චිත්‍රපට නිෂ්පාදක, සරසවිය පොත් ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ 80 වැනි උපන්දිනය ජුනි 25 වැනිදාට යෙදී තිබේ.
ඔහු නිෂ්පාදනය කළ සිනමා කෘතිවල අධ්‍යක්ෂවරුන් වන මහාචාර්ය සුනිල් ආරියරත්න (විජයබා කොල්ලය/යශෝධරා/ක්ෂීර සාගරය කැලඹිණ), අශෝක හඳගම (අල්බෝරාදා/අසන්ධිමිත්තා), සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර (THE NEWSPAPER) යනාදීන් ඒ වෙනුවෙන් සරසවිය විශේෂාංග රචක මනෝජ් රුක්මල් කුමාරසිංහ සමග කළ සාකච්ඡා මෙවර සරසවිය E PAPER පිටු අංක 03/04න් කියවිය හැකිය.
චිත්‍රපට නිෂ්පාදන අර්ථපතියකු මෙන්ම සරසවි පොත් ප්‍රකාශන ආයතනයේ අධිපති ද වන එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ 80 වැනි ජන්ම දිනය ලබන 25 වැනිදාට යෙදී තිබේ….ඔහු අද වනවිට මෙරට සිටින ඉහළම පෙළේ දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ග්‍රන්ථ ප්‍රකාශනයෙහිලා ද ගුණාත්මක තලයක “සරසවි පොත් ප්‍රකාශන” නාමය රඳවාගෙන සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයකු ද වෙයි….සිනමාවට ඔහුගේ ඇති කැමැත්ත සහ ආශාව නිසාම මේ වනවිට චිත්‍රපට රැසක් සඳහා සිය මූල්‍යමය දායකත්වය ලබාදී සිනමාවේ ඉදිරි ගමනට අපරිමිත සේවයක් ලබාදෙමින් සිටියි. එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ ජන්ම දිනය නිමිතිකොටගෙන ඔහු පිළිබඳ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන මහාචාර්ය සුනිල් ආරියරත්න (විජයබා කොල්ලය / යශෝධරා / ක්ෂීර සාගරය කැලඹිණ), අශෝක හඳගම (අල්්බොරාදා), සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර (THE NEWSPAPER ) යනාදීන් දැක්වූ අදහස් මෙසේය.
එච්. ඩී. ප්‍රේමසිරි වැනි නිෂ්පාදකවරු ලැබෙන්නේ අධ්‍යක්ෂවරයාගේ පිනකට
ජ්‍යෝෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න
“එච්.ඩී. ප්‍රේමසිරි මහතා සමඟ මගේ සම්බන්ධය චිත්‍රපට නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් අතර ඇති සම්බන්ධය පමණයි. මම පොත් රැසක්ම ප්‍රකාශයට පත්කළද මගේ පොත් සියල්ල ප්‍රකාශයට පත්කරනුයේ ගොඩගේ ප්‍රකාශකයන්.. එච්.ඩී.ප්‍රේමසිරි මහතා සහ මා අතර ප්‍රකාශක_ලේඛක සම්බන්ධයක් නොමැතිවීම අපේ මිත්‍රත්වයට කැලලක් නෙවෙයි. මගේ “විජයබා කොල්ලය, යශෝධරා , ක්ෂීර සාගරය කැලඹිණ ” ආදී චිත්‍රපට එච්.ඩී. ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කර තිබෙනවා .මට මගේ චිත්‍රපටවල නිෂ්පාදකවරයෙක් සිටියා ද කියාවත් මතක නැහැ . ඇත්තෙන්ම ඔහු මට චිත්‍රපට නිෂ්පාදනය සඳහා උපරිම නිදහස දුන්නා . චිත්‍රපට අධ්‍යක්ෂණ කාර්යයේදී මට උපරිම නිදහස වගේම මුදල් ද ඒ අයුරින්ම ලබාදුන්නා..