අපගේ සොයා යෑමේ නිමිත්ත වූයේ දමිළ නාට්‍යකරුවකු පසුපස ඊනියා බුද්ධි අංශ ලෙස හඳුන්වන නිල මිලිටරි ඔත්තුකරුවන් ලුහුබැඳීම හෙවත් ඔහුගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය හා කලාකරුවකු ලෙස තමන් කැමති වෘත්තියෙහි නිරත වීමේ මූලික අයිතිය උල්ලංඝනය වීම පිළිබඳ කතාවකි.
එහෙත් ඒ අඳුරු පැතිකඩ පරිධියෙහි තබා, අඳුරු කඳු පෙතකට එළිය රැගෙන එන අපූරු නාට්‍යකරුවකු පිළිබඳ කතා පුවත පෙරට ගත යුතුයැයි අපට සිතුණේ, එය එතරම්ම දුලබ හා සුවිශේෂ කතන්දරයක් වන බැවිනි.
මාධ්‍යකරුවෙකු නාට්‍යකරුවෙකු හා සංවාදයකට සම්මුඛ වනුයේ කොතැනකද? බොහෝ විට කලින් කතිකා කර ගත පරිදි ලයනල් වෙන්ඩ්ටයේ ලොබියේය. ඒ එල්ෆින්ස්ටන් ආලින්දයේය. නොඑසේ නම් ටවර් කොරිඩෝවේය. මම දැන් නාට්‍යකරුවෙකු අබිමුව සිටිමි. එවැනි කතාබහකට වුව ඔය කියූ කිසි තැනෙකත් නොවේය. තේ වගාවට වඩාත් පරසිදු බෝගොවන්තලාවේ, මිහිදුම් සළු පොරොවා ගත් සීතල කඳු අතරය. මේ නාට්‍යකරුවා, ඒ බිමේ ජනිතයෙකු වන ‘රාසයියා ලෝගානන්දන්’ තිස් එක් වියැතිය.
තේ බිමේ උපන්නෙකු, තේ උරුමයේ කම්කරු වෘත්තික රාමුව ඉක්මවා නාට්‍ය කරුවකු වූ යේ කෙසේද? ඒ කුහුල පසෙක තබා උහු ළමාවියේ සිට ආ ජීවන නාටකයේ සැබෑ පිළිවෙළ විමසමි.. ලෝගානන්දන් අවිහිංසක ළමා හසරැල්ලකින් අතීතයට එබෙයි...
"මගේ පදිංචිය බොගවන්තලාව, කොටියාගල වත්තේ. ඉපදුණෙත් මෙහෙ තමයි. මට සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. එයාල නංගිලා. ඉගෙන ගත්තේ බෝගවන්තලාවේම සෙන් මේරිස් ඉස්කෝලේ. සාමාන්‍ය පෙළ දක්වා තමයි මම ඒ පාසලේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපේ පවුලේ ආර්ථික ප්‍රශ්න නිසා මම රස්සා කිහිපයක් කළා. බෝගවන්තලාවේම රෙදි කඩවල"
'ක්‍රිෂ්ණා'ගෙන් වරම් ලැබීම
අධ්‍යාපනය දිග දුරට නොනිමග්නව, පාසල් හැර ගොස් එසේ සුළු රැකියා කිරීම යොමු වීම වතු කම්කරුවන්ගේ පවුල්වල යොවුන් දරු දැරියන් මත වැටුණු එක්තරා අවාසනාවන්ත පොදු ඉරණමකි. ඒ සීමාව තුළම රැඳී අනාගතය තීරණය කරන ඔව්හු, අඩු අදායම් ලාභී පවුල් බවට පත්ව, දරිද්‍රතාව හා විවිධ සමාජීය ගැටලු අතර සිරව ජීවිතයේ ඉදිරි කාලයට මුහුණ දෙති. එවන් පසුබිමෙක තවත් චරිතයක් වූ තරුණයෙකු 'නාට්‍යකරුවෙකු' ලෙස වේදිකාවට පය තැබීම පහසු නොවන්නේය. අනෙක් අතට එසේ යම් පියවරක් තබන්නට හැකි වූවකු සිහින දකිනු ඇත්තේ ඉන්මත්තේ දිලිසෙන ලෝකයකට පිවිස පෞද්ගලික ජීවන සුවපහසුව අත්කර ගැන්මයි. මේ වන විට ලංකාව නම් දූපතෙන් එපිට ජයග්‍රහණ පවා ලබන්නට සමත්ව ඇති මුත්, රාසයියා ලොගානන්දන් සිතා මතාම ගත් මග ඊට වෙනස් තෝරා ගැනීමකි.
