තාත්තා
අද ජූනි 21වැනි දා. අද ද මට මගේ තාත්තා සිහිපත් වී ය. 1998 අද වැනි දිනෙක තාත්තා අවසන් ගමන් ගියේ ය. ‘තාත්තේ’ කියා ඉන් පසු ව කිසි දිනෙක අමතා නැත. ලොකු තාත්තේ ලෙස හෝ වැඩිහිටියෙක් වෙනුවෙන් 'තාත්තා' ලෙස කියවුණ ද ඒ හැඟීම වෙනස් ය.
මේ තාත්තා ලක්ෂ්මන් විජේසේකරයන් ය. අප හඳුනන්නේ නොසෑහෙන කලක සිට ය. ඒ විහඟගේ හා අමාගේ තාත්තා ලෙසිනි. ඒ තාත්තාත් මගේ තාත්තාත් මුණ ගැසී නැත. නමුත්, මගේ තාත්තා ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ගීයක් මුමුණනු මට ඇසී ඇත. ඒ ‘ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ’ නම් ගීතය යි. මගේ තාත්තා හා මා ඉන්නා පින්තූරක් නැතත් ඒ තාත්තාව සිහිපත් කරණු පිණිසත්, මේ තාත්තාට කරන ආදරයක් ලෙසත් මේ ඡායාරූපය එක්කරමි.
පොළොවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුළ නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ...
-ගී පද- වසන්ත කුමාර කොබවක
නිර්මාණවේදී සංජය ඈපා සෙනෙවිරත්න විසින් සිව් වසරකට පෙර ලියා 20.06.2024 යළි පළ කළ සටහනකි.