නිබන්ධිකා වන්නිනායක විසින් රචනා කරන ලද 'අඬනහිරියා' කෘතියට මේ වන විට වසර 06ක් සපිරී තිබේ.
නිබන්ධිකා විසින් එහි එළිදැක්වීමට පෙර තැබූ සටහනක 'අඬනහිරියා' කෘතියේ සාරාංශය සනිටුහන් වන අතර එම කෘතිය තවදුරටත් නොකියවූ අයකු වේ නම් ඒ වෙනුවෙන් එම සටහන මෙසේ පළ කරමු.
සමනොළ කඳු පාමුල ගම්මානයක දිවි ගෙවූ මිහිලිගේ හුරතල් නම අඬනහිරියා ය. අඬනහිරියා පවුලේ එකම දරුවා බැවින් තනිකම මකා ගන්නට ඇගේ ක්‍රම අත්හදා බලන සිඟිත්තියකි.
දළඹුවන් පවා හොඳ පුරුදු දැන සිටිය යුතු බව සිතන, ඉතා කුඩා වයසේදීම තාත්තාගේ පොත් මේසය මතට නැඟී මහ පොත් කියවන අනතුරුව ලේඛිකාවක වන්නට සිහින දකින ඈ දඟකම් අතරතුරු හොඳ පුරුදු සොයන්නී ය.
ඇගේ සිහින වර්ණ ගන්වන සැබෑ ගුරුතුමිය පාසල් අධ්‍යාපනය පටන් ගත් දිනම අඬනහිරියාට හමු වන්නී ය. සිහින දැකිය යුත්තේ දිනෙක සැබෑ කර ගැනීමට වග අඬනහිරියාට උගන්වන්නී ඒ ගුරුතුමිය ය.
දෙවියන් වසන්නේ හොඳ මිනිසුන්ගේ හදවතේ වග අඬනහිරියා ඉගෙන ගන්නේ අම්මාගෙනි.
ඕනෑම අමාරු තැනක වුව බොරු කියන්නට ඕනෑ නැති වගත් සත්‍යයට මුහුණ දීම වඩා යහපත් වගත් දඟ ළමයින්ට බැට දෙන මන්තර කෝටුවක් ආධාරයෙන් අඬනහිරියාට කියා දෙන්නේ තාත්තා ය.
මොනරුන්, පූසන්, කුකුළන් වැනි අරුම පුදුම යාළුවන් හා හාද වන්නට උදව් දෙන හොඳම යාළුවා ඇගේ චූටි මාමා ය.
අඬනහිරියා වැඩෙන්නේ එහෙම ආදර ලෝකයක ය.