යකැදුරාගේ දියණිය (1936)
මුදලිඳු ඒ.සී.ජී.එස්. අමරසේකර (1883 – 1983)
මුලින්ම මේ ගැන මාගේ පෞද්ගලික විචාරය තවදුරටත් මින් ඉදිරියට ගොස් කියවා අවසන් කිරීමට ප්‍රථමව මෙය කියවන ඔබට කරුණු 2ක් සඳහන් කරන්න ඕනෙ...
1. මේ සිතුවම ශිල්පියාගේ හෝ විවිද කලාකරුවන්ගේ, විචාරකයන්ගේ අදහස් හෝ සිතුවම් ශිල්පියාගේ මුලකෘතික (Original) අදහසක් පවා මීට තිබෙන්නට පුලුවන් නමුත් මේ නූතන විචාරයට පැමිනුණේ මාගේ පෞද්ගලික මතයන්, බුද්ධිමය නිදහස, විඳීමේ නිදහස මෙන්ම සිතුවිලි මෙහෙයවා ගත් දෙයින් පමණි.... කිසිවෙකු රිදවීමට හෝ විකෘතිකිරීමේ යටි අරමුණකින් නොවේ...
2. මේ ගැන රීවිව් එකක් කරන්න හිතුවෙ ලෝකෙ තියෙන අනිත් සිතුවම් එක්ක ගලපලා.. හේතුව ලෙස, මේ සිතුවමේ තියෙන යුරෝපීය ශාස්ත්‍රාලීය කලා ලක්ෂණ, එතනදි හිතන්න පුලුවන් ඒ සී ජී එස් අමරසේකර සිත්තරා උත්සහයන් අරන් තියෙනවා කියන එක යුරෝපීය ශෛලිය තමන්ගෙ නිර්මාණවලට ගේන්න, ඒක රිචඩ් හෙන්රිකස් වගේ කලාකරුවොන්ගෙන් පස්සෙ ඒ ආභාශ එක්ක බිහිවුණ එම්.සාර්ලිස් වගේ කලාකරුවන්ගෙ සිතුවම් ශිල්පයට වඩා ඇකඩමික් විදිහට සෑහෙන ඉස්සරහෙන් තියෙන සිතුවමක් මේක.. ඊලඟ දේ ලංකාවෙ අපි පොදුවෙ දකින විහාරගෙයි බිතුසිතුවම් ශෛලියක් මෙතන නෑ..
මේ හේතු කීපය නිසා යුරෝපීය ශාස්ත්‍රාලීයකලා ලක්ෂණ එක්ක එන Narrative ගුණයන් මේ විචාරයට මන් යොදාගන්නවා.. නැවත මෙය පෞද්ගලික අදහස්, මත ඔස්සේ කරන ලද නූතන කියවිමක් පමණි..
දීර්ඝ විචාරයක් නිසා හැකිපමණින් වෙලාව අරන් කියවන්න..
ඒ.සී.ජී.එස්. අමරසේකර ලංකාවෙ බිහිවුණ multi-skilled කලාකරුවෙක්, සිතුවම් ශිල්පය ඇරුණුකොට මැජික්, නැත්තම් ඇස් බැන්දුම් ශිල්පයත් ප්‍රගුණ කරපු ශ්‍රී ලංකාවේ මැජික් ශිල්පීන්ගේ කවය ආරම්භකරන්න අමරසේකර මාස්ටර් දායකවෙනවා.
පැස්ටල්, දියසායම් ඇරුණම තෙල් සායම් වගේ මීඩියම් ගණනාවක් යොදාගෙන තියෙන අමරසේකර මාස්ටර් මුල්කාලෙ ජනප්‍රියවෙන්නෙ දියසායම් වලින් භූමිදර්ශණ චිත්‍ර නිර්මාණයට.. ඒවගේම අමරසේකර මාස්ටර් දක්ශ Portrait නැත්තම් උඩුකය සිතුවම් ශිල්පියෙක්, උදාහරණ විදිහට මහත්මා ගාන්ධි, රවින්ද්‍රනාථ් තාගෝර් ඉන්පස්සෙ ලංකාවෙ එවකට හිටපු දේශපාලකයන් රාශියක් අමරසේකර මාස්ටර් අතින් සිතුවම් වෙනවා.
