ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු. අපේ චලන රූප ඉතිහාසයේ විශාල හිතුවක්කාරකම් කළ විසල් චරිතයක්.
මේ සුන්දර ජීවී චලන රූපය ඊයේ (11) සවස නිශ්චල වුණා. මෙරට සිනමාවේ ‘ක‍්‍රිස්තු චරිතය’ සමගම කියැවෙන අනෙක් චරිතය, ඇලරික් චරිතයයි.
ඇලරික් චරිතය අද්විතීය වෙන්නේ හේතු කිහිපයක් නිසයි. ‘ක්රිස්තු චරිතය‘ තරම් කුරුසයේ ඇණ ගසා මරා දමන ලද චිත‍්‍රපටයක් අපේ සිනමාවේ තවත් නෑ. පෝරුතොට පියතුමා හැර මුළු කතෝලික රාජගුරු සංගමයම විරුද්ධ වී එලෙස එල්ලා මරාදමන්නට නියමිත වූ චිත‍්‍රපටය තම වීරිය යොදා උට්ඨානය කරනු ලැබුවේ මොහුයි. 1983 මාර්තුවේ එවක කැබිනට් මණ්ඩලය ‘ක‍්‍රිස්තු චරිතය’ නිෂ්පාදනය කිරීම තහනම් කළා. ඉතිහාසයේ සිංහල චිත‍්‍රපටයක් නිෂ්පාදන අවස්ථාවේදී තහනම් කළ පළමු සහ එකම අවස්ථාව ‘ක‍්‍රිස්තු චරිතය’යි. එතරම්ම අභියෝගාත්මක වූ එම කටුක අවස්ථාවට මුහුණ දුන් දිරිය නිෂ්පාදකයා වන්නේ ඇලරික්.
විජය පණ පෙවූ ක‍්‍රිස්තු චරිතය සහ ඔහු සැබැවන්ම ජීවත් වූ දේශපාලන චරිතය අතර ඝට්ටනය ගැන පොතක් උනත් ලියන්න පුළුවන්. දේශපාලන වේදිකාවල එක එක විදියේ මල් පෝච්චි බවට පත්වූ ගාමිණී මාලිනී රවින්ද්‍ර, සනත්ලාට වඩා විජය වෙනස් වෙන්නේ කොහොමද කියලා විස්තර අහගන් හිටිය දැනවතෙක් තමයි ඇලරික්. ඔහු මිය යන්නේ අපි නොදන්න ඉතිහාසයක් හිතේ තෙරපගෙන. ‘ක‍්‍රිස්තු චරිතය රඟපාලා මැරුණත් කමක් නෑ’ කියලා කියපු විජය කුමාරණතුංගගේ ජීවිතය සහ
සිනමාව වගේම ඔහුගේ මරණය ගැනත් ‘ඇත්තම ඇත්ත’ දැනං හිටපු ඇලරික් තමයි විජයගේ ලඟම ලඟ මිතුරා. ඇලරික් නිෂ්පාදනය කළ පළමු චිත‍්‍රපටය වූ ‘ අනුපමා’ (1978) වෙනුවෙන් ඔහු මුදල් යොදවන්නෙත් සිය මිතුරා වූ විජයගේ ඉල්ලීමක් නිසයි. ඒ සුනිල් ආරියරත්න විජයගෙන්
නිෂ්පාදකයකු සොයා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුවයි. ‘අනුපමා’ තමයි ඇලරික්ගේ සහ සුනිල් ආරියරත්නගේ පළමු චිත‍්‍රපටය. ඊට පසු කාලෙක ‘ක‍්‍රිස්තු චරිතය’ කරමු කියා ඇලරික් සුනිල්ට යෝජනා කළ විට ‘ඒකටනං අත තියන්න එපා’ යැයි කියා පස්ස ගැසූ සුනිල් ලවාම කෙසේ හෝ එම චිත‍්‍රපටය කරවන්නට ඇලරික් සමත් වෙනවා. ලෝකයේ බෞද්ධයකු ‘ක‍්‍රිස්තු චරිතය අධ්‍යක්ධණය කළ පළමු අවස්ථාව මෙයයි.
