අපි චූටි කාලේ ඉටි කෑල්ලක් පොල් කට්ටක ගහගෙන රෑ යනවා රූපවාහිනී බලන්න. ඒ කාලේ තිබුනේ ජාතික රූපවාහිනී විතරයි. ගමටම රූපවාහිනී දෙකයි, තුනයි. ඒකත් බලන්නේ කාර් බැට්රියට ගහලා. චාජ් කරාගෙන ආවම මාසයක් බලන්න පුලුවන්. බැට්රියය බැස්සම බයිසිකලේ බැදගෙන 12km ක් ගිහිල්ලා චාජ් කරගෙන එන්න ඕන.
ගමේ කට්ටිය ඔක්කොම මිදුලේ පැදුරු දාගෙන රූපවාහිනී බලන්නේ. හින්ංදි චිත්රපටියක් එහෙම තිබුණොත් ගමේ ඔක්කොම මුදුලේ තමයි. අහල පහලට ගිහිං චූ පාරක් දානවා. වැල්ලේ පෙරළි පෙරළී චිත්රපටි බලනවා. යනකොට පැදුරු කොට්ටා උස්සගෙන, තේ හදාගෙන යන්නේ.
අපි රූපවාහිනී බලන්න යන පාරේ මරංගල ඔය තියෙනවා. ඔයට තිබුණේ අපේ වීරසේකර ග්රාම නිළදාරීතුමා හදපු වැල් පාලම. ඔයේ වතුර දෙගොඩ තලා යනවා. අපි ඉතිං වැල් පාලමේ අත් පා හතරින් ම තමයි යන්නේ. දඩුබස්නාමානය වගේ කතාවක් බලල එනකොට කරුවලේ කොහොමද ආතල් එක.
කොල්ලෝ කුරුට්ටෝ හැංගිලා බය කරනවා. පෙම් කෙළින දෙන්නෙක් එහෙම හිටියොත් ලැබෙන සුනංගුවෙන් කරුවලට වහං වෙලා ටිකක් පෙම් සුවයි, කම් සුවයි විදිනවා. අඩියක් මුඩියක් ගහන උදවියත් ඕක අස්සෙම තමයි සප්පායම් වෙන්නේ. වැටේ සුදා ටිකක් දාගෙන ටෙලියක් බලනකොට තියෙන ආතල් එක, පොඩි අපට ඒ දවස්වල තේරුණේ නෑ.
සතියකට එක දවසයි කතාව. කතාව හරියටම විනාඩි 25යි. අනෙක් කොටහ ඊළග සතියේ. ඉතිං ඒ සතිය එනකං අපි නො ඉවසිල්ලෙන්. දූදරුවෝ, නෑදෑයෝ, දියකැට පහන, සින්තටික් සිහින, කන්දේ ගෙදර, වෙදහාමිනේ, පළිගු මැණිකේ, ඇල්ලළග වලව්ව්, සුදෝ සුදු.....! හදයා මගේ හිතේ තාම හොල්මං කරන්නේ ඒකාලේ ටෙලි බලලා.
හම්මේ දැනුත් ආසාවේ බෑ මතක් වෙනකොට.
ඒ කාලේ ටෙලි නාට්ය කියන එක අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තිබුණා. ගොඩක් අය පවුල් පන්සල් වුණේ රූපවාහිනී බලන්න යන්න එන්න ගිහිං. ගමේ ඕප දුප ටික කතා කලෙත් රූපවාහිනී ඉස්සරහ. හෙට හේනේ වැඩට කුළියට මළියට මිනිස්සු හොයා ගන්න ගියෙත් රූපවාහිනී බලන ගෙදරකට. ඔය අස්සේ වලියක් දෙකක් නොගියාම නෙවෙයි. කට්ටියගෙ චූස් පඩ, හීං පඩ ඉවසගෙන කස්ටියම කතාව බලනවා.
අපි ඒ දවස්වල හිතුවේ ඒ කතාවල පෙන්නන්නේ ඇත්තම දේවල් කියල. දඩුබස්නාමානයේ ආරච්චි ඒ විදිහටම ඉන්නවා කියලයි අපි හිතුවේ. එයාලා අඩන කොට අපිත් අඩනවා. එයාලා පෙම් සුව විදිනකොට අපිත් ඒක හිතින් විදිනවා.
අර කොල්ලයි කෙල්ලයි බයිසිකලේ නැගලා
"ලල්ලල ලල්ලල ලාලා ලල්ලල ලල්ලල ලා "කියල සින්දුවක් කියාගෙන ගිය ච්ත්තර පටියක් තිබුණෙව්. " චිත්තර පිස්සුව නිසාම යනවා ගමටම ටටා කියාලා " කියහ ප්රෙඩී සිල්වා නළුවෙක් වෙන්න නගරයට ගිය ච්ත්රපටයක් තිබුණේ. අයියයි මමයි ඒක බලලා හිතා ගත්තා කවදා හරි නළුවෙක් වෙනවා කියල.
අම්මේ මං ඒ දවස්වල ආසාවෙන් හිටියේ ඒ වගේ බයිසිකලයක කෙල්ලෙක්ව තියාගෙන සිංදුවක් කියාගෙන යන්නේ කවදද කියල. දැං ඉතිං අම්පාරේ ඉදං කුරුණෑගල යන එනකොට ඒකේ තියෙන අමාරුව තේරෙනවා. පුප රත්වෙනකොට රොටී තැටියක් වගේ.
ඒ කාලේ රූපවාහිනී ඒ තරම් අපේ ජීවිතයට සමීපයි.
ඒකට දැං ටෙලි නාට්ය දැක්කම රූපවාහිනී යට පයෙන් එකක් අනින්න හිතෙනවා. ඒවගෙ කතාවක් නෑ. කතා වින්යාසයක් නෑ. දෙබස් නෑ. රගපෑමක් නෑ. කෙටියෙන් ම කිව්වොත් මොකක්වත් නෑ නෑ ම තමයි.
තුං නොදකින් ලාංකේය ටෙලි නාට්ය කලාවට ගිය කලක්.
ගාමිණී බස්නායක