මේ පහළින් තියෙන යකැදුරු දියණිය 1936දි තෙල් සායමෙන් නිර්මාණය වූවක්. පළවෙනි පාරට මේ සිතුවම ප්‍රදර්ශණය කරන්නෙ ලන්ඩන්වලදි, Royal Empire Society එකෙදි, ඊලඟ එක 1942 Royal Academy එකේදි..
ශ්‍රී ලංකාවෙ ගුප්ත, සංස්කෘතික අංගයක් අලලා මේ සිතුවම නිර්මාණය වෙන්නෙ..
මේ සිතුවමෙන් හරහා උපදින භ්‍රාන්තිය, මනසේ තිබෙන ආතතික ස්වභාවය සහ සම්ප්‍රදායන් අතර සහ සංස්කෘතිය අතර තියෙන හැඟීම්, ගැටුම්, කරුණු කාරණා කීපයක් ගැන අපිට කතාකරන්න පුලුවන්,
මූලිකවම බැලුවොත් මේ සිතුවමේ දැක්වෙන්නෙ,
1. අනන්ත්‍යතාවයක් (දියණිය චරිතය)
2. උරුමයක් පිලිබඳ (යකැදුරෙක්ගේ දියණියක් වීම)
3. චිත්තවේගීය වැලැක්වීමක් (emotional repression)..
1. සංකේතාත්මක විශ්ලේෂණය
මේ සිතුවමේ කේන්ද්‍රීය රූපය විදිහට ඇහැගැටෙන්නෙ මේ හත්කඩයක් ඇඳසිටින කාන්තා චරිතය නැත්තම් යකැදුරාගේ දියණිය, ඇය වඩාත් බියෙන් සහ පුදුමයෙන් තිගැස්මකට ලක්වුණ හැඩක් දකින්න තියෙනවා තමන්ගෙ ඉදිරියෙන් පාවෙමින් තියෙන හෝ මතුවුණ ගිණි බෝලයක් වැන්නකින්.. ශ්‍රී ලංකාවෙ යාතුකර්මය සහ ඒ ශාන්තිකර්ම සංස්කෘතියෙ තියෙන පොදු Protective සහ Therapeutic කියන අංගලක්ශණ, සහ ඒවා බිහිවෙන්නෙ පොදු ග්‍රාම්‍ය වාසී ජනයාගෙ විශ්වාස ඇදහිලි එක්ක නමුත් මෙතනින් පෙන්වන්නෙ ඒ ආරක්ෂක හෝ චිකිත්සීය කියන අංග ලක්ශණවලින් බැහැරව බිය උපදවන්නක් හෝ තිගැස්මක්. තමන් වටා ආරක්ශාවීමට, සුවවීමට යොදාගත් සම්ප්‍රදායික උරුමයන් තුළම බියෙන් ගිලීමක්..
ශ්‍රී ලංකාවෙ බලිතොවිල්, ශාන්ති කර්ම, යාතුකර්ම සම්ප්‍රදායන්වලදි කාන්තාව ඉදිරියට ඒම ගැන කතාකරන්න වෙන තැන් තරමක් සීමිතයි හේතුව මේ හැම අංගයකම තිබුණෙ පුර්ශ ප්‍රමුඛතාවය නිසා.. කාන්තාවන් ගොඩක්වෙලාවට මෙවැනි අවස්ථාවන්වලදි ගැනෙන්නෙ Supportive Role එකක් විදිහට. ආතුරයන් බලාගන්න, සංග්‍රහ, ඉවුම්පිහුම්, සුද්ධ පවිත්‍ර කටයුතුවලදි.. Primary Practitioner කෙනෙක් වීමට කාන්තාවකට ඉඩක් ලැබීම මේ කාලයන් වලදි ඉතාම සීමිතයි.
