සීමා සහිත සුමති පුවත්පත් සමාගම නමින් අලුතින් පුවත්පත් සමාගමක් ලියාපදිංචි කර ඉරිදා ලක්බිම පුවත්පත ආරම්භ කළේ 1994 දි. මොන මාසෙද කියල නම් මට හරියට ම මතක නෑ. ඉරිදා ලක්බිම ආරම්භ වීමත් සමඟ ප්රවීන මාධ්යවේදීන් රාශියක් ලක්බිමට එකතු වුණා. සුන්දර නිහතමානි ද මැල්, සමන් වගආරච්චි, මහින්ද ඉලේපෙරුම, නිහාල් පීරිස්, අනුර හොරේෂස්, සම්පත් දේශප්රිය, මහින්ද අබේසුන්දර, ක්රිෂ්ණ විජේබණ්ඩාර ආදී වශයෙන් ලක්බිමට එකතු වූ විශාල පිරිසක් අතරින් මම ඔය කිව්වේ මගේ මේ මොහොතේ මතකයට නැඟුණු කීප දෙනෙක් පමණයි. ප්රධාන කර්තෘ බන්දුල මහත්තයා යි.
ඉරිදා සිංහල පුවත්පත් කලාවේ සුවිශේෂ සනිටුහන් කීපයක් තැබූ පත්තරයක් විදිහට ලක්බිම ගැන මේ මොහොතේ මම සටහන් කරන්නේ තරමක ආඩම්බරයකින්.
ඉරිදා සිංහල පුවත්පත්වලට සරල සැහැල්ලු ආශ්වාදනීය කියවීම් සහිත ටැබ්ලොයිඩ් අතිරේකයක් මුලින්ම එකතු කළේ ලක්බිම පුවත්පතට. ඒ තමයි "රිද්ම" අතිරේකය. රිද්ම සංස්කරණය භාරවී තිබුණේ නිහාල් පීරිස්ට. රිද්ම අතිරේකය පාඨකයන් මොනතරම් ආදරයෙන් වැළඳ ගත්තද කිව්වොත් ඒ කාලේ අපේ කන්තෝරුවේ අය ඒ ගැන විහිළු කතාවක් හදලා තිබුණා. සාමාන්යයෙන් පත්තරේ මුල් පිටුවේ ප්රචාරක උපක්රමයක් විදියට " ලක්බිම සමග රිද්ම අතිරේකය නොමිලේ"යනුවෙන් සඳහන් කරනවා. අපේ කන්තෝරුවේ අය හදලා තිබුණු විහිළු කතාව තමයි "රිද්ම සමඟ ලක්බිම නොමිලේ" කියලා. එයින් අදහස් කළේ ඉරිදා ලක්බිම, රිද්ම නිසා අලෙවි වූ බවක් නොවෙයි. ඒ තරමටම රිද්ම ජනප්රිය වීමයි. කොහොම වුණත් ඒ කාලයේ සියලු ඉරිදා පුවත්පත් අභිබවා පෙරට එන්නට තරම් ඉරිදා ලක්බිමට හැකියාව ලැබී තිබුණා. රිද්ම අතිරේකයේ ජනප්රියත්වය කොතෙක් වුණාද කිව්වොත් අනෙකුත් සියලු ඉරිදා පුවත්පතුත් තමන්ගේ පුවත්පත සමග ටැබ්ලොයිඩ් අතිරේකයක් එකතු කරන තත්ත්වයටම පත්වුණා. අද වන විට අපේ රටේ සියලුම ඉරිදා පුවත්පත් මෙවැනි ටැබ්ලොයිඩ් අතිරේක අනිවාර්යෙන්ම තමන්ගේ පත්තරයට එකතු කරනවා.
ඉරිදා ලක්බිම මගින් ඇති කළ අනෙක් සුවිශේෂ පෙරළිය තමයි ඉරිදා පුවත්පත සෙනසුරාදා දිනයේ වෙළඳපලට නිකුත් කිරීම. ඉන්පසු අනෙක් ඉරිදා පුවත්පත්වලටද සෙනසුරාදා දිනයේ වෙළඳපළට නිකුත් කිරීම නොකර බැරිවුණා. අදත් ඒ තත්ත්වය ඒ විදිහටම පවතිනවා.
