අනූව දශකයෙදි පොත් කියවන්න ගත්ත අපේ කියැවීම් ලැයිස්තුවෙ නොම්මර එකේ රස මාධ්‍යය වුනේ යොවුන් නවකතා.
ඒ කාලෙ අද වගේ බුරුතු පිටින් පරිවර්තන කලඑළි බහින යුගයක් නොවුනට යොවුන් නවකතා තිබුනා මදි නොකියන්න.
පුංචි අපේ ඇස් බෝල, පුස්තකාල රාක්ක අස්සෙ එහෙමෙහෙ දුවමින් විමසිලිමත් වෙනකොට කුලසේන ෆොන්සේකා,දෙනගම සිරිවර්ධන,සිබිල් වෙත්තසිංහ,ටී.බී.ඉලංගරත්න වගේ නම් පොත් පිටකවරෙක ලියැවිලා තියනව, දකිනව කියන්නෙත් මිහිරියාවක්.
සිංහල යොවුන් නවකතාවෙ කිරුළු නොපලන් රජ්ජුරුවෝ,කුලසේන ෆොන්සේකා වෙන්න ඕන.
දැන් යොවුන් නවකතා බිහිවීමේ අඩුවක් තියනවද නැද්ද කියන එක ගැන මට හරියටම නිච්චියක් නැතත් ඉස්සර තරම් පේන්න නම් නෑ..
අනෙක් පොත්වලට සාපේක්ෂව හිඟයක් නම් පවතින හැඩක් පේනවා..
ඉතිං මේ වගේ කාලෙක තමයි අපේ සහෘද, කිතලගම කවියා හා හා පුරා කියල යොවුන් නවකතාවක් අත්හදා බලන්නෙ.
මේ වගේ කාලෙක කිව්වට දැන් අවුරුදු තුනක් විතර එපිට..දැන් පොතේ මුද්‍රණ කීපයක් අහවර වෙලත් හමාරයි.
මම කියවල ඉවර කලේ අද..
මාතර පැත්තෙ පිටිසර ගමක,අඟහිඟකං වලින් අඩු නැති පවුලක ඉලන්දාරියෙකුගෙ දුක සතුට සම්මිශ්‍රිත යොවුන් ජීවිතය ගැන අපූරු කතාවක්.
යොවුන් නවකතාවක් කියවන්න ඇහැකි වයසෙ දරුවෙකුට කියවන්න ඉහළින්ම රෙකමදාරු කරන පොතක්..
දරුවො විතරක් නෙවෙයි චුට්ටගෙ පිටු පෙරළෙන කොට එන ලා හුළං සැරෙන් මාව ත් ආපහු මීට දශක දෙක හමාරකට විතර එහාට පියෑඹෙව්වා.
මචං ළහිරු, උඹ ඉස්සරහට කවි හිතිවිලි අකුරු වලට පබඳිනව වගේම නවකතාත් ලියන්න ඕන..
කවි වලටත් වඩා මේක උඹේ ආධ්‍යාත්මයෙ තියන වග පේනවා.
නිරෝෂ් ගුණසේකර