ගොඩක්වෙලාවට ඇත්තටම සිද්ධවුණේ ආතුරයගෙ චරිතයට පණපොවන්නෙ කාන්තා චරිතයක් වීමත් Protective Figure එක නැත්තම් අදාල කාන්තාවට ආරූඪවුණ අමනුශ්‍ය බලපෑම ඉවත්කරන්න තොවිල් සහ කෝලම් නැටුම් හරහා පිරිමියෙකු ඉදිරිපත්වීම..
ලඟකදි ආපු හොඳ උදාහරණවලට ජැක්සන් ඇන්තනිගෙ තවමත් තිරගත නොවූ චිත්‍රපටියක් වෙන "එකගෙයි සොකරි" චිත්‍රපටයේ "නැලවිලි සොකරි" වීඩියෝ එක Youtube බලන්න.
මේවාට හේතු ගණනාවක් තිබෙන්නට ඇති.. එකක් Protective Figure එක එවකට සමාජ තත්වයන් තුළ පිරිමින් ලෙස ගැනීම, ආරක්ශාව පිලිබඳ කටයුතුවලදි මූලිකත්වය පිරිමි පුද්ගලයන්ට යෑම..
නමුත් කාලයත් එක්කම ගම්බද නිවෙස්වල මේ සම්ප්‍රදායන් Shift වෙන්න පටන්ගන්නවා කාන්තාවන් Supportive Roles වලින් Healers ලා විදිහට, ඖෂධ පිලිබඳ දැනුම තියෙන කාන්තාවන් සමහර බලිකර්ම වලදි කෝලම් නටන්නන්ට අවශ්‍යකරන බෙහෙත් කළමණා සකස්කිරීම, පුද පූජා පවත්වන්න දායක වීම දක්වා එනවා.. බොහෝවිට හිතන්න පුලුවන් ඒ සංක්‍රාන්තිය තුල සමාජයේ එවකට වෙච්ච සිද්ධි සමුදායක එක්තරා සිද්ධියක් විදිහට මේ සිතුවම.
ඊලඟ කාරණය එවකට පුර්ශ මූලික සමාජ තලයකදි පරම්පරාව ඉදිරියට ගෙනයෑමට පුතුන්ට පැටවූ දෙයක් විදිහට ඉතා විශාල ලෙස තිබූ දෙයක්,
පියාගෙන් පස්සෙ පුතුට මීලඟ පවුලේ වගකීම පැවරෙනවා, මේක සංස්කෘතික හෝ සාම්ප්‍රදායික කාරණාවලදි තොවිල් හෝ ශාන්තිකර්ම පියාගෙන් දුවට මෙවැනි වගකීමක් පැමිණියාට පසු ඇයගේ භූමිකාව කුමක්ද කියන එක ප්‍රශ්ණකාරීවෙනවා..
මේ සිතුවම ඒ සන්දර්භයේදි අපිට වෙන සිතුවමක හෝ සමාජයීය වශයෙන් කතානොකෙරෙන Uncommon මාතෘකාවක්, සිතුවමක්..
හත්කඩයක් ඇඟලාගත් දියණියකගේ කාර්යභාර්‍ය කුමක්ද??
මේ අනන්‍යතාවයෙන් දැක්වෙන්නෙ එවැනි ප්‍රශ්ණකාරී චරිතයක් කියලා අපිට උපකල්පනය කරන්න පුලුවන්.