වතුකම්කරු දමිළ ප්‍රජාව සතු විවිධ සංකෘතික උරුමයන් ඇති බවද අපි දනිමු. 'කාමන් කූත්තු' යනු එවැනි අංගයකි. එය වතු කම්කරු ජනයා සාමුහිකව එකතුව සමරන මෙය, ශ්‍රමය වගුරන වෙහෙසකාරී දිවියේ වසරකට වරක් එළඹෙන එක්තරා සතුටු මොහොතකි. එය දක්වන සමය එකී ජනයා වෙසෙන කලාප තුළ එක්තරා උත්සවාකාර සමයකි. ඊට පූර්ව ප්‍රචාරක කටයුත්තක් ලෙස විවිධ චරිත ලෙස සැරසුණු කණ්ඩායමක් තම වතුයායේත්, යාබද වතු තුළත් ගෙයින් ගෙට යෑම සිරිතය. ලෝගානන්දන් පාසල් සිසුවකුව සිටිද්දී මේ කණ්ඩායමේ 'ක්‍රිෂ්ණා' චරිතයට අඳින්නට අවස්ථාව ලැබේ. පාසල තුළද ඔහු විවිධ ප්‍රසංග, අන්තර් පාඨශාලා තරග වැනි දෑ වෙනුවෙන් නාට්‍ය කරයි. එහෙත් පාසල් ගමන නවතා කඩේ රස්සාවට යෑමත් සමග ඒ සියල්ලට නැවතීමේ තිත තැබිණි.
ඉරණම වෙනස් කළ පණිවිඩය
"ඔහොම කඩේ ඉන්න අතරේ දවසක, අපේ ඉස්කෝලේ හිටපු ‘තරංගා දේවි’ කියලා ටීචර් කෙනෙක් පණිවිඩයක් දුන්න 'ජනකරළිය' කියලා ආයතනක් ගමට එනවා. ඒකෙන් 'ඩ්‍රාමා වර්ක්ෂොප් එකකට' ළමයි තෝරනවා. ඔයත් යන්න කියලා"
ජනකරළිය යනු, සිංහල හා දෙමළ ජනවර්ග දෙකෙහිම තරුණ තරුණියන් පුහුණු කොට පිහිටුවා ගත් සංචාරක නාට්‍ය ව්‍යාපෘතියක් බවත්, එය ගමින් ගමට ගොස් කඳවුරු ලා නාට්‍ය රංග ගත කරන අතරේ, එම විෂය පිළිබඳ දැනුමද සමාජ ගතකරන බවත්, එහි මූලිකයින් ප්‍රකට නාට්‍යවේදී ‘පරාක්‍රම නිරිඇල්ල’ හා මේ වන විට අප අතර නැති රංගවේදී ‘එච් ඒ පෙරේරා’ බවත් පමණක් කෙටියෙන් ලිය තබනුයේ ඒ පිළිබඳ ඔබ වැඩි දුරට දන්නා නිසා මෙන්ම, වැඩි ඉඩක් ලෝගාගේ කතාවට වෙන් කළ යුතු බැවිනි.
