සයිමන් සහ සන්නා..................
ඊයේ රෑ දෙගොඩහරි ජාමයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ මම මීවිත තොල ගාමින් මීරි සල්ලාපයක කර වටක් ගිලී සිටිය දී සන්නා නොහොත් මා ආදරණීය සුමිතුරු සන්නස්ගල දුරකථනයෙන් මා ඇමතුවේය.
" මචං කුමාර...... අර උඹ සයිමන් ගැන ලියපු කවිය දැන් එවපං මචං......"
මේ ඒ කවිය යි
කුමාර වන්නි හත්පත්තුවේ
පාරිසාරික කවිය නොහොත් සයිමන්..........................
අලියා වැටුණ වැව සිටි හේරත් හාමී
සයිමන් ඊට වැඩි තිස් ගුණයක් දෑමී
බෝසත් පෙමින් පෝසත් හේ රසකාමී
පිටසක්වලින් ආ මිනිසෙකි සඳගාමී
සෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
ඉපනැලි මතක ඉකිලන ඇටසැකිලි පෙනේ
කටුමැටි පැලක කකියන හදවතක සෙනේ
නොකියන දුකක තතු කඩදාසියට ගෙනේ
යසෝදරා වත ගලනා දොළ වතුර
ළසෝ තැවුල් පැදකුණු කළ දිව මතුර
බිසෝ කොටුව උතුරන කඳුළක සුතුර
රසෝඝයක උල්පත උතුරයි මිතුර
තඹවන් වන්නි හත්පත්තුව පුත්තලම
රඹවන් මඩක මැඩියන් දඟ කස්තිරම
මීමුන් ලගින සැණකෙළියකි වක්කලම
සයිමන් වින්ද රුව ගුණ සුවඳක තරම
එරි එරි මඩේ ඇදෙනා බරකරත්තය
මුහුදක ගැඹුර නොසිඳෙන ලුණු පොලොත්තය
හිම කඳු සිහින දියවෙන දිය කඩිත්තය
අනිමිස සතුට උතුරන හද පෙරැත්තය
මුල්ලේගමින් තාමත් අහසට නඟින
නොනිමෙන දුමකි නිලඹර සිතුවම් අඳින
විහඟෙකි සරන විනිවිද මේකුළු දැහැන
කිරලෙකි සීත රෑ සංකාවෙන් හඬන
සංසාරයේ ආරණ්යය අසබඩක
ඇදෙනා රුවකි පුරහඳ පායන රැයක
උරනා දුමක සහ මීරස මීවිතක
උනනා සිහිනයකි සැඟවී ගිය මතක
හඬනා රැහේ දාඩිය බේරෙන වැස්ස
දිලෙනා පබළු පිරි උඳුපියලිය බිස්ස
වැටිලා හිඳින්නට ඊතණ දඬුමැස්ස
සොබනා සිතින් එව යසලාලක තිස්ස
බේත් කොටන ගිනිකඳයෙකු කටහඬිනී
ඈත්වෙමින් සෙයිලම තුළ වන වැදුනී
මහත් ආනිසංසෙක මහ අනුහසිනී
රහත්වෙන්ට නුඹ යායුතු මඟ සැදුණී
කුමාර හෙට්ටිආරච්චි තැබූ ෆේස්බුක් සටහනකි.