2. වෙස්මුහුණු
ලංකාවෙ වෙස්මුහුණු සම්ප්‍රදායෙ සියලුම පාහේ වෙස්මුහුණු නියෝජනය කරන්නෙ යම් රෝගයක්, මානසික ව්‍යාකූලබවක්.. ඒත් මෙහි දියණිගේ ඉහළින් එල්ලා තිබෙන වෙස්මුහුණුවලින් ප්‍රතිවාදී බලවේගයක් උද්දීපනය වෙනවා, උදාහරණයක් ලෙස මෙහි විශාල ලෙස දක්වා තිබෙන "ගිණි රාක්ශ" වෙස්මුහුණ, තොවිල් සහ ශාන්තිකර්මවලදි "ගිණි රාක්ශ" වෙස්මුහුණ දරන්නේ ප්‍රධාන භූමිකාවක්.. එය අනෙකුත් වෙස්මුහුණු සමග සැසඳීමේදී මේ සිතුවමේ විශාලව දක්වා තිබෙනවා..
එමගින් මෙම සිතුවමේ ඉදිරියෙන් තිබෙණ ගිනිජාලාව සහ සමස්ථ සිතුවමේ උද්වේගකර, බිය උපදවනබව වඩා තීව්‍ර කිරීම සහ සාම්ප්‍රදායික පීඩාකාරී බලපෑමක් ඇය ඉහළින් නැංවී පෙන්වන්නට යැයි සිතන්නට පුලුවන්....
එය පොදුවේ අපට වෙස්මුහුණකින් දැනෙන්නට සැලැස්වෙන චිකිත්සීය හෝ ආරක්ශක ගුණයන් වෙනුවට උපදින්නේ පීඩාකාරී බවක්.. එය තවත් ලෙසකින් කාන්තාවක නැත්තම් පොදු පවුල් පසුබිම දියණියකගේ භූමිකාවක් තුළ පැටවෙන සාම්ප්‍රදායික හෝ සංස්කෘතික බරපැණක පීඩාකාරී බවක් ලෙසද ගෙනහැර දක්වන්නට හැකි...
3. ගිණි බෝලය සහ අගුලු ලෑ දොර..
මෙහි දොර අගුලු ලෑ මුත් යතුරක් එහි තිබෙනවා, නමුත් ඊට ඉදිරියෙන් ගිණි ජාලාවක් දොර හරස් කරගෙන සිටින ස්වභාවයක් දකින්නට තිබෙනවා, දියණියගේ පිටිපසින් සහ අනෙක් පසින් සිටින බිත්තිවලින් ඇයව එකතැනකට කොටුකර බවකුත් ඇයට පිටවීමට හැකි එකම ස්ථානය මෙම සිතුවමේ දොර පමණක් බව අපිට දකින්නට පුලුවන්, ලෝකයේ විවිධ සිතුවම් වල බැලුවොත් ගින්දර මගින් හඟවන්නේ (metaphor) එක්කො අවදානමක්, තවත් සමහර අවස්ථාවන්වල අවබෝධය, පසක් කරගැනීම (Enlightenment).. බෞද්ධ සාහිත්‍යයේ එය උදාහරණ ලෙස සූත්‍ර පිටකයෙ බුද්ධක නිකායේ එන අග්නි සූත්‍රය මගින් කියවෙනවා ගින්දර වර්ග 3ක් ගැන.. ඒවා පසක් කරගතයුතුයි, අවබෝධයෙන් පසුවිය යුතුයි යන්න..
මෙයම මනෝවිද්‍යාත්මක පසුබිමක සිට ගතහොත් දෙ අකාරායකට ගන්නට පුලුවන්, බිඳලිය නොහැකි යමක් පිලිබඳ උග්‍ර චිත්තවේගීය ආශාවක්, හෝ කේන්තිය, වෛරය.. තවත් ආකාරයකින් බිය.. එය ෆ්‍රොයිඩ්ගෙ මනෝවිශ්ලේෂණ න්‍යායන්වලදී හීනවල ගින්දර දැකීම ලිංගික නැඹුරුතාවයක් හෝ අධික ආශාවක යටපත් කරන ලද හැඟීම් ලෙස දක්වන්නට පුලුවන්..