"වර්ක්ෂොප් එකට ගිය අයගෙන් කණ්ඩායමට පස්දෙනෙක් තෝරා ගත්තා. මමත් ඇතුළුව. මුලින්ම අපිව එක්කන් ගියේ කන්තලේ ටෙන්ට් එක ගහලා තියෙද්දී. ඉතිං එතැනදී රඟපෑම කියල එච්චර කල් හිතාගෙන හිටිය විදිය ගොඩක් වෙනස් වුණා. මොකද අපි ගමේදී රඟපානවා කියල හිතාගෙන හිටියේ දකුණු ඉන්දියානු ජනප්‍රිය සිනමාවෙ දැකපු ආකාරය, ඒ වගේම ගමේ නාට්‍යවල රංගනය. එච්.ඒ. පෙරේරා සහ පරාක්‍රම නිරිඇල්ලගෙන් රංගනය ඉගෙනගනිද්දි ඇත්තටම මට පුදුම හිතුණා ලෝකෙ මෙහෙම දේවල් තියනවනේ කියලා. ජනකරළියේ ඒ වෙනකොට තිස් පහක් වගේ සාමාජිකයෝ හිටපු නිසා චරිතයක් ලේසියෙන් හම්බ වෙන්නෙ නෑ. ඒ වුණාට දිගටම කණ්ඩායමේ හැදෑරීම තුළ ඉන්නකොට මට 'චරන්දාස්' නාට්‍යයේ සිංහල -දෙමළ නිෂ්පාදන දෙකේම ප්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. ‘සෙක්කුව’ නාට්‍යයේත් ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඒ වගේම එකේ ඉන්නකොට, සුමුදු මල්ලවාරච්චි කියන යාළුවා එක්ක එකතුවෙලා 'වට ඔළුවෝ සහ උල් ඔළුවෝ ' කියල නාට්‍යක් කළා. ඒකට ඒ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සිංහල අංශයේ 'හොඳම සහය නළුවා' සම්මානය මට හිමිවුණා."
රට වටා බැඳි මිතුරු බැමි
රංගනයෙන් නොනැවතී, ජනකරළියේදී පිටපත් රචනය වැනි නාට්‍ය කලාවේ අනුශාංගික දිශාවන් කෙරෙහි දැනුමද උපයෝගී කොටගෙන ලෝගා මෙසේ නාට්‍ය නිෂ්පාදනයට යොමු වීම පිටුපස, ගමේ සිටි සමයේ 'ශිව රාත්‍රී' , 'නව රාත්‍රී' වැනි පොදු උත්සව අවස්ථාවන් හි එකල අසල් වැසි තම ප්‍රජාවේම දරුවන් එකතු කොට ගෙන යම් යම් කුඩා නාට්‍ය කළ පුරුද්දද තිබිණි. කෙසේ හෝ ජනකරළියේ නාට්‍ය රංගගත කරන්නට දිවයින පුරා සංචාරය කරන අතරතුර, විරාමයක ගමට පැමිණි විටෙක ලෝගාගේ සිතට අපූරු අදහසක් නැගෙයි. ඒ එතෙක් තමා ලැබූ දැනුමද උපයෝගී කොට ගෙන අත්හදා බැලීමක් ලෙස ගමේ ළමුන් හා නාට්‍යක් නිෂ්පාදනය කර රංග ගත කරන්නට ය. එය ක්‍රියාවේ යොදවා යම් සාර්ථක ප්‍රතිඵලයක් ලද ඔහු ගමේ එන හැම වතාවකම දරු දැරියන් පුහුණු කොට නාට්‍ය කරන්නට වන්නේය. ඒ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ, ජනකරළියේ සාමාජිකයන්ව හමු වූ මිතුරු-මිතුරි සමාගමය හා එක්ව ඔවුනොවුන්ගේ ගම්බිම් වලට ගොස් සහයෝගීව නාට්‍ය කරන අපූරු සංස්කෘතියක්ද ලෝගලා අතර බිහිව තිබෙයි. ඒ අනුව ගාල්ල, යාපනය ආදී ප්‍රදේශවල ලෝගලා නාට්‍ය කරන්නේය.
