lan englan tam

පුවත්

විස්මයක් අහිමිව වසර 35ක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අසූව දශකයේ අතිශය ශ්රාවක ආකර්ෂණයක් දිනාගත් ගුවන් විදුලි වැඩසටහනකි "ශනිදා සාදය". එය එතරම් ජනප්රසාදයක් දිනාගැනීමට හේතුව එවකට එහි පූරක ලෙස කටයුතු කල ප්රේමකීර්ති ද අල්විස් මහතා ගේ සූර පූරක භූමිකාව විය. ප්රේමකීර්ති සිය පූරක භූමිකාව තුල හරිම වෙලාවට වැඩකල අයෙකු වීය. කිසි දිනක වැඩසටහනක් සදහා ඔහු අන්තිම මොහොතේ පැමිණ කලබලයෙන් සිදුකල ඉදිරිපත් කිරීම් නොවීය. ශනිදා සාදය යනු සජීවී වැඩසටහනක් බැවින් ඒ සදහා ඔහු වැඩසටහනට පැයකට පමණ පෙර මැදිරියට පැමිණ ඒ සදහා සූදානම් වීම අනිවාර්ය අංගයක් විය. ශනිදා සාදය වැඩසටහනක් විකාශය වීමට තිබූ අසූව දශකයේ දිනක ප්රේම් සුපුරුදු ලෙස මැදිරියට පැමිණ වැඩසටහනට සූදානම් වෙමින් සිටියේය. වැඩසටහන ආරම්භවීමට තිබුණේ තවත් විනාඩි කිහිපයක් වුවත් වැඩසටහනේ ශබ්ද පරිපාලකවරයා මැදිරියට වාර්තාකර නොතිබීම හේතුවෙන් ඒ වනවිට මැදිරි සංකීර්ණයේ හටගෙන තිබුණේ නොසන්සුන්තාවයකි. අද මෙන් සන්නිවේදන පහසුකම් සුලබ නොවූ ඒ සමයේ එවන් හදිසි අවස්ථාවක පුද්ගලයෙක් හරියටම සිටිනා ස්ථානය දැනගැනීම දුෂ්කර කාර්යක් විය.

 හරියටම වැඩසටහනට විනාඩි පහක් තබා ශබ්ද පරිපාලකවරයා මැදිරියට කඩා වැදුණේය.

