සිනමාව තුළ වීරයා කියන්නේ හයේ හතරේ සික්ස් පැක් තියෙන කඩවසම් පුද්ගලයෙක් කියන එක කාලයක් ඉර්ෆාන් ඛාන් විනාශ කරලා දැම්මා. මොකද ඉර්ෆාන් කියන්නේ 80 සහ 90 දශකයේ අපිට මවා පෙන්නපු සින්තටික් වීරයෙක්ගේ ස්වරූපය නොවූ නිසා. ඊට පස්සේ ඒ තැනට හෙමි හෙමින් නවසුදීන් සිද්ධික්, නානාපටේකාර්, මනෝජ් බජ්පායි වගේ අය එන්න පටන් ගත්තා. වෙලාවකට හිතෙනවා මේ මිනිස්සු රගපානවද නැත්නම් සැබෑ ජීවිතයේම ඉන්නවාද කියලා. මොකද ඒක රඟපැමකට එහා ගියා දෙයක් වුණා. ලන්ච් බොක්ස් චිත්‍රපටියේ ඉර්ෆාන් තොල් මුමුණමින් කතා කරනවා සේම ඇස් දෙකෙන් වෙනත් කතාවක් කිව්වා. මේ අය හරි දක්ෂයි ඇස්වලින් කතා කරන්න. ඇස්වලින් මායම් කරන්න.
හින්දි සිනමාවේ වගේම දමිළ සිනමාවට ගියොත් මේ අතරට වැටෙන්නේ වික්‍රම්. වික්‍රම් කියන්නේ මම දකින ආකාරයට අපි හැමදාම දකින සින්තටික් දමිළ නළුවෙක් නෙවෙයි. වීරයා ප්‍රතිවීරයා දුෂ්ටයා එකී නොකී මෙකී ඕනෑම චරිතයකට කිදා බැහැල කරන්න පුළුවන් වික්‍රම්ට. වික්‍රම්ගේ චිත්‍රපට ඒකට හොඳටම සාක්ෂියි. අන්නියන්, දෙයිව තිරුමගල්, රාවන්, පිතාමගන්, සාමි, කන්දසාමි, සේදු, කාසි, ඉරු මුගම් කියන චිත්‍රපට හොඳම සාක්ෂියක් ඒක.
බෙංගාලි සිනමාව ගැන ලොකු අත්දැකීමක් නැතත් බලපු බෙංගාලි සිනමා කිහිපයම වෙනස් මානයක් ගෙන එනවා. ඒත් මේ හැමෝටම අභියෝගයක් වුණ 2012 ඉදන් වගේ එකපාර පිබිදීමක් ආව සිනමා ශානරයක් විදිහට මලයාලම් සිනමාව හඳුන්වන්න පුළුවන්. මේ සිනමාව ඇතුළේ මේ මිනිස්සු රඟපානවාද නැත්නම් මේ ඉන්නේ සැබෑ මිනිස්සුද කියල වෙලාවකට හිතෙන තරමටම මේ මලයාලියේ ඒ චිත්‍රපට අතර මායාවන් මවනවා. මලයාලි වශී ගුරුකම් වගේ මේ මිනිස්සු ඒ චිත්‍රපට අස්සේ අපිව ජීවත් කරවනවා. මහාලොකු කතා පුවතක් ඒවගේ නැහැ. නමුත් පොඩි සිදුවීමක් අරන් ඒ සිදුවීම වටා ලොකු කතාවක් ගොඩනගනවා. මලයාලියෝ දක්ෂයි ඇස්වලින් කතා කරන්න. ඒ ඇස්වලින් කතා කරන එකේ අල්ට්‍රා ෆෝමැක්ස් චරිතය වෙන්න ඕන ෆාහද් ෆාසිල් කියන්නේ. ෆාහද් ගේ ෆිල්ම් එකක් නෑර බැලුව කෙනෙක්ට තේරෙනවා මේ මිනිහා ඇත්තටම රගපානවාද නැත්නම් මැජික් කාරයෙක්ද කියලා.
මේ ෆාහද්ගේ අලුත්ම ෆිල්ම් එක. ආවේශම්. ඇත්තටම මේ ආවේශයක් තමයි. සරලවම මේ මිනිහා අමු පිස්සෙක්. කියන්න තියෙන්නේ එච්චරයි. මේ ඇස් දෙකට ඕනි එකෙක්ට වශී වෙනවා.
දිනුක මලින්ද