ජාත්‍යන්තර ආයෝජන බලාපොරොත්තුවන චිත්‍රපට ව්‍යාපෘතියක් අතැතිව සිටින ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණකරුවන් වෙත පූර්ව නිෂ්පාදන ප්රචාරක පටයක් නිර්මාණය කිරීමේ පුහුණුවක් ලැබීමට දැන් අවස්ථාවක් උදා වී ඇත.
මෙරටදී ප්‍රථමවරට සම්මානලාභි ජර්මානු චිත්‍රපට නිර්මාණකරුවකු සහ පුහුණුකරුවකු වන ටිල් පැසෝ ආධුනික ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවන් උදෙසා පූර්ව නිෂ්පාදන ප්රචාරක පට සැකසීම වෙනුවෙන් වැඩමුළුවක් (Pitch & Trailer Workshop) නොමිලයේ පැවැත්වීමට අජෙන්ඩා 14 සහ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.
නව වෘතාන්ත හෝ වාර්තා චිත්‍රපට පිටපත් අතැතිව සිටින ආධුනික නිර්මාණ කරුවන් 18 දෙනෙකුට මේ සඳහා සහභාගීවීමට අවස්ථාව ඇත. ලබන අප්‍රේල් 28 වැනිදා සිට මැයි 08 වැනිදා දක්වා පුරා දින 11ක් තුළ මෙම වැඩමුළුව, කොළඹ 07 පිහිටි ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඒ වෙනුවෙන් වචන 750 - 1000ත් අතර සීමාවූ ඔබගේ තොරතුරු සහ චිත්‍රපටයේ සාරාංශය ද චිත්‍රපටයේදී අධ්යක්ෂවරයාගේ අභිප්‍රාය වචන 500-750ත් අතර ප්‍රමාණයකට සීමාකර සකසා ඔබේ අයදුම්පත ලබන අප්‍රේල් 10 වැනිදාට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය. මේ සඳහා අයදුම් පත්‍ර සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කළ හැකිය.
මෙහිදී ජාත්‍යන්තර චිත්‍රපට උලෙළවලදී ඉදිරිපත් කිරීමට චිත්‍රපටයක පූර්ව ප්රචාරක පටයක් නිර්මාණ කිරීම වගේම එය ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ආදී ඒ හා සම්බන්ධ සියලු දේ ආවරණය කිරීමට නියමිතය. වැඩමුළුව අවසානයේදී නිර්මාණකරුවන්ට තම ප්රචාරක පට ඉදිරිපත් කිරීමට ආරාධනය කෙරේ.
මෙම වැඩමුළුව මෙහෙයවන සම්මානනීය ජර්මන් ජාතික සිනමා අධ්යක්ෂ ටිල් පැසෝ ජර්මනියේ Konrd Wolf චිත්‍රපට ඇකඩමියෙන්ද ඉන්දියාවේ සත්‍යජිත් රායි චිත්‍රපට හා රූපවාහිනි ආයතනයෙන්ද ඉගෙනුම ලැබූවෙකි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද බොහෝ චිත්‍රපට විදෙස් රටවලදී රූගත කර තිබීම විශේෂත්වයකි. කල්කටාවේදී රූගත කළ 'Howrah Howrah' සහ පකිස්ථානයේ සුෆි උත්සවය පිළිබඳ කළ 'Mast Qalander' ජාත්‍යන්තර සිනමා උලෙළවලදී 200 වරකට වඩා තිරගත කර ඇත.
ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය පෙට්රා රේමන්ඩ් පවසන්නේ, අජෙන්ඩා 14 සමඟ සාකච්ඡාවෙන් පසු සම්මානනීය ජර්මන් ජාතික සිනමාකරුවකු ශ්‍රී ලංකාවට සුදුසු ලෙසින් මෙවැනි වැඩමුළුවක් පවත්වන්නට පැමිණීම ඉතා වටිනා අවස්ථාවක් බවයි. මෙම අවස්ථාව මෙරට ආධුනික සිනමාකරුවන්ට ජාත්‍යන්තරයට යාමට විශාල රුකුලක් වනු ඇති බවටත් ඇය පවසන්නීය.
ප්‍රවීණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා මෙහි වැඩසටහන් කලමකාරිණිය ලෙසින් කටයුතු කරන්නීය. "තවමත් අපේ රටේ ජාත්යන්තරෙ මට්ටමේ අත්දැකීම් ලබා සිටින්නේ කිහිප දෙනෙක් විතරයි. නමුත් අපේ ආධුනිකයන් අතරේ දක්ෂයන් ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමට මාවත් විවර නොවන්නට මෙවැනි දේ හේතු වෙනවා. අපි සාර්ථ මට්ටමෙන් පෙර නිෂ්පාදන ප්රචාරක පට ඉදිරිපත් කළහොත් ජාත්‍යන්තරය සමඟින් සම නිෂ්පාදන කිරීමේ අවස්ථා උදාකර ගත හැකියි. අපි මේ වැඩමුළුව පවත්වන්නේ නොමිලයේ. වැඩමුළුව පැවැත්වෙන වේලාවන්හිදි අපි විසින් ආහාරපාන ලබා දෙනවා නවාතැන් පහසුකම් ඔවුන් විසින් සූදානම්කර ගත යුතු වෙනවා. ඒ වගේම ඔබගේ අයදුම් පත්‍රය සමඟින් ඔබ කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සංස්කරණ ශිල්පියා සහ කැමරා ශිල්පියා සඳහන් කිරීමටට ද අප ඉඩ සළසා තිබෙනවා. මේ වටිනා අවස්ථාවෙන් නිසි ඵල ලබා ගන්නා ලෙස මෙරට ආධුනික සිනමාකරුවන්ගෙන් අප ඉල්ලා සිටිනවා. "
(මූලාශ්‍ර සරසවිය)