lan englan tam

පුවත්

Poor Things පසු විමසුමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Poor Things යනු Yorgos Lanthimos විසින්

විචිත්‍ර ලෙස වියන ලද ඔහුගේ නවතම පරිකල්පනීය සහ අභූතවාදී සිනමා  කාව්‍යය යි.

ලැන්තිමෝස් කියන්නෙ විශිෂ්ට ගණයේ අභූතවාදීයෙක් නැත්නම් absurdist කෙනෙක්. ඔහුගෙ කලින් ගෙතූ වියමන් අතර The Lobester, The Killing of a Sacred Deer, The Favourite කැපී පෙනෙනව. ග්‍රීක ජාතිකයෙක් වන ඔහුට ජානගතව පරිකල්පනීය හැකියාවන් ආවා දෝ කියා කෙනෙක් සිතන්නට පුළුවන්. The Favourite සඳහා ඔහු තෝරාගන්නෙ රංගනයෙහි දක්ෂ සහ අභීත Emma Stone. ඔවුන්ගේ සං‍යෝගයේ අපූර්ව බව  Poor Things සිනමාපටය පුරාම දකින්න පුළුවන්. ලැන්තිමොස් ගේ සිනමාකරණය තුළ ඔහුට වික්ටෝරියානු යුගයන්ගේ වෘත්තාන්ත විශේෂයෙන් තෝරාගැනීමට රුචිකත්වයක් තිබෙන බව The Favourite සහ Poor Things හරහා  අපට පෙනෙනව. 

සිනමාකරණයෙහි දී විවිධාකාල කලාව සම්බන්ධ ශානර සහ පාසල් තෝරාගැනීම අපට හමුවන්නෙ වඩා ශාස්ත්‍රීය සිනමාපට වලදි. නමුත් Poor Things සහ ලැන්තිමෝස් ඊට අභියෝග කරමින් වෙනස්ම ආරක චිත්‍රණයක් අපට පෙන්වනව. මේ සිනමාපටයට පාදක වෙන්නෙ ස්කොට් ජාතික Alasdair Gray ගෙ Poor Things (1992) ග්‍රන්ථය යි (Alasdair මේ වෙනකොට අප අතර නෑ). මේ ග්‍රන්ථය රැගෙන ලුණු ඇඹුල් සහ කුළුබඩු පදමට දමා සිනමාකරණයට ලකලැහැස්ති කරන්නෙ Tony McNamara. ඔබට The Favourite සහ Curella රස මතක නම් ඒවායේ තිර රචකයා මහගැරෙන්නට බෑ.. ගන්ථය, සිනමාකරුවා සහ ප්‍රේක්ෂකයා අතර අතුරුමුහුණතක් වන තිරරචකයා ගේ අන්‍යයන්ගේ සිත් කියවීමේ හැකියාව සහ ඒ අනුව කරන ආමන්ත්‍රණයේ ශක්‍යතාව Poor Things තුළ මැනවින් පිළිබිඹු වෙනව. 
 
මේ සටහන ඉලක්ක කරන්නෙ සිනමාපටයේ ලැන්තිමෝස් ගෙ ප්‍රකාශනයට පාදක වෙන කලා පාසල්, දාර්ශනික චින්තන පාසල් සහ movements වගේම අතීත වික්ටෝරියානු යුගයේ අත්දැකීම් වල හුයන් ඔහු කෙතරම් දක්ෂ ලෙස  එක් කරගෙන ඔහුගේ සිහින වියමන කෙසේ වර්ණ ගැන්වුවා ද කියන කාරණය යි. මෙහිදී ඔහුගේ අතීතය සම්බන්ධයෙන් වූ පර්‍යේෂණය කෙතරම් සියුම් ලෙස සහ පුළුල් ලෙස සිදුවී ඇත්දැයි විමසා බලමු.
Poor Things එක්තරා ආකාරයක "feministic" අඳුරු ප්‍රහසනයක් (dark comedy). කථාව ඇරඹෙන්නේ සහ ගලා යන්නේ වොක්ටෝරියානු බලපෑම අති ප්‍රභල වූ කල්පිත දේශයක. ආරම්භයේ සිටම සංකේත බහුලව යොදාගැනීමක් තිබෙන බව ප්‍රේක්ෂකයාට අමුත්තක් වෙන්නෙ නෑ. සිනමාටපය ආරම්භයේ සිට මූලික රුපරචනා මාධ්‍යයක් විදියට පෙනෙන්නෙ (පළමු කළු සුදු කොටස ඇරඹෙන්නෙත්) Phantasmagoria නැත්නම් අත්භූතරූපදර්ශනය පදනම් කරගෙන. Godwin Baxter සහ සිනමාපටයේ මුල් දර්ශන කිහිපය ද මේ ගනයට අයත් වෙනව. පසුව සිනමාකරුව සුදුසු තැන් වලදී highlighter එකක් විදියටත් මේ tool එක භාවිත කරනව.
 