අද මම මේ කියන්නට යන කතාව ඉරිදා ලක්බිමට පසුකාලීනව එකතු වූ මිහිරි ෆොන්සේකා ට වෙච්ච දෙයක්. මිහිරි කියන්නේ අපේ දිනපතා ලක්බිමේත් කාලයක් හිටපු ප්රවීණ මාධ්යවේදී සිරිමල් ෆොන්සේකා ගෙ පුතා. දැන් එතුමා ජීවතුන් අතර නෑ. මිහිරි ගෙ මේ අත්දැකීම ගැන
මුලින්ම අපට කිව්වේ මහින්ද ඉලේපෙරුම. දැන් අරුණ පුවත්පතේ ප්රධාන කර්තෘ ලෙස කටයුතු කරන මහින්ද ඒ කාලෙ හොඳ රසවතෙක්. වැඩි වැඩක් නැතුව නිදහසේ ඉන්න වෙලාවට මහින්ද "රැජින" පැත්තට එනවා. ඇවිත් මොනවා හෝ රස කතා කියලා හොඳහැටි අපිවත් හිනාගස්වල යන එක මහින්ද අතින් නිරන්තරයෙන් සිදුවූ දෙයක්. තිලක් අයියාත් නිතරම විහිළු කතා කියන නිසා මේ දෙන්නා එකතු වුණාම එතන රස සාගරයක් මැවෙනවා.
ඒ නිසාම මහින්ද අපේ අංශයට එනවට මම කැමති වුණාට මහින්ද එනකොට මට පොඩි බයකුත් ඇති නොවෙනවා නොවෙයි. ඒ කාලෙ සමාජය ගැන වැඩි දැනීමක් නොතිබුණු මම මහින්දගේ විහිළුවලට හරියට අහු වෙනවා. එතකොට මහින්ද මාව බයිට් කරනවා. ඒ ලැජ්ජාව හින්දාම මහින්ද එනකොට ටිකක් බයයි. ඒත් මම කැමතියි මහින්ද එනකොට. හිනාවෙන්න කවුද අකමැති ?
ඒ කාලෙ ලක්බිමේ හිටියා චන්දන කියලා පියන් මහත්තයෙක් . සාමාන්යයෙන් ඉරිදා පුවත්පතක වැඩ වැඩිම දවස් දෙක තමයි බ්රහස්පතින්දා සහ සිකුරාදා. මේ දවස් දෙකේ අනිවාර්යයෙන්ම කර්තෘ මණ්ඩලය " නයිට් එක ගහනවා" ම යි. නයිට් එකට පිරිමි අය මිසක් ගෑනු අය නම් ඉන්නෙ නෑ.
නයිට් එකට ඉන්න පියන් හැන්දෑවේ හය හමාර විතර වෙනකොට හැම මහත්තයෙක් ළඟටම ගිහින් රෑ කෑමට මොනවද ඕනේ කියලා අහලා ලැයිස්තුව හදාගෙන කොස්ගස් හන්දියට හරි ආමර් වීදියට හරි ඒ ඒ අවශ්ය තැන්වලට ගිහින් රෑ කෑම ගෙනත් දෙනවා.
එදා මිහිරි රෑ කෑමට ඇණවුම් කරලා තිබුණේ පෙති පාන් ගෙඩියකුයි චිකන් කරි එකකුයි.
" චන්දන මතක් කරලා පාන් ගෙඩියේ කල් ඉකුත් වෙන දිනය බලලා ගේන්න" මිහිරි කෑම ගේන්න යන්න කලින් චන්දනට පොඩි අවවාදයකුත් කරලා තිබුණා.
" හොඳයි මිහිරි මහත්තයා" කියලා චන්දනත් කෑම ලැයිස්තුව අරගෙන කන්තෝරුවෙන් පිටවෙලා ගියා.
දැන් ඔන්න පැයකට විතර පස්සේ චන්දන හැමෝගෙම කෑම ගෙනල්ලා ඒ ඒ අයගේ මේස උඩින් තිබ්බා.
