lan englan tam

පුවත්

අකම්පිත ගැමියාගේ උපේක්ෂාව පෙන්වූ 'ලා හිරු දහසක්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ලංකාවේ ප්රථම ටෙලි නාට්යය දිමුතුමුතු ය. එයින් පසු දෙවැනි ටෙලිනාට්ය විදියට ජාතික රූපවාහිනියෙන් විකාශනය වූයේ ලා හිරු දහසක් ටෙලි නාට්යයයි. ඒ වන විට ටෙලි නාට්ය කලාව ආගන්තුක වූ ලාංකීය ප්රජාවට මේ නිර්මාණ නවමු අත්දැකීම් විය. අද වන විට ටෙලි නාට්ය දස දහස් ගණන් බිහිවීද, බිහිවෙමින්ද ඇති අතර එසේ වුවද ඒවාට එදා මුල් කාලීනව නිපදවුන ටෙලි නාට්ය වලට අලගු තබන්නටවත් බැරි බව පෙනේ. එය වෙනම කතා කළ හැකි තරමේ මාතෘකාවකි.
ලා හිරු දහසක් හි කතාව ඔබට මතක ඇතැයි සිතන්නෙමි. එය මුලින්ම ප්රදර්ශනය වූ 1984 පටන් මේ දක්වා බොහෝ වාර ගණනක් රූපවාහිනීයේ ප්රදර්ශනය වී ඇත. එමෙන්ම එය youtube හරහාද ඔබට නැරඹීමට හැක.
ලා හිරු දහසක් නාට්යය ජාතික රූපවාහිනිය විසින් නිෂ්පාදනය කරන ලද ප්රථම ටෙලි නාට්යය වේ. පරාක්රම නිරිඇල්ල මහතාගේ අධ්යක්ෂණයක් වූ මෙහි තිරපිටපත දයා අල්විස් මහතා විසින් සිදු කර ඇත. එහි වූ මතකයෙන් ගිලිහී නොයෙන අපූරු සංගීතය මර්වින් පෙරේරා මහතාගෙන් ය.
මෙම ටෙලිනාට්යය ආරම්භයේදී කොටස් 13 කින් පමනක් සමන්විත විය. එහෙත් එම නාට්යය ලැබූ අසීමිත ප්රේක්ෂක ප්රතිචාර නිසා තවත් කොටස් 15ක් එක් කොට දෙවැනි කොටසක්ද නිර්මාණය කරනු ලැබීය. එය ඇත්තෙන්ම අපූරු කතාවකි. කාලීනව ශ්රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගතවීම් ආරම්භ වූ ඒ අවධියේ ඒ නිසා ඇතිවෙන අතුරු ප්රතිඵල ගැන මෙම ටෙලි නාට්යයෙන් කතා කළේය. කුඩා කල පටන් එකට සිටි වඩු කාර්මික වෘත්තියේ යෙදුන මිතුරන් දෙදෙනෙකු වූ උදයරත්න සහ ධර්මදාස යන මිතුරන් දෙදෙනා වටා ගෙතුන කතාවේ තීරණාත්මක සාධකයක් වන්නේ උදයරත්නගේ විදෙස්ගත වීමය. ඒ විදෙස් ගතවීම නිසා ඔහු තුල ඇතිවන වෙනස්වීම ගමෙහි සංහිඳියාවට බලපාන අයුරු දයා ද අල්විස් මහතා විසින් මැනවින් චිත්රණය කර තිබිණ. මෙරට ජනතාව විදෙස්ගතවීම ආරම්භ කළ අවධියේදීම මෙවන් වූ පුළුල් දැක්මකින් ඒ දෙස බලන්නට තරම් පිටපත් රචකයාට මොනතරම් විචක්ෂණ ඥානයක් තිබෙන්නට ඇත්දැයි මට සිතේ. එමෙන්ම ගැමි ජනතාවගේ මානුෂීය ගුණාංග ගැන කතා කරන්නටද මෙහිදී දයාද අල්විස් මහතා අමතක කර නැත. ගමෙහි සිදුවන සියලු වෙනස්වීම් වලදී නොසැලී අකම්පිතව සිටින බාසුන්නැහේ චරිතය එකල ගැමියාගේ අකම්පිත ස්වභාවය මැනවින් නිරූපණය කරයි.
ලාහිරු දහසක්හි පළමු කොටසේ රඟපෑම සඳහා දයා අල්විස්, දෙනවක හාමිනේ, රත්නා සුමනපාල, රෝහිත සමරවීර, ජයරත්න රූපසිංහ, රමණී ෆොන්සේකා, අමිත්ත වීරසිංහ, නඩරාජා ශිවම්, භද්රා නන්දනී ගුණරත්න, චන්දිමා ජීවනී, සුසිලා සල්වතුර, රාජා සුමනපාල, ස්ටැන්ලි වර්ණකුල යන නළු නිළියන් ප්රධාන චරිතවල සිටියේය. ඒ අතර ඒ වන විට සිනමාවේ සහ වේදිකාවේ ප්රවීනත්වය ලබා සිටි නළු නිළියන් කිහිප දෙනෙක්ද විය. දෙවන කොටස සඳහා ඉහත කී නළු නිළියන්ට අමතරව දිලිප් රෝහණ, සුනිල් හෙට්ටිආරච්ච්, සිරිල් වික්රමගේ, කුමාරි නෙත්තසිංහ, වින්ධ්යා හේමාලි සොයිසා ආදී රංගන ශිල්පී ශිල්පිනියන් සම්බන්ධ විය. මෙම නළු නිළියන් අතරින් කිහිපදෙනෙක් මේ වන විට ජීවතුන් අතර නැත.
එදා මෙදාතුර ටෙලි නාට්ය ක්ෂේත්රයේ අති විශාල වෙනස්කම් සිදු වී ඇත. එදා නාට්යයක් අවසානයේ ප්රේක්ෂකයා වෙත ලබාදීමට පණිවිඩයක් තිබින. එමෙන්ම අනවශ්ය වැල්වටාරම් වලින් තොරව ඒවා නිර්මාණය විය. එහෙත් වර්තමානයේ බොහෝ ටෙලිනාට්ය දීර්ඝ කොටස් ගණනකින් යුක්තව එකම සිදුවීම හෝද හෝදා මඩේ දාමින් අනවශ්ය ලෙස දිග්ගස්සමින් ප්රේක්ෂකයා වෙහෙසට පත් කරවයි. එමෙන්ම අතිශය වානිජකරණයට ලක්වී ඇති ටෙලි නාට්යයන් කෙරෙන් ප්රේක්ෂකයන් ඈත්ව යමින් සිටින බවද දක්නට ඇත.
ඉඳින්, අප ඒ යුගයේ හරවත් වින්දනාත්මක ටෙලි නාට්ය නැරඹීමට භාග්යය ලද ප්රේක්ෂකයන් වන්නෙමු. වර්තමානයේ විකාශනය වන හරසුන් ටෙලි නාට්යය නොනරඹන මට ඒ ගැන සියුම් සතුටක්ද සමග හරවත් නිර්මාණ රස විඳීමට ඉඩ නොලැබෙන නූතන ප්රේක්ෂකයා ගැන කණගාටුවක්ද උපදී.
 
මංජුල විජේසිංහ
2024.04.29.
Back to top
Go to bottom

Popular News