මේ වන විට ජනකරළිය ව්‍යාපෘතිය අවසන්ව ඇතත් ලෝගා නාට්‍යකරණයේ නිමග්නය. කණ්ඩායමේ සිටියදී ගොඩනැගුණු සබඳතා වැනි දෑ සමග පිටත කලා කටයුතු, රංගනයෙන් දායකවීම් වැනි දෙයින් ජීවිතය තුළ යැපීම සංවිධානය කරගැනීමට ඔහුට හැකිව තිබේ. නමුත් ලැබෙන සුළු මුදල පවා කලාවටම යොදවන ඔහු මේ වන විට නියැලී ඉන්නේ නාට්‍යකරණය පැත්තෙන් පොදු වැඩකය. ඒ ගමට වී, ගමේ තරුණ හා ළමා ප්‍රජාව සමග ගමේම නාට්‍ය කිරීමයි. ලෝගා කියන පරිදි ඊට නිශ්චිත හේතුවක් ඇත. ඒ වතුකරය ලෙසින් හඳුන්වන, වැවිලි ආර්ථික ශ්‍රමික ප්‍රජාව වෙළාගෙන ඇති අඳුර යම් පමණකට හෝ දුරලන්නට ය. සැබවින්ම ඔහු අප හමුවේ තැබූ ඒ අඳුරේ ප්‍රකාශමානය බරපතළය.
අඳුර විනිවිදින බැල්ම
"දැන් ඉස්සරට වඩා වතුකර ළමයි කැම්පස් යනවා කියලා සංඛ්‍යා ලේඛනවලින් කියවෙනවා. ඒත් සංඛ්‍යා ලේඛනවලට හසු වී නැති, එක්කෝ හසු කරගත්තේ නැති කාරණය තමා ඊට වඩා පිරිසක් අකාලේ අධ්‍යාපනය අත්හරින එක. ඒ ගොල්ලෝ සුළු සුළු රැකියාවලට යනවා. ගෑනු ළමයි නම් බොහෝ විට ගමේම රෙදිකඩවල, නැත්නම් කොළඹ. පිරිමි ළමයිත් හෝටල්වල, නැත්නම් කුලී වැඩ. ඒ හැම කෙනෙක්ම අඩු වයසින් බඳිනවා. ඒ එක්කම ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වීමත් විශාලයි. ඒ ඔක්කොටම වඩා නරක දේ සූ-සයිඩ් කරගන්න රැල්ල. තේ ගස් යට, ඇළ-දොළේ තරුණ ළමයින්ගේ මළ මිනී හම්බ වෙනවා. සමහරු බෙල්ලේ වැළ දාගෙන. අපි දන්නේ නෑ ඒ ඒ අය ඒවා කර ගත්ත පෞද්ගලික හේතු. නමුත් සුළු ගැටලුවක් හෝ නිරාකරණය කරගන්න මනස සමත් නෑ වගේ පේනවා. උදාහරණෙකට ඊයේ පෙරේදා බෙල්ලේ වැල දාගත්තා ගෑනු ළමෙක්. ඒ එයාගෙ අක්ක බැන්න නිසාලු. ඉතිං ඔය වගේ පසුබිමක මම හිතනවා අපිට නාට්‍ය හා කලාව එක්ක මේ තත්ත්වේ වෙනස් කරන්න සුළුවෙන් හරි යමක් කරන්න පුළුවන් කියලා. ඒ හින්ද ෆුල් ටයිම් ම ගමේ නාට්‍ය කරන්න ඕනේ කියන අරමුණේ ඉන්නවා. ඒ එක්කම පොතක් පතක් කියවන්න වගේ දේවල්වලට අපි ළමයින්ව යොමු කරන්න ඕනේ."