සිහින සහ යථාර්ථය එකට සියුම් ව අඹරල ලියකම් කරන එක ඉතාම දුෂ්කර කාර්‍යයක් වුනාට ඒ සම්බන්ධයෙන් හදාරන සහ ඒවා ප්‍රකාශන ලෙස නිමවන පාසල් නැත්නම් කලා  ආගමන (movements) කිහිපයක් තියනව. ඒ සියල්ලන්ගෙම අරමුණ චිත්තාභ්‍යන්තරයෙ මැවෙන විස්මෘත සහ අනත්ථ ප්‍රකාශන ප්‍රේක්ෂකයන් හමුවට ගෙනනෙ එක. ඉන් ප්‍රධාන එකක් තමයි Surrealism කියන්නෙ. Surrealism 1920 වගේ කාලෙදි (manifesto on 1924) ඇතිවෙන දේශපාලනික, සංස්කෘතික සහ කලාව සම්බන්ධ movement එකක්. පළමු ලෝක යුධ සමයෙන් පසුව ඇරඹෙන ප්‍රංශ සහ බෙල්ජියානු මුල් ඇති මෙහි ාඅරම්භකයා ලෙස සැළකෙන්නෙ Guillaume Apollinaire වුනත් එය manifesto එකක් විදියට ඉදිරිපත් කරන්නෙ André Breton සහ Yvan Gol. මෙහි අරමුණ වුනේ අවිඤ්ඤාණික සිතට (unconscious mind) ප්‍රකාශන  වලට ඉඩ ලැබෙන්නට. අවිඤ්ඤාණීක සිත ක්‍රියාත්මක වන අතාර්කික (illogical) සහ සිහින ආකාර මායාවන් කලාත්මකව එළිදක්වන්න ඉන් ඉඩ ලැබුණා.. මේ හරහා අනපේක්ෂිත මොහොතක දී ඇතිවෙන විශ්මය (element of surprise) සහ සන්නිධානය (juxtaposition) - side by side comparisson - ආදී කාරණා එළිදක්වන්න හැකි වෙනව. 1960 ගණන් වලදි ඇතිවෙන කාන්තා (feminism), මානව අයිතීන් සහ ecological movements වල දි ප්‍රධාන අවියක් ලෙස භාවිත වෙනව. 1970 දි කාල් ජන්ග් සහ ජන්ගේරියන් මනෝවිද්‍යාව හරහා එය නැවත පණ ගැන්වෙනව. Surrealism හරහා චිත්‍ර, කාව්‍ය, ගද්‍ය සහ සිනමාවට නොමද මෙහෙයක් සිදුවෙනව. David Lynch ගෙ Mulholland Drive ආදී සිනමාපට, Jan Svankmajer ගෙ සිනමාපට මේ අතර කැපී පෙනෙනව. මේ හරහා අපේ අතීත මිත්‍යා, ජනප්‍රවාද ආදියත් නව්‍ය ආකාරයට වේදිකාවට ගෙන එන්න කලාකරුවන් සමත් වෙනව. ලැන්තිමෝස් මෙය ඉතා අපූරු ආකාරයට Poor Things වලදි යොදාගන්නව. නූතනයේ පාරිසරික හානිය සහ ලෝක විනාශය සම්බන්ධ කතාබහේ දි ප්‍රභල ප්‍රකාශන මාධ්‍යයක් වන්නෙ Surreal සහ Absurd ප්‍රකාශන. 
 
