ප්‍රවීණ සාහිත්‍යධර චූලානන්ද සමරනායක ඊයේ (07) දිනයේ වැඩිහිටියන්
සඳහා පැවැත්වුණු වැඩසටහනකට සහභාගි වී තිබූ අතර එහිදී එම අවස්ථාව පිළිබඳවත් ඉදිරි අනාගතයේදී සිය සමාජ දායකත්වයත් පිළිබඳව සටහනක් තබා තිබිණි.
ඊයෙ සන්ධ්‍යාව ගෙවුනෙ බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රජා ශාලාවෙ. බණ්ඩාරගම සංස්කෘතික මධ්‍යස්ථානයේ සංස්කෘතික නිලධාරිනී අනෝමාගෙ ඉල්ලීමක් අනුව කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය නියෝජනය කරමින් මම මගේ පුත්‍රයගෙ තාක්ෂණික සහයත් අරගෙන එහෙ යන්නෙ වැඩිහිටි සංගමයක ඉල්ලීම අනුව.
සාමාන්‍යයෙන් වැඩිහිටි සංගම්වල අය එකතු වෙන්නෙ ආගමික වැඩවලට. ඒත් ඊයෙ වෙනස්, ඔවුන් ආවෙ චිත්‍රපටියක් නරඹන්න. වෙනදට වඩා වෙනස් විදිහට ඊයේ බහුතරය කාන්තාවන්. ඔවුන් ගෙවල තිබ්බ බෙඩ් ෂීට් අරගෙන ඇවිත් ශාලාව කළුවර කරගත්තා. අධික රස්නය දරාගත්තා.
අපි ඉදිරියෙ විකල්ප දෙකක් තිබුණ. එක කිමානි මරුගෙගෙ ජීවිත කතාව ඇසුරින් නිපදවපු ෆස්ට් ග්‍රේඩර්, දෙක ඉන්දීය දමිළ සිනමාවෙ වාණිජ, හාස්‍යෝත්පාදක සිනමා පටයක් වුණ ජෝකර්.
අපි තෝරගත්තෙ ජෝකර්.
සරල සිනමා පටයක් වගේ පෙනුනත් ඉන්දියාවෙ දේශපාලනයේ කැතකම වගේම ඒ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන සනීපාරක්ෂක ගැටලුවත් කේන්ද්‍ර කරගත් ඒ නිර්මාණය පළමු අඩ සිනහවෙනුත් දෙවන අඩ කඳුළිනුත් ලියවුණ එකක්.
ඔවුන් එය වින්දා. අවසානයේ ඉන්දීය සිනමාව හරහා ඔවුන්ට අපේ ඛේදවාචකයත් කියවන්න ලැබුණා. තමන් වියපත් උනත් තමන්ට පෙරටත් වඩා සක්‍රීය වෙන්න හැකි බවත්, වගකීම් සහගත වෙන්න හැකි බවත් ඔවුන්ට අදහසක් ලෙස සන්නිවේදනය කරන්න හැකි වුණා.
වසර හැත්තෑ හයක් තිස්සෙ කතිරෙට සීමා වුණ මිනිසුන්ට ජීවිතයේ ඊට වඩා වගකීම් තියෙන බවට මේ චිත්‍රපටයෙ පොන්නුජල් පෙන්නනවා.
මේ වගේ වැඩසටහන්වලට අවශ්‍ය ආම්පන්න හිඟයෙදි මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර් එකක් සහ තිරයක් පරිත්‍යාග කළ සරිඳු වගේම අවශ්‍ය ශබ්ද උපකරණ තම මිත්‍රයෙක් හරහා අරන් දුන් මගේ සරසවි බැචා පුස්සගෙ දායකත්වය මෙහිදී සඳහන් කළ යුතුමයි.
මගේ ඉදිරි කාලය වැඩි වශයෙන්ම දරුවන් සහ යෞවනයන් වෙනුවෙන් වැය වේවි. දර කෝටු වගේ නවන්න හදනකොට කැඩෙන වැඩිහිටි සමාජය වෙනුවට හෙට එතැනට එන අද දරුවන්ගේ ලෝකය පුළුල් සහ විචිත්‍රවත් කිරීම අපේ වගකීම.
මියෙන තුරාම මිනිසුන් වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයන් දැරිය යුතුයි කියන අදහසෙන් විතැන් වෙන්න නොදී දුෂ්කරම අවස්ථාවල ඇවැසි සහය දෙමින් මට හයියක් වෙන සියලු සගයන්ට තුති.
කළුතර දිස්ත්‍රික්කය තුළ ඉන්න මේ වන තුරු ලේඛක සංවිධානය හා එක් නොවුණ නිර්මාණශිලී සහෘදයිනි ඔබ අප හා එක්විය යුතුයි. මේ ඇරයුම එහෙයින්මයි.
අපි ඉන්නෙ රොබින්සන් කෲසෝ වගේ තනිවම ගැලවීම හොයන්න පුළුවන් මගක නෙවෙයි. සාමූහිකත්වය, ඒ තමයි වැදගත්ම කොන්දේසිය.
ඉතින් අපි එක්ව පියනගමු.