ඇලරික්ගේ උදව්වෙන් ‘අනුපමා’ එන්න කලින් මහාචාර්ය සුනිල් චිත‍්‍රපටි දහයක් හැදීමත් වාර්තාවක්. එලෙස සංඛ්‍යාත්මක වාර්තා තබන්නට සුනිලූන්ට මුලින්ම අත දුන් ඇලරික් තව බොහෝ දෙනෙකුට අත දුන් මිතුරෙක්. මුලදී සුනිල් අදිමදි කළ ‘ක්‍රිස්තු චරිතය’ ගැන අදහස ඇලරික් විජයට කී පමණින්ම විජය ඊට කැමති වෙනවා. නමුත් කතෝලික බලවතුන් විජය ක‍්‍රිස්තු චරිතය රඟපානවාට එක හෙලාම විරුද්ධ වෙනවා. විජයගේ සිරුර සහ දේශපාලන චරිතය ‘ක‍්‍රිස්තු චරිතයට’ ගැලපෙන්නේ නෑ කියලයි කිතුණු බලවතුන් හරහට හිටියේ. පෝරුතොට පියතුමා පමණක් විජයට සහ මේ චිත‍්‍රපටයට පක්ෂව සටන් කළා. ඒ නිසා ඇලරික්ට තම ඉලක්කය සපුරා ගන්නට හැකි වෙනවා. ඇලරික් විශේෂ චරිතයක් වෙන්නේ ඒ නිසයි. ‘ක්රිස්තු චරිතය’ රූප ගත කරන්නේ වැස්සක් අහලකවත් නැති නියං කාලෙක. චිත‍්‍රපටයේ විජයට ඇණ ගසා මරා දමන ජවනිකාව රූ ගත කළ වෙලාවේ හෙණ ගසමින් ඇද හැළුණු මහ වරුසාව ප‍්‍රාතිහාර්යයක්. මහා නියඟයක් පැවති සමයක කෘතිම වැස්සක් වස්සන්නට ජල බවුසර් සූදානම් කොට තිබියදී විජය
‘ක‍්‍රිස්තු චරිතය’ ලෙස මරා දමන මොහොතෙහි සිදුවූ එම ප‍්‍රාතිහාර්ය ඇලරික් සැබැවින්ම අත්දුටුවා. එම සැබෑ අකුණු සැරටත් වඩා චන්ඩ වූ විරෝධතා කිසිවකටවත් ඔහු බිය වූයේ නෑ. මහාචාර්ය සුනිල් පස්ස ගහපු චිත‍්‍රපටිය ඉස්සරහට ගන්නට මේ නිෂ්පාදකයා කොපමන මුදල් කන්දරාවක් යට කරන්න ඇද්ද කියා ඔහුවත් දන්නෙ නෑ. අඩි 13000ක් දිග ‘ක‍්‍රිස්තු චරිතය‘ චිත‍්‍රපටයට මෙම නිෂ්පාදකවරයා අඩි 33000ක දල සේයාපට වැය කළ බව ඔහු කියා තිබෙනවා. ඔහු අපේ සිනමාවේ නිර්ලෝභී දායකයෙක්. ඔහුගේ මූල්‍යාධාර හා කැමරා උපකරණවල පිහිටෙන් උපත ලැබූ චිත‍්‍රපට හා නළුනිළියන් සංඛ්‍යාව ඔහු නිෂ්පාදනය කළ චිත‍්‍රපටි කිහිපයට වඩා විශාලයි.
ඇලරික් නමැති මේ භාරධූර චරිතය මට මුලින්ම හමුවුණේ මා තිස්ස අබේසේකරගේ ජීවිත කතාව ලියද්දි තිස්සගේ ‘මංමුලාවැල්‘ චිත‍්‍රපටයට සිදුවූ වින්නැහිය ගැන සොයද්දියි. ‘මංමුලාවැල්‘ සමග සම්බන්ධ වූ නිෂ්පාදකවරයා සහ නළුවන් ඇතුළු කිහිප දෙනෙකුම එක ලඟ එක දිගට මිය යද්දී විජය වෙනුවෙන් විජයගේ ඉල්ලීම පිට ඒ චිත‍්‍රපටය මිලදී ගෙන ආරක්ෂා කළේ ඇලරික්. විජයගේ මරණින් පස්සේ ඔහු ‘මංමුලාවැල්’ චන්ද්‍රිකාට දුන් විත්තිය ඔහු පැවසුවා. විජයගේ සහ ස්වර්ණාගේ නිර්ව්‍යාජ රංගනයක් ඇති ‘මංමුලාවැල්’ චන්ද්‍රිකා පෙන්වන එකක් නැති බවයි මගේ අදහස. මෙතරම් රහස් ගොන්නක් දරාගෙන සිටි ඇලරික්ව මට මුණ ගැසුණු දෙවෙනි දවස උදා උනේ ඔහුගේ දියණියක වූ වෛද්‍ය නිෂානි ප‍්‍රනාන්දු මිතුරිය නිසයි. මං ඇගෙන් ඉල්ලීමක් කළා ඇගේ පියා සමග මුළු දවසක්ම ගත කොට සාකච්ඡාවක් පටිගත කරන්නට උදව් කරන්න කියා. ඇය තම පියා වෙනුවෙන් මට උදව් කළා. එය පැය ගණනාවක් පුරා පටිගත වූ ඉතාම වටිනා කතාබහක්. විජය ගැන, විජය මරාදැමීම ගැන, ක‍්‍රිස්තු චරිතය ගැන, දේශපාලනය ගැන, සිනමාව ගැන සහ තව බොහෝ දේ ගැන පුදුම හිතෙන රහස් ගොන්නක් ඔහු මා ඉදිරියේ නිදහස් කළා. ‘මං මැරෙන්න කලින් මේවා කවුරු හරි දැන ගන්න ඕනෑ‘ කියලයි ඔහු ඒ රහස් ගබඩාවම මට පැවරුවේ. මහාචාර්ය සුනිල්ටත් වඩා මම පස්ස ගහනවා ඒ රහස් කන්දරාව සමාජගත කරනවද නැද්ද කියලා. අපි හැමෝම ඇස් පියාගන්නේ රහස් ගොන්නක් හිතේ තෙරපගෙන. එහෙම නේද? ඇලරික් මහතාණනි. සුවබර දිගු නින්දක් ඔබට.
අජිත් ගලප්පත්ති