Absurdism කියන්නෙ දාර්ශනික පාසලක් (පැවැත්ම සම්බන්ධයෙන් පවතින වඩා නූතන Absurdism සහ existentialism එකම අදහස නමුත් වෙනස් ආකල්ප සහිත පාසල් දෙක යි). මෙහි අදහස නැත්නම් පිළිගැනීම තමයි විශ්වය සහ එහි ඇති දෑ අතාර්කික සහ අර්ථාන්විත නොවන බව (විශේෂයෙන් ම ධනවාදී ලෝකයක . මේ නිසාම Absurdist කෙනෙක් වන ලැන්තිමෝස්ට Surrealism කියන්නෙ රන්‍ රස වගේ පෑහෙන tool එකක් වෙනව. Poor Things හි බොහෝ දේවල් මේ ක්‍රමවේදය භාවිත කරල රූපගන්වා  තිබෙනව. 
 
මීට අමතරව 19 වන සියවස ඉතා ප්‍රසිද්ධයි වාෂ්ප බලයෙන් ක්‍රියාකරන කන්ත්‍රසූත්‍ර වලට. ඒ හරහා ගොඩනැගෙන විද්‍යා ප්‍රබන්ධ ශානරයක් තමයි Steampunk කියන්නෙ. එහිදී යන්ත්‍ර සූත්‍ර සහ පසුතලත් මේ වාෂ්ප එන්ජිම් සහ ඊට අදාළ යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත වෙනව. Retrofuturism කියන්නෙ අනාගතයේ එන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර වල වල අනුරූ සම්බන්ධ චිත්‍ර සහ අනෙකුත් කලා නිර්මාණ. මේ දෙකම එකතු කරල පසුතළ ගොඩනැගීම සහ විවිධ කාලපරාස සිත්තම් කිරීමත් මේ සිනමාපටය පුරා දකින්න පුළුවන්. සත්‍ය වශයෙන් එය යුග කිහිපයක ගමන් කරනව (1927 metropolis නගර, 1931 ෆ්‍රැන්කන්ට්සයින් නිර්මාණ වලට අදාල පසුතල, විවිධ යුග වලට අයත් ඇඳුම් ආයිත්තම් නිර්මාණ). 
 
බෙලා බැක්ස්ටර් දිවිනසාගත් කාන්තාවක ගේ ශරීරයක් සහ ඇගේ නූපන් දරුවාගේ මොළයක් සහිත hybrid නිමැවුමක්. Godwin Baxter නැත්නම් ඇගේ නිර්මාපකයා ගේ කෙටි නම "God" ලෙස හැඳින්වෙනව. සත්‍ය වශ්‍යැන් ම ඔහු මේ වනවිටත් වෛද්‍යවිද්‍යාවට කරන්නට නොහැකි වූ මොළ බද්ධය උත්සාහ කරන සහ සඵල කරගත් කෙනෙක්. 1931 නිර්මාණය කෙරෙන ෆ්‍රැන්කන්ස්ටයින් සිනමාපටයේ ෆ්‍රැන්කන්ස්ටයින් ගේ මෘගයා (Frankenstein's monster) ගැන ඔබ අසා ඇත්නම් (පසුකාලීනව Frankenstein සිනමාපට ගණනාවක් නිර්මාණය වෙනව) Poor Things එහි තවත් එක් අනුවාදයකට සමාන කතා පුවතක් බව ඔබට පෙනී යන්න හැකියි. 
 
