මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේ දිනූපා කෝදාගොඩ ය. ඒ අකිල සපුමල්ගේ ‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයේ කළ රංගනය වෙනුවෙනි. ප්‍රධාන චරිතයක් කළ සිය පළමු වේදිකා රංගනයෙන් ම සම්මානයට පාත්‍ර වන දිනූපා මේ ‘ගිරිකූඨ කාශ්‍යප’ පිළිබඳත්, සිය රංග කාර්ය පිළිබඳත් කළ කතාබහකි.
* ඔබ කලා ගමන අරඹන්නේ නර්තන ශිල්පිනියක් ලෙසින් නේද?
ඔව්. මා කුඩා කාලයේ පටන් ම නර්තනය හා ගායනය හැදෑරුවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එහිදි මා හදාරන්නේ නර්තනයයි. මා උපාධිය ලබාගන්නේත් නර්තන විෂයයෙන්.
* එහෙම නම් ඔබ පාසල් වේදිකාවේ රංගන කටයුතු සඳහා ඉදිරිපත් වූවා ද?
මගේ ගම කෝට්ටේ. පාසල් ගියේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයටයි. එහිදි මා රංගන කටයුතු සඳහා දායක වුණේ නැහැ. ඒත් පාසල් වයසේදී මා දේවින්ද කෝන්ගහගේගේ ‘තුරුලිය දරුවෝ’ කියන ඒකාංගික අවුරුදු ටෙලි නාට්‍යයක රඟපෑවා. මගේ ගෙදර අයගේ ඉල්ලීමට මා ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවත්, ඒ තරම්ම කැමැත්තකින් නොවෙයි මා එහි රඟපාවේ. ඒ කියන්නේ රංගනය ගැන කිසිම ආසාවක් මගේ සිතකවත් තිබුණේ නැහැ. අනෙක් කාරණය නම් රඟපාන්නට හැකි යැයි කියා මට කොහෙත්ම සිතුණේත් නැහැ. ඒත් මා ගායනය හා නර්තනය බොහොම කැමැත්තෙන් හැදෑරුවා.
* නර්තනය කියන්නේ ඔබ බොහොම ආදරය කළ විෂයයක්?
කුඩා කාලයේ පටන් ම මා බෙහෙවින් ආසා කළේ නර්තනයටයි. එහිදි මා ඉගෙන ගන්නේ පහතරට නර්තනයයි. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසුව මා තෝරා ගත්තේ කථක් නර්තනයයි. එහි භාව නිරූපණය කියන්නේ අපට ඉගෙන ගැනීමට තිබුණු එක් කොටසක්. මා සිතන්නේ ඒ කොටසේ චරිත නිරූපණය ගැන ඉගෙන ගැනීමෙන් ලැබුණු දේ මට රංගනයට බොහොම ප්‍රයෝජන වූ බවයි.
* ඔබ විශ්වවිද්‍යාලයේදීත් පහතරට නර්තනය හදාරන්නේ නැතිව කථක් නර්තනය හදාරන්න සිතුවේ ඇයි?
යොවුන් කාලයේ පටන් කථක් නර්තනයට මගේ සිතේ තිබුණේ බොහොම ආසාවක්. ඒ ආසාව කොයිතරම් ද කිව්වොත් විවිධ චිත්‍රපට නරඹලා ඒ ශෛලිය ඉගෙන ගන්නත් මා පෙලඹුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ සෑම නර්තන ශෛලියක් ම ඉගෙන ගන්න අනිවාර්ය කරනවා. එහිදියි මා තීරණය කරන්නේ මගේ මූලික විෂයය විදියට කථක් නර්තනය හදාරන්නට.
* ‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයේ රඟපෑමට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොම ද?
‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයට දායක වීමට කැමැති දැයි මුලින්ම මගෙන් විමසන්නේ ඉසුරු වීරසිංහ අයියායි. ඒ හරහා මගේ ගායනා හැකියාව විමසා බැලෙනවා. ඒ අනුව ඔවුන් මාව තෝරා ගන්නේ කාශ්‍යප දේවියගේ චරිතයටයි.
* මේ වේදිකා නාට්‍යයේ කාශ්‍යප දේවියගේ චරිතය නිරූපණය කිරීමේ අභියෝගය ඔබ භාර ගත්තේ කෙසේ ද?
