කොරෝනා සමයේ කොළඹ සරසවි නීති පීඨයේ සිසුන්ගෙන් මාර්ගගත කවි වැඩුමුළු සඳහා ඇරියුමක් ලැබිණ.තිඹිරිගෙදර වටපිළේ ඉඳගෙන කොබෝලීල ගහේ රවුටරය තියාගෙන වැඩ සටහන් කළේ.උදව් සඳහා සිසුන් කිහිප දෙනෙක් පැමිණියහ.ඉන්පසු ඔවුන්ගේ කවි වට්ස්ඇප් මගින් කියවන්නටත් ලැබිණ..සමහර අත්පිටපත් ද කියෙව්වෙමි.
එක් පිටපතක් හෙමින් කවිපොතක් බවට පත් විය.
ඒ කවි ගැන ලියූ සටහන.ඉරිදා ලංකාදීපයේ පළ කළ නවෝද්‍යා සමරවික්‍රම සොයුරියට තුති.තවත් දෙයක් කිව යුතුය.මේ පොතේ කවරය සහ පිටු සැලසුම් අබ්දුල් උමාර් සහන් නෙත්මිණගේය.මේ දරුවාගේ නිර්මාණ මට හමුවුණේ රැස පත්තරේ වැලිමිදුල පිටුවෙනි.ඔහු දැන්ලොකු පුතෙකි.කතුවරයෙකි...තව බොහෝ හැකියා වර්ධනය කරගෙන ඇත.ඒ ගැනත් සතුටුයි ඉතිං..මේ තමයි කෙටි ලිපිය.
"දන්නවද අපේ මහ ගෙදර
සේපාලිකා ගහක් තිබුණා
දරුවෙක් වාගේ ආදරෙන්
ආත්තම්ම ඒක හැඳුවා
වැටුණු වැටුණු මල් ඇහිඳල
එයා කොටටත් මැහුවා
ඊටත් පස්සේ කාලෙක
ආත්තම්මගෙ දානෙට
ආතම ඒක කැපුවා
දවසක් අපි ගමේ යනකොට
සේපාලිකාව ලියලල
පරවෙච්ච මල් හලල,
මිදුලම හැඩි කරල තිබුණා
ආයෙත් එහෙම නොකරන්න
අම්ම එයාගේ රිකිලි කැඩුවා
එදාත් ඊට පස්සේ හැමදාමත්
අම්මා ඒ වැඩේ කළා
ඊටත් පස්සේ කාලෙක
ආතාගේ මළගෙදර දා
තාත්තා එයාව උගුල්ලන කම්ම
එයා කාගෙන සිටියා
කවුරුවත් සැලකුවේ නැතිවට
දාල යන්නම බැරි කෙනෙක්
එයාටත් ඉඳල තිබුණා
මේ කවිය උපුටා ගත්තේ සමන්ත දසනායක ලියූ "බැරිම තැන ලියූ කවි කෘතියෙනි. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි. කුළුඳුල් උත්සාහයෙන්ම හැඟෙන්නේ දමා යන්නට බැරි කවිත්වයක් ඔහු සතුව ඇති බවය. මේ කවියෙහි සේපාලිකා ගස මානව බන්ධුතා පිළිබඳ උත්කෘෂ්ට හැඟීම් දනවන ආදර සංකේතයකි. අත්තම්මා, ආතා, අම්මා, තාත්තා මෙම සංකේතීය කවියෙහි බන්ධුත්ව මහිමය පෙන්වන මිනිස් චරිත වෙත්.
ජීවිතය යනු අහම්බෙන් ඇති වන අහම්බෙන් නැති වන දෙයකි. සේපාලිකා ගස සෑම ජීවිතයකටම සුවඳ දෙමින් තිරසරව නැගී සිටින්නට උත්සාහ දරයි. එහෙත් උදලු, කැති පහර ඉවසන්නට බැරි ම තැන සේපාලිකා ගසට ද යන්න සිදු වෙයි. සේපාලිකා ගස නිර්ලෝභීව සුවඳ දෙන නමුත් කිසිවකුගෙන් සැලකිලි නොලබයි. අවසන මිනිස් අතකින්ම සමුගැනීම ලබයි.