සිනමාපටයේ එන වෛද්‍යවරයා වන ගොඩ්වින් වඩාත් සමාන වෙන්නෙ Frankenstein's monster හටයි. සිත්පිත් නැති විද්‍යාත්මක යන්ත්‍රයකට නැමියාවක් නැතිව ජීවියෙක් පරිනාමය කළ හැකි ද? 
 
Godwin Baxter බිහිවෙන්නෙ මානසික වියවුලක් සහිත ඔහුගේ පියාගෙන් (Daddy issues). ඒ නිසා ගොඩ්වින් ට තිබෙන මානසික තත්ත්වයන් සිනමාපටයේ තැනින් තැන අවශ්‍ය පරිදි නිරාවරණය වෙනව. මෙහි දී ගොඩ්වින් බලසම්පන්න නැත්නම් දිව්‍යමය නිර්මාපකයෙකුට වඩා පියාගෙන් බැට කෑ නමුත් දරුවන්ට ඉතා හොඳින් සහාය ලබාදෙන, තම ද්වේෂයන් පාළනය කරගන්නා එක්තරා මානුෂීය දේවත්වයක් ලෙස කෙනෙකුට නිර්වචනය කරන්නට හැකි වෙනව (නමුත් සිනමාපටය අවසානයේ ඔහුගේ මොළය වෙනත් ශරීරයකට බද්ධ නොවන්නේ මන්ද කියන ප්‍රශ්නය ඉතිරි වෙනව, බොහෝවිට වයස්ගත නිසා එය නව්‍ය ශරීරයකට නොගැළපෙන බවට කළ උපකල්පනයක් විය හැකියි). අනිට් අතට මෙය ගොඩ්වින් වැනි intellectual, scientific උන්මාදයකින් පෙළෙන පිස්සෙකුගෙ සිතේ මැවෙන, යථාර්ථයට නොඑන, විකාරරූපී අව්‍යාජ සෙනෙහසක් දැයි අනෙත් අතට අසන්නටත් ඉඩ තිබෙනව. එහි විකාර සහගත ලිංගික හාස්‍යයන් සහ ස්ත්‍රී ද්‍රෝහී ප්‍රචණ්ඩත්වය ඉතා විශාල ලෙස නිරූපණය කර තිබෙන හැටියට එවන් ප්‍රශ්න අපට නැගෙන්නට පුළුවන්. 
 
කෙසේ වුවත් මේ සිනමාපටයට පාදක වන වික්ටෝරියානු යුගය මෙවන් ක්‍රියාකාරකම් වලින් පිරීගිය යුගයක්. විරූපී ලිංගිකත්වය, කාන්තාවන් කෙරෙහි එල්ල වූ ප්‍රභල සීමා - කුලීනත්වය සම්බන්ධ සීමා සහ විතැන් කිරීම් වගේම අධ්‍යාපනික අවකාශ වැසීම, මානසික ගැටළු සියල්ලම විවිධාකාර ලෙස ස්ත්‍රී නිමිත්තට සම්බන්ධ කිරීම (මෙය ඈත අතීතයේ පටන් එන්නක්) - ඉතා හොඳින් නිරූපණය කෙරෙනව. ලිංගික ශ්‍රමික කාන්තාවන් සහ ඔවුන්ගේ ඛේදවාචක මතින් නැගීසිටීම් වල කතාන්තරයත් ඒ තුළ එක් කොටසක දී දැකගන්නට ලැබෙනව. පසුතලයේ ලිංගිකත්වය පුන පුනා කුළුගන්වන කාන්තා නිමිත්තෙ හැඩතල සහිත පනේල කොටස් සහ අනෙකුත් පසුබිම් චිත්‍රණත් දැකගන්නට හැකි වෙනව. ඔස්කා සම්මානයෙන් පිදුම් ලබන්නට හේතු වූ ඇඳුම් මෝස්තර සහ ආයිත්තම් නිර්මාණය සිදුවන්නේ (Holly Waddington - Costume Design, she won the 2024 Oscar for her effort) මේ සියල්ල උකහාගනිමින් මේ යුගය ප්‍රතිනිර්මාණය කරන්නටයි. එය එක්තරා ආකාරයක අතීතයට එල්ල වුනු නූතන feminist කැරැල්ලක් බඳුයි.
 
