අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදක සහ මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහාතාගේ වියෝව සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාවේ දැවැන්ත පෞරුෂයක් කොට සලකන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහයන් විසින් සටහනක් තබනු ලැබ තිබේ.
බොරලැස්ගමුව මල් ශාලාවේ මේ තැන්පත් කර ඇති අශෝක තිලකරත්නයන් වෙත අවසන් ගෞර්ව පුද කිරීමට ඔහුට හිතවත්, අසල්වාසී, මිතුරු සහ සහෝදරාත්මකව බැඳියාවක් ඇති බොහෝ දෙනෙක් ඊයේ (14) දිනය දක්වාම සහභාගි වී සිටියහ.
නිශ්ශෝක අශෝකගේ විප්‍රයෝගය සාතිශය ශෝකයකි!
සම්භාව්‍ය මාධ්‍ය භාණකයෙකුගේ අභාවප්‍රාප්තියකි.
අසදෘශ මාධ්‍ය පරමාදර්ශයක විනාශප්‍රාප්තියකි.
බහුශ්‍රැත මාධ්‍ය ශිෂ්ටයෙකුගේ නෂ්ටප්‍රාප්තියකි.
ස්වාධීන මාධ්‍ය විදග්ධයෙකුගේ නිධනප්‍රාප්තියකි.
දුර්ලභ මාධ්‍ය කෝෂ්ඨාගාරයක අන්තර්ධානයකි.
යළි කිසි දා උන්මීලනය නොවන සේ සදා කලටම සිය නයන නිමිලනය වී ගිය නිශ්ශෝක අශෝකයෝ නික්ලිෂ්ට මාධ්‍ය ශිෂ්ටයෙකි. පරමාදර්ශී මාධ්‍ය පරපුරක අවසාන පුරුකකි. අශෝකගේත් මගේත් මාධ්‍ය මිත්‍ර සන්ථවයට හැට වයස් පිරී ඇත. මගේ එෆ් බී සම්ප්‍රාප්තියත් සමගම මා , තාක්ෂණික කෘතහස්තයෙක් වූ අශෝකගෙන් අනේක උපදෙස් පැතීම කවර අරුමයක්ද ! එහි ලා ඔහු මගේ
ස්නේහාර්ද්‍ර එක් තාක්ෂණික ශික්ෂකයෙකි. මම ඔහුගේ සම්භක්ත ශිෂ්‍යයෙකි. දිවි හිම් ඔහුට ණය ගැති වම්හ.
ලංකා ගුවන්විදුලියට ආලෝකයක් වූ අශෝක තිලකරත්නයන්ගේ නික්ලිෂ්ට ශිෂ්ට මාධ්‍ය මෙහෙවර අගයමින් 2023 පෙබරවාරි 05 වැනි දින මා එෆ් බීයේ පළ කළ ලිපිය මෙසේ යළි ඔබ වෙත ඉදිරිපත් කරනුයේ යළි කිසි දා අප වෙත නොඑන ඒ පරිණත මාධ්‍ය විබුධයාගේ ගුණ මහිමයට අප්‍රමාණ ප්‍රණාම පිණිසය.
" ඉතිහාසයේ පළමු වන වරට නිවේදකයන් තුන් දෙනකු වර්ග කර ඇත්තේ මීට අවුරුදු 2500 ගණනකට පෙරය. ඒ බුදුන් වහන්සේ විසිනි. ඒ බව සඳහන් වන්නේ ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ පඨම පණ්ණාසකයේ 03 වන පුද්ගල වර්ගයේ 08 වන 'තයෝ භාණී'
නැතහොත් 'ගූථ භාණී' සූත්‍රයෙහිය
"තයෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සවිජ්ජමානා ලෝකස්මිං.
කතමේ තයෝ? 'මධු භාණී,'
'පුප්ඵ භාණී,' 'ගූථ භාණී.'"
"මහණෙනි, වචන කතා කරන පුද්ගලයෝ තිදෙනෙක් ලොව විද්‍යමාන වෙති. ඒ තිදෙනා කවුරුද? ඔවුන් අතරින් මී සේ මිහිරි වචන කතා කරන පුද්ගලයා 'මධු භාණී' නම් වේ. මල් සේ මනහර වචන කතා කරන පුද්ගලයා 'පුප්ඵ භාණී' නම් වේ.අසූචි සේ පිළිකුල් දනවන වචන කතා කරන පුද්ගලයා 'ගූථ භාණී' නම් වේ."
(පාලියෙහිදී 'භාණී' යන වචනය 'වචන කතා කරන්නා' හෙවත් 'නිවේදකයා' යන අරුත දෙයි. පාලි භාෂාවේ අසූචි හැඳින්වීම සඳහා භාවිත කරන වචනය 'ගූථ' යන්නය. සිංහලට 'ගූ' වහර ආවේ එයිනි.)
බුදුන් වහන්සේගේ මේ විචක්ෂණ වර්ගීකරණය වචන කතා කරන්නන්ට මෙන්ම වචන ලියන්නන්ටද එක සේ අදාළ වෙතියි හඟිමි.
මගේ මේ අප්‍රකට මූලාශ්‍ර අනාවරණය වූකලී මගේ සමකාලීන චතුර ද්විභාෂික මාධ්‍ය සහෘද නිශ්ශෝක අශෝක තිලකරත්නයන් එෆ්.බීය මගින් ඉදිරිපත් කරන 'මධු භාණී' භාෂා භාවිතය පාදක කරගත් අභිනව සන්නිවේදන මෙහෙවරට ප්‍රණාම පිණිස මෙන්ම හුදී ජන නයනෝන්මීලනයද උදෙසාය.