lan englan tam

පුවත්

යුගයක 'රාවය' අවසන්; සුබ ගමන් ජ්‍යෙෂ්ඨයාණෙනි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ පුවත්පත් කලාවේ, විකල්ප පුවත්පත් ධාරාවේ ප්‍රමුඛතම නාමය 'රාවය' පුවත්පතේ සමාරම්භක කර්තෘවර වික්ටර් අයිවන් ඊයේ (19) අප අතරින් වියෝ විය.

මිය යන විට 75 වැනි වියේ පසු වූ ඔහු සිය අවසන් කාලය දක්වා පුවත්පත් සහ ලේඛන කලාව මෙන්ම සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයම වෙනුවෙන් කළ මෙහෙය මෙතෙක් කිසිදු ජනමාධ්‍ය පෞරුෂයක් විසින් නොකරන ලද දිගු කාලීන එකක් වේ.
සුප්‍රකට 71 කැරැල්ලේ අප අතර සිටි ජීවමාන චරිතයක්ද වූ ඔහු එවකට හැඳින්වූ 'පොඩි අතුල' සහ 'අතුල අයියා' යන නාමයෙන් සමීපතමයින් විසින් හඳුන්වනු ලැබිණි.
71 කැරැල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය චරිතයක් වුවද ඒ හේතුවෙන් සිරගත වී වසර කිහිපයක ඇවෑමෙන් පොදුවේ සියලු දේශපාලන ධාරා සහ චරිත නිර්දය ලෙස විවේචනය කළ ජනමාධ්‍ය චරිතයක් ලෙස වික්ටර් අයිවන් ප්‍රකට විය.
සුප්‍රකට 'චෞර රැජිණ' කෘතිය මෙන්ම ඔහු විසින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සහ අත්පොත් ලෙස හැඳින්වෙන කෘති අතරට එක් වන 'පෑන අහිංසකද?' කෘතියත් නොනිමි අරගලය, 71 කැරැල්ල, චෞර රාජ්‍යය, ජීවිතයේ ප්‍රබෝධය මරණයේ අසිරිය යනාදී කෘති ගණනාවක් රචනා කරමින් වික්ටර් අයිවන් පාඨකයින් අතර දැවැන්තයකු බවට පත් විය.
අකුරු ලියනයෙන් සටන්කාමී, ඉදිරිගාමී මෙන්ම සත්‍යවාදී වීමේ අඛණ්ඩතාවය සුරැකීමේ ප්‍රායෝගික ආදර්ශයක් ලෙස වික්ටර් අයිවන් නාමය සැමදා ඉතිහාසගත වනු ඇත.
වයසින් ජීවිතයේ දිගු කලක් සපුරා තිබුණද වික්ටර් අයිවන් යනු මිය යන හෝ මිය යා යුතු මිනිසෙකියි යන්න නොසිතූ සහ අදහාගත නොහැකි ඔහුට ආදරය කරන ජනමාධ්‍යවේදීන්, ලේඛක, දේශපාලන මෙන්ම සමීපතම චරිත බොහෝ දෙනෙක් සෑම තැනකම විසිර මේ මොහොතේ ඔහු වෙනුවෙන් ශෝක වෙති.
ඔහුගේ වියෝව අදහාගත නොහැකි එවන් බොහෝ සටහන් සෑම තැනකම දකින්නටත් අසන්නටත් ලැබෙන අතර ජනප්‍රිය නිර්මාණකරුවකු වන සංජය ඈපා සෙනෙවිරත්න 'වික්ටර් අයිවන්' යනු කවරෙක්ද යන්න සිය නිර්මාණ රූපයකින් විශිෂ්ට ලෙස එකවර කියා තිබිණි. (මෙහි පළ වෙන්නේ එම ඡායාරූපයයි)
අවසන් කාලයේ පුවත්පත් කලාව වෙනුවට නව මාධ්‍ය පිළිබඳව විශ්වාස තැබූ වික්ටර් අයිවන් එහිදීද සිය මතය වෙනුවෙන් අඛණ්ඩව මෙන්ම අවිච්ඡින්නව පෙනී සිටියේය. 'රාවය' වසා දැමීමේදී ඔහුගේ මතයට විරුද්ධ වූ අය පවා එහිදී අයිවන් කෙරෙහි දැක්වූ ගෞවරය අඩු කොට නොසැලකෞඋහ. විරුද්ධ මතධාරීන් යනු ඔහුගේ මිතුරන් නොවූවත් ඔවුන් සතුරන් කොටගෙන යෑමට තරම් අයිවන්ගේ අකුරුකරණය ප්‍රබල විය. අයිවන් කළ කාර්යභාරය එතරම්ම ගෞරවනීය විය.
දුහුනන්ට, ආධුනිකයින්ට සිය පුවත්පතේ ඕනාම මොහොතක ඉඩ දුන් වික්ටර් අයිවන් එවැන්නන් හමු වන සැණෙන් හෝ හමු නොවී පවා අගය කිරීමට මැලි වූවකු නොවේ. වික්ටර් අයිවන්ගේ 'රාවය' පුවත්පතින් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස මාධ්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය වූවෝ සෑම අතම විසිර සිටිති.
25 වැනි 'රාවය' සංවත්සරයේදී මුලදී පැමිණි අය මවිත කළද එවකට දේශපාලන අධිකාරිය - සිය පුවත්පතේ සාංවත්සරික උළෙලේ ප්‍රධාන ආරාධිතයින් කරවා අයිවන් දුන් පණිවුඩය පසුව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් විය. (ලියුම්කරු අයිවන් දුටු පළමු දින වන්නේ එදිනයි.) වික්ටර් අයිවන් සිය පෞරුෂය නොසිඳ ගත්තේය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ දේහය අද (20) අවසන් ගෞරව සඳහා කරාපිටිය රුහුණු මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පස්වරු 05ට ගාල්ල - දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
යුගයක 'රාවය' වූ ජ්‍යෙෂ්ඨයාණෙනි, ඔබට සුබ ගමන්!

ශිවන්ති ප්‍රනාන්දු

ඡායා: සංජය ඈපා සෙනෙවිරත්න

Back to top
Go to bottom