රෑට පත්තරේ වැඩකටයුතු අධික නිසා හැමෝම එක වෙලාවකට කෑම කන්නේ නෑ. පොඩි ඉස්පාසුවක් ලැබෙන විට කෑම කන එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ. සමහරු වැඩ කරමින්ම කෑම කන අවස්ථාත් තිබෙනවා. පත්තර රස්සාවෙ රෑට විතරක් නෙමේ දවල්ට වුණත් කෑම පැය කියල එකක් නෑ. වෙලාවට පත්තරේ පිටු ඉවර කරලා මුද්රණයට භාර දෙන එක කර්තෘ මණ්ඩලය සතු ලොකු වගකීමක් නිසා.
පැයකට විතර පස්සේ චන්දන ඇවිත් බැලුවා මිහිරි මහත්තයා කෑම කනවා තියා කෑම එක දිහා බලපු පාටක්වත් පේන්න නෑ.
" මිහිරි මහත්තයා කෑම කන්න"
චන්දන, මිහිරිට කිව්වා.
" හරි චන්දන මං කන්නම්කො"
මිහිරි තමන් කර කර හිටපු වැඩෙන් ඇස් දෙක අහකටවත් නොගෙනම කිව්වා.
තවත් සෑහෙන වෙලාවකට පස්සේ චන්දන ආයෙත් එතනින් යන්න යන ගමන් මිහිරි කෑම කාලද කියන එක ගැන විශේෂයෙන් බැලුවා. ඒත් කෑම එක තියපු තැන ඒ විදිහටම තියෙනවා.
" මිහිරි මහත්තයා කෑම කන්න"
චන්දන නැවතත් මතක් කළා.
" මම මේ වැඩේ ඉවර කරලම කනව චන්දන"
මිහිරි කිව්වේ වැඩි ගාණකට නැතුවයි.
කන්තෝරුව ඇතුලේ මහත්වරුන්ට අවශ්ය කරන අඩු වැඩිය සපයා දෙමින් පියන් ඒ තුළ එහා මෙහා යාම සාමාන්ය සිරිතක්. මෙහෙම එහා මෙහා යන චන්දනට මිහිරි මහත්තයා කෑම ගැන කිසිම උනන්දුවක් නොදක්වන බව පෙනෙන්නට ඇති. දැන් රෑ එකොළහත් පහුවේගන එනවා. චන්දන ටිකක් නොසන්සුන්. බැරිම තැන චන්දන ආයෙත් මිහිරිගෙ මේසෙ ළඟට ආවා.
" මිහිරි මහත්තයා කෑම කන්න"
චන්දන තුන්වෙනි පාරටත් මතක් කළා.
" හරි චන්දන මම කන්නම්. ඔයාට ඕනේ නං වැඩ ඉවර කරලා ගිහින් නිදාගන්න. මගේ මේ වැඩේ ඉවර කරලා තමයි මම කන්නේ "
මිහිරි හිතුවේ චන්දනට නිදිමත වෙලා තමන්ට මෙහෙම ඇවිටිලි කරනවා කියලයි. නමුත් චන්දනට තිබුණේ වෙන හදිස්සියක්.
" නෑ මිහිරි මහත්තයා, මට මිහිරි මහත්තයා කිව්වනේ පාන් ගෙඩියෙ කල් ඉකුත් වෙන දිනේ බලන්න කියලා"
" ඔව්, ඉතින් ? "
මිහිරි තමන් කර කර හිටපු වැඩේ මොහොතකට නවත්තලා චන්දනගේ මූණ දිහා බලලා ඇහුවා.
" අද තමයි මිහිරි මහත්තයා ඒකෙ කල් ඉකුත්වන දිනේ. රෑ දොළහට කලින් කන්න ඕන හින්දයි මම මේ මතක් කළේ"
චන්දන උත්තර දුන්නා.
තවත් රස කතාවකින් නැවත හමුවෙමු.
මෙම ලිපි පෙළ ලිවීමේ අදහස මා තුළ රෝපණය කළ භාරතී වීරසිංහ සොයුරාට ස්තුතියි.
ඉන්දු පෙරේරා