චිත්‍රපට මුහුරත් උළෙලෙන් පසුව අපි දෙදෙනාගේ හමුවීමක් සිදුවුණේත් නැහැ . චිත්‍රපටයේ නිර්මාණ ක්‍රියාවලියේදී නළුනිළියන් පිළිබඳවවත් රූගතකිරීම් ආදිය පිළිබඳවවත් සොයා බැලුවේ නැහැ. ඒ සියල්ල මට අවශ්‍ය ලෙස කරගෙනයෑමේ නිදහස උපරිමයෙන් දුන්නා..එච්.ඩී. ප්‍රේමසිරි මහතා සහ ඔහුගේ බිරිඳ කුමුදුනී ඩයස් මහත්මියවත් මුහුරත් උළෙලෙන් පසුව මම දැක්කේ චිත්‍රපටය තිරගත වන දවසේ පමණයි.මගේ අධ්‍යක්ෂණ කාර්යයට ඔහු කිසිවිටෙක බාධාකිරීමක් කළේ නැහැ . එවැනි නිෂ්පාදකවරුන් ලැබෙන්නේ අධ්‍යක්ෂවරයාගේ පෙර පිනකටයි. බොහෝ නිෂ්පාදකවරුන් නිසා අධ්‍යක්ෂවරුන් දුක් විඳින ආකාරය මම අත්දැකීමෙන් දන්නවා . මගේ සමහර චිත්‍රපට ලාභ ලැබුවා, සමහර ඒවා පාඩු ලැබුවා .මගේ චිත්‍රපට ලාභ ලැබුවට එච්. ඩී . ප්‍රේමසිරි මහතා උද්දාමයට පත්වුණෙත් නැහැ .පාඩු ලැබුවාට කම්පාවුණේත් නැහැ .මගේ “යශෝධරා, විජයබා කොල්ලය, ක්ෂීර සාගරය කැලඹිණ ” ආදී දැවැන්ත නිර්මාණ සඳහා අති විශාල මුදලක් කිසිඳු පැකිළීමකින් තොරව ආයෝජනය කළා. මම සාමාන්‍යයෙන් අඩු වියදම් චිත්‍රපට කරන්නේ නැහැ .නිෂ්පාදකවරුන්ට දරාගත නොහැකි මුදලක් ඔහු වියදම් කරනවා…ඒ පිළිබඳ එතුමාට මගේ ගෞරවය පිරිනමනවා…80 වැනි ජන්ම දිනය සමරන එච්. ඩී. ප්‍රේමසිරි මහතාට කලාවේ නාමයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..
සිනමාවට සාහිත්‍යයට හිතකාමී සාර්ථක ව්‍යාපාරිකයෙක්
ප්‍රවීණ අධ්‍යක්ෂ අශෝක හඳගම
“We Don’t Make Movies To Make More Money : We Make Money To Make Movies : Walt Disney අපි වැඩිපුර සල්ලි සොයන්න චිත්‍රපට හදන්නේ නැහැ . සල්ලි සොයනවා නම් වැඩිපුර චිත්‍රපට හදන්න _වෝල්ට් ඩිස්නි. වෝල්ට් ඩිස්නිගේ මෙකී කියමන චිත්‍රපට නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකතුමාට හරියටම ගැළපෙනවා. ඔහු මගේ “අල්බෝරාදා” චිත්‍රපටය සඳහා නිෂ්පාදන අර්ථපතීත්වයෙන් දායකවුණා. ඒ පිළිබඳ මේ මොහොතේ මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. චිත්‍රපට නිෂ්පාදක කලඹේ (Film Production Portfolio) සල්ලි සොයන චිත්‍රපට මෙන්ම පාඩු ලබන නිර්මාණ ද තිබෙනවා. ඒවායේ තුලනය (Balance) හොඳින් කළමනාකරණය කරගන්න නිසා ඔහු අප සමඟත් සිනහවී සිටිනවා. මොහු සිනමාවට, සාහිත්‍යයට හිතකාමී සාර්ථක ව්‍යාපාරිකයෙක් එච්. ඩී. ප්‍රේමසිරි නමින් මෙතුමා අප අතරම සිටින්නේ ඒ නිසයි. සිය දිවිමගේ 80 වැනි උපන්දිනය සමරන එතුමන්ට මෙම අවස්ථාවේදී නිදුක් නීරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
අපට විශාල දායකත්වයක් දුන් පියෙක් වැනි තැනැත්තෙක්
