lan englan tam

පුවත්

ලංකාවේ අවසන් රජු තෙක් සිටි සිත්තරාගේ කතාව; මූලාචාරී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කුසුම්සිරි විජයවර්ධන විසින් රචිත නවතම ප්‍රබන්ධ කෘතිය (නවකතා) වන ‘මූලාචාරී’ පසුගියදා මරදාන දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය.

ඉතිහාසයට ළැදි කතුවරයා මෙයට පෙර: ‘ෆැන්ටසියාව’, ‘වැව රවුම’ යන නවකතා ලියා ඇති අතර පරිසර සහ පුරාවිද්‍යා, පරිවර්තන, යොවුන් නවකතා ඇතුළු පොත් රැසක කතුවරයෙකි. මෙවර ඔහු ඉතිහාසය අධ්‍යයනය කරමින් ලියා ඇත්තේ ඓතිහාසික නවකතාවකි.
‘මූලාචාරී’ කෘතිය ඔහු රචනා කර ඇත්තේ කන්ද උඩරට රාජධානියේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ කාලයේ සිට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා දක්ෂ නිර්මාණ ශිල්පියකු සහ සිත්තරකු වූ දේවේන්ද්‍ර මූලාචාරිගේ චරිතය පසුබිම් කරගෙන ය.
මූලාචාරී කවරයරජවරුන්ගේ ප්‍රසාදයට ලක්වන මූලාචාරි සමග මහාදිකාරම ඇතුළු රදල බළකාමින් වෛර බැඳගෙන ඔහු විනාශ කිරීමට කුමන්ත්‍රණය කරයි. මේ අතර රාජාධි රාජසිංහගේ රූමත් බිසවක ඔහුට ආල බැඳ ගන්නී ය. මේ චරිතය සෙංකඩගල රජ වාසලේ වියවුල් සමග මිශ්‍ර කරමින් සමකාලීන සිද්ධි ඇසුරින් නිර්මාණය කිරීමට කතුවරයා උත්සාහ කර ඇත.
මහනුවර වැව සැලසුම් කරමින් එය තැනීමට වෙහෙස වන මූලාචාරීට අවසානයේ සෙංකඩගල බල අරගලයෙන් අත්වන්නේ කුමන ඉරණමක් ද යන්න දැනගැනීමට නම් පාඨකයා මෙම කෘතිය කියවිය යුතු ම ය. කතුවරයා සිය ලේඛන ශක්‍යතා පිළිබිඹු කරමින් අවසානය දක්වා පාඨකයා තුළ කුතුහලය ජනිත වන අයුරින් සරල බස්වහරකින් නවකතාව ගලායාමට සලස්වා ඇත.

ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News