සුදත් මහදිවුල්වැව කියන්නෙ ලංකාවේ සිනමා සහ රූපවාහිනී මාධ්‍ය ඇතුලෙ කාලයක් තිස්සෙ වැඩකරපු සහ වැඩකරන නිර්මාණශීලී මිනිහෙක්.
දණ්ඩේ ලූ ගිනි, වනස්පති, ධවල රාත්‍රිය වගේ රූපවාහිනී මාලා නාට්‍ය වගේම සුදු කළු සහ අළු චිත්‍රපටයත් ප්‍රේක්ෂක මතකයේ නිශ්චිත සලකුණු.
ඔහු දැන්වීම් නිර්මාණකරණයේ වාර්තා චිත්‍රපට කරණයේ අති දක්ෂයෙක්. විශිෂ්ට රචකයෙක්.
එක පාරක්, සුදු කළු සහ අළු චිත්‍රපටය සහ ඊට චිත්‍රපට සංස්ථාවෙන් ලැබිය යුතුව තිබූ අනුග්‍රහය සම්බන්ධව, සුදත් වාදයකට පැටලුණා තිස්ස අබේසේකර සමග.
එහිදී, සුදත්ගේ චෝදනාව තිස්ස උපහාසයෙන් බැහැර කළේ සුදත්ගේ පිටපතටත් ගරහමින්. මේ ලිඛිත වාදය පළවුණේ, මතකය නිවැරදි නම් සරසවිය පත්තරේ.
සුදත් මහදිවුල්වැව තිස්ස අබේසේකරට ලියපු අවසන් පිළිතුරේ අවසන් වාක්‍යය මෙයයි. 'තිස්ස සුදු, මම කළු, සිනමාව අළු !'
එහෙම ලියපු සුදත්, අද සිනමා තිරයට රතු අරගෙන ඇවිත්. චරිත දෙකක්, එකම දර්ශන තලයක්. පැය එකහමාරක්.
ඒක සුළු පටු අභියෝගයක් නෙමෙයි. ඒ අභියෝගය සුදත් මහදිවුල්වැව ජයගත්තාද යන ප්‍රශ්නයට හෙට අනිද්දා චිත්‍රපටය තිරගත වූ පසු ප්‍රේක්ෂකාගාරය පිළිතුරු දෙනු ඇති.
මහදිවුල්වැව සහෘදයාගේ ඇරැයුමෙන් එහි හදිසි දර්ශනයක් නැරඹූ ලියුම්කරුට ඒ ගැන තිබෙන්නේ මැද අදහසක්.
තරින්දි නමැති රංගන ශිල්පිනිය සහ ආසිරි නමැති රංගන ශිල්පියා යොදාගෙන සුදත් යම් වියමනක් ගොතන්නට වෑයම් කරනවා.
එහිදී, තරින්දි නිර්භීත රංගනයක යෙදෙන බව කිව යුතුයි. සත්තකින්ම පැය එකහමාරේ සංචාරක මග පෙන්වන්නිය වන්නේ ඇයයි.
එහෙත්, සුදත්ගේ වියමනට යොදාගෙන තිබෙන දෘෂ්ඨිවාදී හුය, නිර්මාණාත්මක සායම් වතුරේ ප්‍රමාණවත් තරමට පොඟවා ඇත්දැයි ලියුම්කරු තුල අවංක ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.
පර්යේෂණාත්මක සිනමා ව්‍යායාමයක සීමාවන් ඇති බව සත්‍යයක් වුවත් මහදිවුල්වැව ස්පර්ශය තව ඊට ලැබිය යුතුව තිබුණා.
තාක්ෂණික හා රූප සත්කාරය ඉතා සියුම් මෙන්ම ඉහළ තලයක තබා ගත් චිත්‍රපටය, තේමාවෙන් මතු නොව දෙබස්වලින්ද රතු කිරීම මඳක් සීමා වූවා නම් තවත් අගෙයි.
පොදුවේ ගත්තත්, කලාව සංස්කෘතිය රතු නිල් කොල හෝ තැඹිලි පාට වෙනවාට වඩා, සුදු කළු සහ අළු පදාසයක රඟ දීම පෞද්ගලික කැමැත්ත කරගත් මිනිහෙක්ගෙන්, මේ විචාරාත්මක ආදර සුබ පැතුම, සුදත් මහදිවුල්වැවට සහ නුදුරේ තිරයට එන රෙඩ් කොම්රේඩ්ට !
සටහන : විමල් කැටිපෙ ආරච්චි