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ කුමාර තිරිමාදුර
එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ හමුවීමේ ආරම්භය ගැන කතා කළොත් “තණ්හා රතී රඟා” චිත්‍රපටය දක්වා මතකයට යා හැකියි. එය සම්මාන රැසකට ලක්වූ නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්..මමයි සරත් කොතලාවලයි ප්‍රධාන චරිත කළේ..එහි මංගල දර්ශනයදා එච්.ඩී. ප්‍රේමසිරි මහතාගේ නම තිරයේ දුටුවිටයි ඔහුව හඳුනාගත්තේ.එදා හමුවුවත් ලොකුවට කුලුපගබවක් ඇතිවුණේ නැහැ . චිත්‍රපටය හොඳයි කියලා සුබපතලා එතුමා පිටත්වුණා. ඊට වසර ගණනාවකට පසුව මමයි සරතුයි ” ඊඩ්ඡ් ව්ඡ්එඉර්‍ථඒර්‍ථඡ්අ” චිත්‍රපටය ලිව්වා. සරත්ගේ ගුරුවරයා වූ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් දවසක් අපට එන්න කිව්වා. එතැන ප්‍රේමසිරි මහතා සහ රවින්ද්‍ර ගුරුගේ මහතා සිටියා. ඒ මොහොතේ බන්දුල ගුණවර්ධනයන් ප්‍රේමසිරි මහතා දෙස බලා “මේ කොල්ලෝ දෙන්නට පොඩි සපෝට් එකක් දෙමු, මේ පිටපත මම කියෙව්වා, හොඳයි, තනියෙන් මට බරපැන දරන්න බැහැ, අපි එකතුවෙලා කරමු” කියා කිව්වා. එහිදී ප්‍රේමසිරි මහතා එම යෝජනාවට එකහෙළා කැමැති වුණා. පිටපත සහ දර්ශනතල ගැන දන්න නිසා එහි අධ්‍යක්ෂණ කාර්යය මටයි සරත්ටයි කරන්න කියලා ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් කිව්වා. එච්.ඩී. ප්‍රේමසිරි මහතාත් එය ඉහළින්ම අනුමත කළා. එහි රූගතකිරීම්වලදී කිසිම නිෂ්පාදකවරයෙක් දර්ශනතලයට ඇවිත් බලපෑම් කළේ නැහැ .අපට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ප්‍රේමසිරි මහතා විශාල දායකත්වයක් දැක්වූවා. අපේ සුළු සුළු අඩුපාඩු තිබුණත් ඒවා ගණන් නොගෙන අපට හොඳ සහයෝගයක් දුන්නා. එච්.ඩී. ප්‍රේමසිරි මහතා කියන්නේ චිත්‍රපට නිෂ්පාදනයට අපට දායකත්වය දුන් පියෙක් වැනි පුද්ගලයෙක්. “මගේ ජීවිතේ” නමින් පොතක් මම ලිව්වා. මෙහි ප්‍රථම මුද්‍රණය විකිණී අවසන් වුණා. ඒ පොත නැවත මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවක් මට තිබුණා. එය කර්තෘ ප්‍රකාශනයක් ලෙසයි තිබුණේ. මම එය සරසවි ප්‍රකාශනයක් වශයෙන් එළිදක්වන්න කියා එච්.ඩී. ප්‍රේමසිරි මහතාට දැන්වුවා.. එතුමා එම කාර්යය සාර්ථකව භාරගත්තා. එය අද වනවිට සාර්ථකව අලෙවි වන පොතක් බවට පත්ව තිබෙනවා. ඒවගේම කලාවට සම්බන්ධ පිරිසගේ ගුණාත්මක ග්‍රන්ථ සරසවි ප්‍රකාශනයක් වශයෙන් එළිදැක්වීමට භාරගෙන සාහිත්‍ය කලාවට විශාල සේවාවක් එතුමා සිදුකරමින් සිටීම බෙහෙවින් අගය කළ යුතුයි. ඒ පිළිබඳව මගේ ස්තුතිය. පිරිනමනවා. එතුමාගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඔහුට සුබපතන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා වගේම එතුමා අපේ ආයුෂත් රැගෙන ජීවත්විය යුතුයි කියා ප්‍රාර්ථනය කරනවා…