මෙම සිත්තමේදී යතුරක් දැමූ දොරක් අභිමුව හරස්කර සිටින ගිණිජාලාවක් බොහෝවිටක ඇයට දොරෙන් එළියට පිටවීම වැලැක්වීමක්, එක්කෝ දොර ඉදිරියෙන් නැතහොත් කොටුවී සිටින ඇයට එළියට පලායෑමට අවශ්‍ය අවබෝධයේ සංකේතයක්, අනතුරු ඇඟවීමක් ලෙසත් දකින්නට පුලුවන්..
4. මනෝවිද්‍යාත්මක විවරණයක්
දියණියක් වීත් යකැදුරු පියෙකුගේ හත්කඩයක් ඇඟලාගන්නට වීම පාරම්පරික, සංස්කෘතික වගකීම්වලට, බරපැණට යටත්වන්නට සිදුවීමක් ලෙසින් නිරූපණයවෙනවා යැයි පෞද්ගලිකව සිතනවා, මනෝවිද්‍යාත්මකව Inter-generational Trauma ලෙස අපි සාකච්ඡාවට බඳුන්කරන්නේ මෙයයි..
පොදුවේ පරම්පරාවකින් මීලඟ පරම්පරාවට පැටවෙන බර, එය දියණියකගේ භූමිකාවකදී ඇය දක්වන චිත්තවේගීය බලපෑම මෙම සිතුවමෙන් ගෙනහැර දක්වනවා කියලා සිතන්නට පුලුවන්...
ඉතිහාසයේදීත් පුර්ශ මූලික පවුල් සංස්ථාවල එය උඩින් නැවත සාම්ප්‍රදායික. සංස්කෘතික රාමුවක් එකතුවූ විට එයට පිටුපෑමට නොහැකි දැඩි විනයන් වලට අවනතවෙන්නට සිදුවූ කාන්තාවකගේ, දියණියකගේ භූමිකාවක් අපිට තවදුරටත් මෙයින් සාකච්ඡා කරන්නට පුලුවන්...
විවිධ සමාජතල තුළ සාම්ප්‍රදායිකව මඩනාලද කාන්තාවකගේ පොදු වගකීම්වලින් බැහැරවීමට ඇති කැමැත්ත, බිය හෝ ලැජ්ජාශීලීබව සීමාවකට යටත් කරනවා.. එය ඉතාම නිරායාසයෙන් හෝ බලයකින් සිදුවන්නක්..
මේ ගැන වැඩිදුර කාර්ල් යන්ග් ගේ Concept of The Shadow නම් මනෝවිද්‍යාත්මක සංකල්පයෙන් ගෙනහැර දක්වනවා.. එයින් කාර්ල් පවසන්නේ අවිඥානික මනසේ පවතින අපගේ දැනීමේ නොමැති සෙවනැළි පිලිබඳ, ඒ සෙවනැළි තුලින් අපි Reject කිරීමට හෝ සැඟවීමට උත්සුක වන අපගේ පෞර්ෂත්වය තුළ පවතින විවිධ පරාසයන්..
මීට හේතුව ලෙස කාර්ල් පවසන්නේ ඒවායේ තියෙන අප්‍රසන්නබව හෝ සමාජයෙන් ඊට ප්‍රතිවිරුද්ධව ගේන අදහස් නිසා බවයි.. මේ බිය හෝ හැඟීම සෙවනැල්ලක් ලෙස ඇයට පිටුපසින් ඉතා ඉහළින් නැගී සිටින බව දකින්නට පුලුවන්...
අමරසේකර මාස්ටර්ගෙ මේ සිතුවමට සමාන සිතුවමක් මම පහළ කොමෙන්ට් එකක දැම්මා, එය The Scream නමීන් Edvard Munch විසින් සිතුවමට නගා තිබෙන මනෝවිද්‍යාත්මක සිරගේක සිරවූ ලැජ්ජාව සහ සම්ප්‍රදාය ඔස්සේ ගොඩනැගුණු සිතුවමක්, මේ සිතුවම් දෙවර්ගයේම සමානකමක් දකින්නට පුලුවන් කියලා පෞද්ගලිකව හිතනවා..
ධනංජය රණවක