"කොහේද (......) උඹ යන්නේ. වෙලාවට වැඩක් කරන්න දන්නෙ නැද්ද ??"
ශබ්ද පරිපාලකවරයා දැකීමෙන් අතිශය උරණ වූ ප්රේමකීර්ති ඔහුට අමුතිත්ත කථා දෙකතුනක් යොදා ඇමතුවේය.
"සමාවෙන්න ප්රේම් අයියා . ඊයෙ මළගෙදරක ගිහින් ආවෙ පාන්දර. නින්ද ගියා මට "
ශබ්ද පරිපාලකවරයා සමාව අයැද සිටියේය. ප්රේම් ට ශබ්ද පරිපාලකවරයා ට තවත් අමු සිංහලෙන් ඇමතීමට තිබුණත් සජීවී වැඩසටහනේ ආරම්භය සිදුකල යුතුව තිබූ හෙයින් වැඩසටහන පටන්ගන්නා ලදී.
" සුබ උදෑසනක් සහෘද ශ්රාවක හිතවතුණි......."
ප්රේම් වැඩසටහන ආරම්භ කලේය.
" අද උදෑසනම අපි වැඩසටහන ආරම්භ කරපු නිසා මම හිතුවා උදෑසනින් අවදිවීමේ අගය ගැන කියවෙන මේ ගීතය ඔබ වෙනුවෙන් ලබා දෙන්න"
කලින් වැඩසටහන් පෙළගැස්මේ සැළසුම් කර තිබූ සී.ටී ප්රනාන්දු ගයන " අවදි වන්න අවදි වන්න " ගීතය වාදනය කරන ලෙස ප්රේම් පාලකවරයාට අතින් සන් කලේය. ඒ වන විටත් අඩ නින්දේ පසුවූ පාලකවරයා ගීතය වාදන කරන්නට වූයේ fast foward අන්දමට ය. දැන් ගීතය වේග රිද්මයට දිගටම සජීවීව ප්රචාරය වෙයි. පාලකවරයාගේ මෙම ක්රියාව හමුවේ ප්රේම් ට යකා නැංගේය. ඔහු යළිත් අත ඔසවා ගීතය වාදනය නවතන ලෙස සන්කලේය. වැඩේ වැරදුණු බව වටහාගත් පාලකවරයා ගීතය වාදනය අත් හිටවූයේය.
ප්රේම් කෝපයෙන් ඔරවමින් යලිත් මයික්රපෝනය සුරතට ගත්තේය .
" හිතවතුණි!! දැන් බලන්න ඒ ගීතය. ඒක ඔයාල අහල තිබුණු විදියට නොවෙයි නේද ඇහුවෙ?? උදාසනම අවදිනොවී තමන්ට පැවරිලා තියෙන කටයුතු පවා පස්සට දමන මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ ඉදිරි වැඩ කරගෙන යන්න වෙන්නෙ අන්න ඒ ගීතය දුවමින් ප්රචාරය වුණා වගේ කලබලේට . කලබලේට වෙන වැඩ කිසිම පිළිවෙලක් නැහැ නේද හිතවතුණි. හරියටම ඒ ගීතය වගේ"
ප්රේම් මේ සිය කථාව හරහා බණින්නේ තමාට බව අවබෝධ වූයේ පරිපාලකවරයා ට පමණි. ශ්රාවකයාට එය ප්රේම් ගේ තවත් එක් කථාවක් පමණක් විය. පරිපාලකවරයා ගේ අතින් සිදුවූ වැරද්ද එසේ සියුම් අයුරින් තුලනය කිරීමට ප්රේම් අති දක්ෂයෙක් වූයේය. නැවතත් පරිපාලකවරයා ට සන් කල ඔහු එම ගීතය ඉතා සෙමෙන් ඇදීයන අයුරින් ප්රචාරය කරන්නට අණ කලේය. පාලකවරයා ඔහු කී දෙය ඒ අයුරින්ම සිදුකලේය.ගීතය ඇදී යමින් ප්රචාරය විය. යලිත් ගීතය අතරමගින් නැවතූ ඔහු කථාකිරීමට පටන්ගත්තේය.
"දැන් ඒ වගේ වැඩ අතපසු කරන අයට තමන්ගේ වැඩ ගෙනියන්න වෙන්නෙ මෙන්න මෙහෙම ඇදීගෙන තමයි. "
විනාඩියක් පමණ ඇදී යන අයුරින් ගීතය වාදනය කල ඔහු යළිත් එය නවත්වන්නට සන් කලේය.
" ඉතින් ප්රිය හිතවතුණි. ජීවිතයේ දේවල් මෙහෙම අලකලංචියක් නොවී සාමාන්ය අයුරින් සිදුකරගන්න වෙලාසනින් අවදිවෙන්න"
ඉන් අනතුරුව සාමාන්ය ගීතය වාදනය කරන ලෙස ඔහු සන් කලේය. පරිපාලකවරයා ප්රේම් පැවසූ ලෙසටම සිදුකලේය. ගීතය සාමාන්ය ස්වරයෙන් ප්රචාරය විය. ශබ්ද පරිපාලකවරයා ගේ අතින් සිදුවන්නට ගිය වරද කාටත් නොදැනෙන අයුරින් තුලනය කල ප්රේම් වැඩසටහන සාර්ථකව අවසන් කලේය. වැඩසටහන අවසානයේ ශබ්ද පරිපාලකවරයා ලුණු ඇඹුල් සහිතව ප්රේම් ගෙන් අසාගත්තේය. ප්රේමකීර්ති යනු විස්මයක් බවට එක් උදාහරණයක් පමණි මෙය. ඒ විස්මය අප රටට අහිමිවී අදට වසර තිස් පහකි. 😪😪
 
(ප්‍රේමකීර්ති ද අල්විස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා මිය ගොස් වසර 35ක් සපිරුණ ඊයේ (31) දින වෙනුවෙනි.)
 
ජයශංඛ කරුණාරත්න
Back to top
Go to bottom

Popular News