සෙල්වරාජ් ලීලාවතී නම් සිය බිරිඳද ඔහුගේ අරමුණ වෙනුවෙන්ම පූර්ණකාලීනව කැප වී සිටින්නීය. ඇයද වතු ආර්ථික සමාජයෙන් ජනකරළිය කණ්ඩායමට එකතුවුණු තරුණියකි. ඇය ඔහු හා කලාවේ නියැලෙයි. ඉන් ලද මුදලක් වේද, ඉන් කොටසක් මේ සමාජීය අරමුණින් කරන නාට්‍ය සද්කාර්ය වෙනුවෙන් කැප කරන්නීය. විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' සිනමාපටයේ නිතිඥවරියගේ චරිතය රඟපෑවේ ඈ වන අතර, මේ දිනවල ප්‍රදර්ශනය කැරෙන ප්‍රසන්න විතානගේ ගේ 'පැරඩයිස්' චිත්‍රපටයේද ඇගේ රංගනය ඔබට දුට හැකිය.
තම ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්නට නම් කොළඹ නොසිට ගමේ යමක් කළ යුතුය යන තීරණයට පැමිණි පසු, ලෝගානන්දන්ලා ගත් පියවරක් නම් ගමේ නාට්‍ය කණ්ඩායමක් ගොඩනගා ගැනීමය. ඊට ඇතුළත් වන්නේ වයස අවුරුදු දොළහේ සිට දහ අට දක්වා වූ වයස් කාණ්ඩයේ ළමුන් පිරිසකි. එය පවත්වාගෙන යෑමට කොළඹ වේදිකා නාට්‍ය කණ්ඩායම් මූල්‍යමය වශයෙන් උපකාරද ලබා දී තිබේ.
ලීලා- රොනිකා සුසංයෝගය
"දැන් අපි අවුරුදු දෙකක් තිස්සේ ළමයි කණ්ඩායම් දෙකක් එක්ක වැඩ කරනවා. මේ වන විට නිෂ්පාදන දෙකකුත් කරන්න පුළුවන් වෙලා තියනවා. ඉතිං ඒ එක කණ්ඩායමක් කළ නිෂ්පාදනය කළ නාට්‍යයකට ඉන්දියාවේ, කල්කටාවේ නාට්‍ය උළෙලකට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ අනුව ළමයි එකොළොස් දෙනෙක් එක්ක, මේ අවුරුද්දේ මාර්තු මාසේ විසි වෙනිදා ඉඳන්, තිස් වෙනිදා වෙනකං කල්කටාවේ නාට්‍ය පෙන්නුවා. තියටර්මෙට් කල්චරල් ඇසෝසියේට්ස් කියන නමින් තමයි අපේ කණ්ඩායම පවත්වාගෙන යන්නේ. කරන නිර්මාණවලින් අපි එළියට ගේන්නේ අපේ මේ ප්‍රාදේශීය කලාපෙ තියෙන ප්‍රශ්න. මේක මුලින්ම පටන්ගත්තේ රොනිකා චාමලී සහ මගේ බිරිඳ- සෙල්වරාජ් ලීලාවතී. රොනිකා ජනකරළියට සම්බන්ධ වෙලා හිටපු ගාල්ල ප්‍රදේශයේ සිංහල කෙනෙක්. ලීලා බෝගවන්තලවෙන්ම ආපු ටැමිල් කෙනෙක්."
රොනිකා චාමලීට වතුකරය නැවුම් කරළියකි. එහි රඟන භූමිකාව ඈ මෙසේ විස්තර කළාය
“මේ දරුවෝ සහ තරුණයෝ එක්ක වැඩ කරද්දී දැනුණු දෙයක් තමයි ඒ ගොල්ලෝ සිංහල අයට වඩා හැකිළුණු ස්වභාවයක් සහිත වීම. අපි තේ දළු කඩන මිනිස්සු. අනිත් යට තියෙන රයිට්ස් අපිට නැහැ වගේ හැඟීම් එයාලට තියෙනවා. එහෙම වෙලා තියෙන්නෙ පරම්පරාවෙන් පරම්පරාවට කාලයක් තිස්සේ සමාජීය වශයෙන් පසුගාමීව සිතන ජීවිතයක් ගත කිරීම නිසා. එතැනදී මේ අය ඉදිරියට ගන්න, සිංහල සමාජය එක්ක වැඩ කරනවට වඩා අපිට අමතර පියවර කිහිපයක් ගන්න වෙනවා.
