නිසාම ඔහු රෝගාතුර වූයේය.
"තාත්තාගෙ ජීවිතයේ අන්තිම කාලයේ නම් තාත්තා බීම අතහැරියා.."
පුතු කියන්නේය.
දරුවන් එක්ව තාත්තා පවුලේ වෛද්‍යවරයා ළඟට කැඳවා ගියේ තාත්තාගේ අසනීප තත්ත්වය නිසාමය..වෛද්‍යවරයා කීවේ බොන්න නම් එපා කියාමය. එය ඇසූ අපේ හියුගෝ ගත්කටටම වෛද්‍යවරයාට කීයේ මේ ටිකය.
"උඹ කොහොමද මට බීම නවත්තන්න කියන්නෙ...උඹේ තාත්තා අපේ ගෙදර ආවාම බෝතලේ තියලනෙ කතා කරන්නෙ."
හෙතෙම තම සමීපතම මිතුරා වූ සිල්වා බලන්නට ගෙදරට ගියේය.. මිතුරු සිල්වා සති කිහිපයක් තිස්සේ බරපතළ තත්ත්වයෙන් ඇඳ මතම දිගැදීගත් ගමනිනි. සිල්වාට කතා කිරිමටද පණක් නැති නියාවෙන් මිතුරු හියුගෝ ගේ අතක් අල්වාගත්වනම සිටියේය.
අපේ හියුගෝ මාස්ටර් සිල්වාගේ කන ළඟටම මුව තබා මෙසේ කීවේලු.
"සිල්වා ..මේ අහපන්.උඹට එලොව යන්ඩ විසා ඇවිල්ල වගේ..ඔය විසා එක මට දීපන්..මොකද උඔෙ විසා එක අරන් මං ගියාම මට උඹවයි..තව අපෙ යාළුවො ටිකයි මට එකපාරම එහෙට ගන්න පුළුවන්නෙ.."
සති කිහිපයක සිට මරණාසන්නව සේ වැතිර හුන් සිල්වා ට හියුගෝගේ කතාව අසා බකස් ගා මහ හඬින් සිනහ පහළ වූයේය .
ආර්.ප්‍රේමදාස මහතාගේ මූල්‍ය උපකාරද ඔහුට හිමිවිණි..
ඇන්ටන් ග්‍රෙගරි මහතා කැඳවා ගොස් මස්තාන් මහතාට හඳුන්වා දෙමින් චිත්‍රපට ලොවට එකතු කළ නිසාවෙන්ම කෘතවෙිදිත්වය පිරිනමමින් අපේ ආදරණීය හියුගෝ ට ඇන්ටන් ග්‍රෙගරි මහතා මීගමුව නගර ශාලාවේදීද පෙරියමුල්ලේ ගමේදීද උපහාරයෙන් පුදනු ලැබූ දවසේදී සතුටු කඳුළින් යුතුව අපේ හියුගෝ මාස්ටර් කීවේ ජීවතුන් අතර සිටියදීම මා හට මෙලෙසින් උපහාර දැක්වීම මා ලද භාග්‍යයක්ම බවය.
අපේ ආදරණීය හියුගෝ අන්තිම කැමැති පත්තරය ලියුවේය...අඩු වියදමින් පෙට්ටියක්ද...මළගම අවසන් වනතුරු පෙරදිග සංගීතයද...වැඩි දවස් තම මළසිරුර තබා නොගන්නා ලෙසටය.
"අපෙ තාත්තා ගෙ අන්තිම කාලෙ මගෙ මෝනා මහත්මිය මංගලිකා තාත්තා ව බොහොම ආදරයෙන් බලා කියා ගත්තා ..මංගලිකා දැන් වෙලාව හරි කියල තාත්තා කියනවා..ඒ වෙලාව හරි කීවෙ අරක්කු ටිකක් දෙන්න කියන දෙය තමයි.."
අපේ බ්‍රිටෝ සිනාසුණේය.
"චිත්‍රපට කලාවට උරදෙන්න ගිහින් තාත්තා ඇතුළු අප අබලන් වුණා..චිත්‍රපට කර්මාන්තයේ කල දසාව හොඳ වුණා..ඒ ටික තමයි අපට කියන්න ඉතිරි වුණේ"
බ්‍රිටෝගේ කටහඬ බිඳුණු ස්වරයකි..
අපේ සොඳුරු කතා නායකයා රෝගාතුරව පසුවන්නේ ය. බැංකුවට යා යුතු බව කී නිසාම තාත්තා ද කැටුව ලොකු පුතු නිමල් තම රියෙන් තාත්තාව බැංකුවට එක්කගෙන ගියේය..එන අතරමගදී අතැති මුදල් දරුවනට දී හැමෝටම 'අඩ' රසකැවිලි ගන්නට යැයි කීවේය.
දැන් අපේ ආදරණීය හියුගෝ තම නිවසේය..හෙතෙම නැවත රෝගාතුර වූයේය..තවත් වචනයකුදු නොදොඩාම පසුවන තාත්තා දෙසම දරුවෝ දුක්මුසුව බලා සිටියහ.
වහා වෛද්‍යවරයෙකුද කැඳවිණි.
අපේ කතා නායකයා හොඳීන් පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයා පවුලේ සැමගේ මුහුණු බලා නිහඩවම බිම බලාගත්තේය..
රටක් සිනහවෙන් සනහාලූ සිනමාවටම ඇප කැප වූ අපේ සොඳුරු කණුකුලගේ හියුගෝ ප්‍රනාන්දු නම් ප්‍රතිභාපූර්ණ කලාකරුවා අවුරුදු 87ක් ආයුවළඳා නොඑනා ගමන් යන්නටම වූයේ "හියුගෝ" නාමය තවත් කාලයකට සිනමා රසික හදවත්හි තබමිනි.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ - සරසවිය