ලිංගික වශයෙන් ඉතා අව්‍යාජ සහ අහිංසක බෙලා තම ජීවිතය තුළ තමන්ගේ බුද්ධිය නිර්මාණය කරගන්නේ autodidact නැත්නම් ස්වයං-අධ්‍යනයක් හරහා ගොඩනැගෙන චරිතයක් ලෙසයි.ඒ තුළ විශාල පරාසයක පැතිරී ගිය දාර්ශනිය කතාබහක් පවතිනව. ඒ නිසාම සමහර විචාරකයන් බෙලා ගේ චරිතය මුනිවරයෙකුට සමාන කරන්නට පෙළඹී තිබෙනව. 
 
දේශපාලනිකව Surrealism සමාජවාදී වගේම අරාජකත්වය නැත්නම් ස්වෛරීවාදය කුළුගන්වන්නට යොදාගැනෙනව. Barbarella සිනමාපටයේ Jane Fonda වගේම දක්‍ෂ චරිතයක් වන බෙලා ඇයගේ බලපෑමට ලක් නොවූ හැසිරීම ඇය වටා සිටින අයගේ දූෂණය සහ කුහකකම අඛණ්ඩව පෙන්නුම් කරනව. ඒ හරහා එක්තරා සමාජවාදී සහ ධනවාදයට එල්ල වෙන එක්තරා විවේචනයක් ලෙසත් පෙන්නුම් කෙරෙනව. වඩා ආගමික කතිකාවකට යනවා නම් බෙලා හරහා ලිලිත් ගේ ආගමනය ව්‍යංගාර්ථව පෙන්නුම්කෙරෙන බවකුත් ඇතැම් විචාරකයන් පවසනව. ලිලිත් කියන්නෙ මෙසපොතේමියානු සහ ජුදා විශ්වාස වල එන කාන්තා චරිතයක්. ඇය ආදම් ගේ පළමු බිරිය ලෙස ද මතවාදයක් පවතිනව. ඇය එක්තරා යක්ෂයෙකුගේ චරිතයක් ද නිරූපණය කෙරෙනව (සුමේරියානු, ඇසිරියානු සහ බැබිලෝනියානු කතාපුවත් වලත් මෙවන් චරිත දක්නට ලැබෙනව). ලැන්තිමොස් ග්‍රීක ජාතිකයෙක් නිසා ඔහුගෙ රටේ ලිලිත් සම්බන්ධ ඇදහීම් සහ එහි එන satyr යන චරිතය අවසානයේදි යම් ආකාරයකින් පෙන්නුම් කරනවා ද යන සැකයත් ඇතිවෙනව (Alfie Blessington - the general - ඔහු අවසානයේ දි එළුවෙකුගෙ චරිතයක් බවට පත් කෙරෙනව එළුවෙකුගෙ මොළය ඔහුගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසුව, මෙය යම් ආකාරයකින් satyr සත්වයෙක් උපත ලැබීමක්.) එනයින් බෙලා යනු පුරුෂාත්ම හීනනයේ සහ බලයේ අවසානය සනිටුහන් කරන දේවත්වයක් (නැත්නම් යක්ෂයෙක්) ද යන්න ප්‍රශ්න කරන්නට ද හැකියි.
ලැන්තිමෝස් මවන අසාමාන්‍ය, විකෘත සහ කෘත්‍රිම ලෝකය නිර්මාණය කරන්න කැටයම් කළ වර්ණ තහඩුවක් වැනි ඔහුගේ සිනමා වර්ණ යොදාගැනීම් නිසා මේ සිනමාපටය 1900 ගණන් වල වික්ටෝරියානු Erotica තැපැල්පත් සිහිගන්වනව. මේ තැපැල්පත් ඔබ දැක නැත්නම් ඒවා අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. මේ තුළ සංතෘප්ත ස්වරයෙන් ඇතුළතින් දැල්වෙන බෙලාගේ සිත සහ එහි මුහුකුරායාම වගේම ඒ බියකරු සහ කටුක අත්දැකීම් වලදී ඈ තුළ තිබෙන ධනාත්මකබව අවධි පහකදී දැකගන්න පුළුවන්. මේ අවස්ථා නිරූපණය කරන්නට විශ්මයජනක ලෙස ලැන්තිමෝස් සහ Robbie Ryan (cinematographer) කැමරාව, කෝණ, fish-eye, සහ වර්ණ පැලට්ටුව භාවිත කරනව. ඒ එක්කම ඒ ඒ අත්දැකීම් වල පෙරනිමිති පළකරන්නට monochrome/technicolor ආකාර වර්ණ යොදාගැනීම ඔහුගේ නිර්මාණකරණයේ ප්‍රභලත්වය පෙන්නුම් කෙරෙනව. ඊටම අනුපාන වශයෙන් එකතු වෙන අපූර්ව සහ විරල අත්දැකීමක් ලෙස මෙහි සංගීත නිර්මාපකයා (Jerskin Fendrix) ලබා දෙන්නේ බෙලා ගේ හදගැස්ම සහ විවිධ අත්දැකීම්, ගැටුම් සහ මානසිකත්වයන්ගේ වගේම ඒවා පරයා ඉදිරියට ඇදී යන ඇගේ බුද්ධිමය වර්ධනයේ ධ්වනිත ප්‍රක්ෂේපණයක් ලෙසයි. 
 