උදාහරණයකට අපි වැඩමුළු ක්‍රියාවලියකට සීමා නොවී ඒගොල්ලෝ එක්ක කාලා-බීලා, එයාලගේ ගෙවල්වල ඉඳලා, ඒ වැඩිහිටියොත් එක්ක ඇසුරු කරලා සුහදතාව බෙදා ගනිද්දී තමයි අපිත් මේ සමාජයේම කොටසක් කියන අදහස එක්ක ආකල්පිකව ගොඩනැගෙන්න පටන් ගන්නේ. ඒ සමහර අයට සිංහල බැහැ. මට දෙමළ පුළුවන් වුණත් ඒ ගොල්ලන්ට තරම් චතුරව බැහැ. නමුත් කෙසේ හෝ අපි එකට ජීවත් වෙමින් වැඩ කරනකොට එකිනෙකාව අවබෝධ වෙලා ලොකු අන්‍යොන්‍ය බැඳීමක් වර්ධනය වෙනවා. ඒ එක්ක එයාලගේ ප්‍රශ්න, ඒවාට ගන්න පුළුවන් මොන මොන විසඳුම් ද වගේ කාරණා අපි කතා කරනවා”
ලීලාවතී ගේ කතාව ආදරණිය ඉලක්කයකින් ලෝගා මත පතිතව තිබේ.
“දැන් අපි එකට වැඩ කරන්න පටන් අරන් අවුරුදු විස්සක් වෙනවා. මම මේ ගමන පටන් ගන්නකොට තිබ්බ අරමුණ වෙන එකක්. නමුත් මගදී මට හිතෙන්න ගන්නවා කලාව තමයි මගේ ජිවිතේ වෙන්නේ කියන එක. මට ඕනේ වුනේ සම්ප්‍රදායික කසාද ජීවිතයක් නෙවේ. කලාවත් එක්ක ගමන් කරන්න හොඳ පාට්නර් කෙනෙක් ඉන්න ඕනේ කියන එක. ඒ තමා යෝගා. ඔහුටත් ඕන වුණේ ඒ දේම තමයි. ලංකාව පුරාම ගිහින් අපි භාෂා දෙකෙන්ම වැඩ කරලා තියෙනවා. ඉදිරියේදී අපි අතින් ඒ එක්ස්පීරියන්ස් එක ලියවෙන්න ඕන කියන අදහස තියෙනවා. ඒ වගේම අපේ ප්‍රදේශයේ හොඳ තියටර් කල්චර් එකක් හැදීම තමයි අපේ සිහිනය සහ බලාපොරොත්තුව.”
සැකයේ අඳුරු සෙවණැලි
ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවක් වෙත ආනන්දය හා ප්‍රඥාලෝකය රැගෙන ඒමට ඔවුන් දරන දුෂ්කර වෑයම කෙරෙහි මේ වන විට ඔබ පහන් හැඟුමකින් පසුවනු ඇති බවට සැකයක් නැත. එහෙත් මේ කතාවට එබඳු සතුටුදායක අවසානයක් දීමට මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ඉඩ තබා නැත. එහෙයින් අප මුලින් සඳහන් කළ, මේ කතාවට නිමිත්ත සැපයූ අඳුරු පරිච්ඡේදයද ඔබ ඇසිය යුතුව තිබේ.