" දාලා යන්නට බැරි කෙනෙක්
එයාටත් ඉඳල තිබුණා"
මේ කවියේ අවසාන පාද දෙකයි. සේපාලිකා ගස නමැති රූපකය මේ කවියේ අර්ථ සූචනය ප්‍රබල කරන සාධකයයි. "රූපකය කාව්‍යයේ ජීවයයි" බොරිස් පැස්ටර් නැක්ගේ කියුමද සිහිපත් කරමි. සමස්ත රූපකය සහ රූපකාර්ථවත් බස සමන්තගේ කවිවල මුඛ්‍ය ලක්ෂණයකි. එමෙන් ම ඔහුගේ අනාගත කවියෙහි මහිමය පිළිබඳ සංඥාවකි.
මේ කවියා නිදහස් කවියෙකි. එනිසා කාව්‍යාකෘතිවල සිරගත නොවෙයි. මේ තවත් උපුටනයකි.
"මුදුන් වූ හිරු රැසින් මත් වී
දෑස් අඳ වුණු කැළෑ මල්
තාම පිරිමදිනවා ඉඳහිට
දැවුණු මල් පෙතිවල කැළැල්"
හිරු රැස් සහ වන මල් මේ කවියෙහි දෘශ්‍යමානයයි. එහෙත් දෘශ්‍යමානය විනිවිද ගිය ජීවන සත්තාවක් වෙත පාඨක හද විවෘත කරයි. මෙය සමන්තගේ ඇතැම් කවිවල පෙනෙන විශිෂ්ට ගුණයකි. "කඳන් පියදාස"," බිරිඳට ගුරු පත්වීමක්"යනාදී කවිවල සමාජ විෂමතාවෙහි දුක්ගනාන්ධකාරය ඉන්ධන බවට පත්වෙයි. එහෙත් කවියා පන්ති විග්‍රහයක් බවට කවිය පත්කර නොගෙන කාව්‍යොචිත බව ම මුදුන් තන්හි ලා සලකයි. එයින් ප්‍රතීත අර්ථ සමුදාය රසිකයා සුලබ අත්දැකීම් ස්පර්ශයෙන් මුදවයි.
"කූටකේ දහඩියෙන් පෙඟි ළැම
අලුත් හැට්ටෙට කැපෙනවා ඇති
බිම බලා විළියෙන් විටින් විට
හැට්ටෙ පහළට අදිනවා ඇති
(බිරිඳට ගුරු පත්වීමක් කවි පෙළෙන් කොටසති)
සුවඳක් මැයෙන් යුත් කවිය ද මේ කෘතියෙහි ඇතුළත් සාර්ථක නිර්මාණයකි.
"අප හමු වූ හැම මොහොතකම
මා සිසාරා හමාගිය
ඒ සුවඳ ඔබේවද?
පිටින් ගෑ සුවඳක්ද?
කුමක් වුවත් ඒ සුවඳ
තවමත් දැනෙයි ඉඳ හිට
පොත්ගුලක
මංසලක
පැන් හලක
ළග ළග
එවිට සිසා හරවා බලන්නේ
ඔබ දකින්නට නොව
සොයන්නට මා සිත පෙලූ
ඒ විසල් ගැටලුවට පිළිතුරු
ඒ සුවඳ ඔබේම ද ?
පිටින් ගෑ සුවඳක් ද?
විප්‍රලම්භ ශෘංගාරය, ලිංගික මාත්සර්ය ශිෂ්ටත්වයේ මාර්ගය ද ඉක්මවමින් කවි බසට නඟන අවස්ථා අප දැක ඇත. එහෙත් මේ කවියා අත්දැකීම්වල අමු බව මකා සියුම් කාව්‍ය ගවේෂණයක යෙදෙයි. "අහිමි පෙම හා සුවඳ" ජීවිතය ඇර බලන යතුරකි.
සමත්ත දසානයක කවියට අමුත්තෙකි. එහෙත් කවිකමට අමුත්තකු නොවන බව මේ කවි සමුච්චය සාක්ෂි දරයි.
කවියා ඉදිරිපත්ව අදහස් පළ කරන අවස්ථා වලින් මිදී කිවි බවෙහි කිමිදීම තරම් සම්පතක් කවියකුට නොමැත. එවැනි අගතීන්ගෙන් මිදීම ද සමන්තගේ අනාගත කවිය ප්‍රබල කවියක් බවට පත් කිරීමට හේතු වනු නිසැකය.
තිඹිරියාගම බණ්ඩාර
2024.06.08