දරුවෙක් හදාවඩා ගැනීමේ  ක්‍රම (parenting styles) හතරක් අපට වර්තමාන මනෝවිද්‍යාව තුළ හමුවෙනව. මේ තුළ බෙලා සම්බන්ධයෙන් අනුගමනය වන්නේ Permissive ආකාරයේ (එකල කාන්තාවන්ට කිසිසේත් නොලැබුණූ) ක්‍රමවේදයක්. විටෙක එය Permissive වලින් Neglectful මට්ටමකට යන බව පෙනුනත් බෙලාගේ අවට සිටින ධනාත්මක සහ විවිධාකාර දාර්ශනික නැත්නම් චින්තන අනුගමනය කරන පිරිස් ඇයට ඉතා හොඳ වේදිකාවක් ලබාදෙනව. ඔවුන්ගේ ස්වෝත්තමවාදී අදහස් වලින් තැතිගැනීමට ලක් වුවත් එක් පථයක් දිගේ පැහැවිළිව සංවර්ධනය වන්නට ඇයට හැකිවෙනව. 
 
Tabula Rasa ආකාරයකින් නිරාවරණය කෙරෙන, ලිංගිකත්වයෙන් ආරම්භ වන උද්වේගකර ගවේෂණයක් සුඛාන්තයක් සහිත නිවීමකින් කෙළවර වෙනව. මෙහි දී නූතන මනෝවිද්‍යාත්මක ඇසින් මේ කාර්‍යය සම්බන්ධ විවේචන එල්ල විය හැකියි නමුත් ඔබ මතක තබාගත යුත්තේ මෙය අයථාවාදී නිර්මාණයක් යථාර්ථයට ගෙන ආ අවස්ථාවක් බවයි. ස්ත්‍රී පුරුෂ ලිංගිකත්ව නොමැතිව වුවත් බෙලා සහ එහි අවසානය කෙනෙකුට කියවාගන්නට සහ පහදා ගන්නට හැකි වෙනව.
 
එය යථාවේ සහ අයථාවේ අමුතු වූ, නිරාමිස වූ, අපූර්ව සම්මිශ්‍රණයක් නොවේ ද? වර්තමානය තුළ ලැන්තමෝස් ගේ සිනමාකරණයේ කූටප්‍රාප්තිය Poor Things වියහැකි බවට ද අවසන් වශයෙන් සටහනක් තැබිය හැකි වෙනව.
 
ඉපොක්සි එතේන්
Back to top
Go to bottom

Popular News