පොළොවේ පය ගහලා ඉන්න හරිම අව්‍යාජ පුද්ගලයෙක්
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ සරත් කොතලාවල
“මම මුලින්ම එච්.ඩී. ප්‍රේමසිරි මහතාව දකින්නේ අපොස උසස්පෙළ පාසල් අවධියේයි. මහරගම සරසවි පොත්හලෙන් අපි ඒ කාලයේ පොත් මිලදී ගන්න ගියාම ඔහුව දකිනවා. ඒත් අපි ඔහුටයි මේ පොත් ප්‍රකාශන ආයතනය අයිති කියලා ඒදවස්වල දැනගෙන හිටියේ නැහැ. අපි කලා ක්ෂේත්‍රයට පැමිණි පසුයි සරසවි පොත් ප්‍රකාශන අධිපතිතුමා චිත්‍රපට නිෂ්පාදනය කරනවා කියා දැනගන්න ලැබුණේ. “තණ්හා රතී රඟා” චිත්‍රපටයේදීයි ඔහුව මම හඳුනාගන්නේ. ඒ චිත්‍රපටයට ඉන්දියාවේදී සම්මානයක් හිමිවීමෙන් පසු ඒ සම්මානය රැගෙන චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය ලංකාවට එනවිටදී ගුවන්තොටුපොළේදී එච්.ඩී. ප්‍රේමසිරි මහතාව මුණගැසුණා. එතැනින් පසුව තමයි ඔහුව මම හරියටම හඳුනගන්නේ. පසුව ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපටවලටත් මම රංගනයෙන් දායකවුණා. “THE NEWSPAPER” චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයෙක් ලෙස එතුමා දායකවීමේදී අපට බොහෝ සේ සමීපවුණා. ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්, රවින්ද්‍ර ගුරුගේ සහ එච්. ඩී. ප්‍රේමසිරි යන තිදෙනා තමයි ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ. එහිදී එච්. ඩී. ප්‍රේමසිරි මහතා අපට විශාල ශක්තියක් වුණා. එච්. ඩී. ප්‍රේමසිරි මහතා යනු පොළොවේ පය ගහලා සිටින හරිම අව්‍යාජ පුද්ගලයෙක්. ඉතා සරලව ජීවත්වෙන කෙනෙක්.එකී ජීවන ක්‍රමය නිසා මම ඔහුට වඩාත් කැමැතියි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මහත්මයෙක්.හොඳ ව්‍යාපාරික ඥානයක් සහිත ව්‍යාපරිකයෙක්.. අද චිත්‍රපට සඳහා නිෂ්පාදකවරුන් අඩුයි..එවැනි තත්ත්වයක් තුළ චිත්‍රපට පාඩු ලැබුවත් මෙතුමා නිෂ්පාදන අර්ථපතීත්වයෙන් නොපැකිළව දායකවීම විශේෂයෙන් අගය කළයුතුයි..චිත්‍රපට සඳහා ඔහුගේ ඇති කැමැත්ත සහ ආසාව හරිම වටිනවා..එච්.ඩී. ප්‍රේමසිරි යනු ලංකාවේ සිටින දැවැන්තම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් කිව්වොත් හරි. එතුමාට ඉදිරියටත් හොඳ නිර්මාණ බිහිකරන්න දීර්ඝායුෂ මෙන්ම වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා වගේම එතුමාගේ ව්‍යාපාරික කටයුතු ද දිනෙන් දින දියුණුවේවායි ප්‍රාර්ථනා කරනවා.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මනෝජ් රුක්මල් කුමාරසිංහ