"ගිය අවුරුද්දේ, ජූලි මාසේ මම නාට්‍යයක් කළා 'ලයත්තු කොලිගල්' කියලා. සිංහලෙන් ඒ නමේ තේරුම 'වතු කිකිළියෝ' කියන එක. මේක අපේ කලාපයේ අයගේ පීඩාව ගැන කතා කරන දේශපාලනික තේමාවක් සහිත නාට්‍යයක්. අපි ඒ ෂෝ එක කරන්න හිටපු දවසේ මෙහෙ වත්තේ 'සුබ සාධන' අංශයෙන් කිව්වා මේක පෙන්නන්න එපා, ඕගොල්ලෝ අපෙන් අවසර ගත්තේ නෑ කියලා. මම කිව්වා මේ පිටපත සෙන්සර් බෝඩ් එකෙන් අනුමත කරල තියෙනවා, අදාළ අංශවලට දැනුම් දීලා මම මේක කරන්නේ කියලා. එතකොට 'බෑ ..බෑ කරන්න දෙන්න බෑ. අපෙන් එස්. ටී. එෆ් එකෙන් කෝල් කරනවා ඔයාලා නාට්‍ය කරනවා කියල. අපිට ඒක කරදරයක්' කියල කිව්වා. ඊට පස්සේ මට වත්තේ ඇසිස්ටන්ට් මැනේජර් කෝල් කරලා කිව්වා ඔයාල මෙහෙම එකක් කරන්න අවශ්‍යයි කියලා අපෙන් ලිඛිතව ඉල්ලීමක් කරන්න, ඊට පස්සේ අපි ඒ ලියුම පොලිසියට භාර දෙනවා, පොලිසිය බලලා තමා අවසර දෙන්නෙ කියලා. ඉන් පස්සෙ 'මාවුස්සාගල ආමි කෑම්ප් එකෙන්' කියල හඳුවලා දීපු කෙනෙක්, ඇයි නාට්‍ය කරන්නේ? කියල එක එක විස්තර ඇහුවා. මගේ හැඳුනුම්පත් අංකයත් ප්‍රශ්න කරපු කෙනා දැනගෙන හිටියා. මේ බලපෑම් නිසා, කලින් සැලසුම් කරපු තැන වෙනස් කරලා, චර්ච් එකක මිදුලෙ තමයි අපි නාට්‍යය පෙන්නුවේ."
මේ සිදුවීමෙන් පසු ලෝගානන්දන්, සිය ආරක්ෂාව සහ අදහස් පළ කිරීමේ අයිතිය උදෙසා මේ අමිහිරි අතපෙවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. රටේ පරිධියෙහි කලා සංස්කෘතික ක්‍රියාකාරීත්වය කෙතරම් අභියෝගාත්මකද යන වග අගනුවර කලා සංස්කෘතික සමාජයට සන්නිවේදනය වූයේ එම පියවර නිසාය.
මෙවැනි බලපෑම් හේතුවෙන්, සිය කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලට ළමයින් හා තරුණයන් සම්බන්ධ වීම පිළිබඳව වැඩිහිටියන් බියක් දක්වන බව පවසන ලෝගානන්දන්, විවිධාකාරයේ සෝදිසි කිරීම් නොකඩවා සිදු වන බවද පැවසුවේය.
කෙසේ නමුත් සිය කටයුතු පසු නොබා කරගෙන යන්නට ප්‍රයත්න දරන ඔහු, මේ වන විට අසල්වැසි වතු හතරක පමණ කුඩා නාට්‍ය කණ්ඩායම් බිහි කොට ගැනීමට සමත්ව සිටින්නේය. සුළුවෙන් හෝ යම් ආලෝකයක් දැල්වීම, මිනිසා මිනිසා වෙනුවෙන් කරන අසිරිමත් යුතුකමක් බව ඔවුහු විශ්වාස කරති. එය කෙතරම් ආදරණියද? රටක මානවීයභාවය අර්ථවත් කරන්නෝ ඔවුහු නොවෙත්ද? ඉතින් ලෝගානන්දන් වැනි අපූරු සෞන්දර්ය ක්‍රියාධරයින් වෙත අපේ සහෝදරත්වයේ දෑත් දිගු කළ යුතු නොවේද?
විකුම් ජිතේන්ද්‍ර