මේ නාට්‍යයේ පිටපත රචනා කරලා තිබුණේ ආරියවංශ රණවීරයන්. මෙහි අධ්යක්ෂ අකිල සපුමල් කාශ්‍යප දේවියගේ චරිතය වටහා ගැනීමට මට බොහෝ උදවු කළා. මේ විදිය යැයි කියමින් කාශ්‍යප දේවියගේ චරිතය ගොඩනඟා ගැනීමට ඔහු මට ගොඩක් උදවු කළා. කාශ්‍යපගේ චරිතය රඟපාන්නේ සජිත අනුත්තර. වේදිකා නාට්‍යයේදී ඔහුත් සමඟයි මට බොහෝ දුරට රංගනයේ යෙදෙන්න සිදු වුණේ. මේ චරිතය රඟපෑමේදී ඔහුගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබුණා. ඊට අමතරව තිලංකා ගමගේ, නයෝමි සමුද්‍රිකා ඇතුළු අත්දැකීම් රැසක් තිබුණු ශිල්පීන් හා ශිල්පිනියන් තමයි මේ වේදිකා නාට්‍යයට රංගනයෙන් සහභාගි වුණේ. කෝරස් එක ඇතුළු නාට්‍ය කණ්ඩායමේ සිටි සියලු දෙනොගෙන් ම මගේ චරිතය ගොඩනඟා ගැනීමට මට සහයෝගය ලැබුණා. මේ අවස්ථාවේ ඔවුන් සියලු දෙනාම සිහිපත් කළ යුතුයි.
* ‘ගිරිකූඨ කාශ්‍යප’ සංගීතමය නාට්‍යයක් ද?
ඔව්. ඒක සංගීතමය නාටකයක්. අපේ රටේ නිතර ම දකින්නට ලැබෙන වර්ගයේ ගීත නාටකයක් නොවෙයි. මෙහිදි විවිධ සංගීත ශෛලින්, ඔපෙරා ශෛලිය, බටහිර ශෛලින්, ජන ආරේ පැමිණෙන තනු ආදී විවිධ ආකාරයෙන් යුත් ශෛලින් කිහිපයක එකතුවකිනුයි මේ සංගීතමය නාටකය නිර්මාණය වී තිබෙන්නේ.
* හොඳම නිළියගේ සම්මානය ගැන යම් පුංචි හෝ බලාපොරොත්තුවක් ඔබගේ සිතේ තිබුණා ද?
කිසිම විදියකින් මේ සම්මානය මට ලැබේවි කියන බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. සම්මාන උලෙළට සහභාගි වුණෙත් සම්මානයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මගේ පළමු නිර්මාණය නිසා මා එවැනි බලාපොරොත්තු සිතේ තියා ගත්තේ නැහැ. අනෙක් කාරණය නම් මට වඩා අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පිනියන් පිරිසක් සමඟයි මා තරග වැදුණේ. එවිට එවැනි බලාපොරොත්තුවක් කොහෙත් ම තබා ගන්නට බැහැ.
* හොඳම නිළිය සම්මානය ලැබුණාට පස්සේ ඒ ගැන ඔබගේ සිතේ ඉපදුණේ මොන වගේ අදහසක් ද?
රංගනය කියන්නේ මට ආධුනික ක්ෂේත්රයක්. ඒ ක්ෂේත්රයේ මා පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ ‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයේයි. එහි කළ රංගනය වෙනුවෙන් ලැබෙන මේ සම්මානය මට සුවිශේෂීයි. මේ හොඳම නිළිය සම්මානයෙන් මා ඇගයීමට ලක්වන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළේදී මා ඉදිරිපත් කළ රංගනය වෙනුවෙන්. ඒ සම්මානය මා සලකන්නේ මාව දිරිමත් කිරීමට ලැබුණු සම්මානයක් ලෙසයි.
* ඔබ පවසන්නේ කුඩා කාලයේ කළ රංගනයෙන් පසුව ‘ගිරිකූඨ කාශ්‍යප’ වේදිකා නාට්‍යයට පෙර වේදිකා නාට්‍යයක රංගනයේ නොයෙදුණු බවද?
වේදිකාව අලුත් අත්දැකීමක් වුණත් 2011 වසරේ පමණ මා සුජීව ප්රියාල්ගේ ‘සෙහෙබර ධනුද්දර’ වේදිකා නාට්‍යයේ සංගීත කණ්ඩායමේ ඉන්නවා. එය නිකම් ම නිකම් සංගීත කණ්ඩායමක් නොවෙයි. එහිදි මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කරමින්, නර්තන ඉදිරිපත් කරමිනුයි අප ගායනා කළේ. ඊටත් පසුව 2015 වසරේ මා ආනන්ද අබේනායක මහත්තයාගේ සංසාරයේ පිය සටහන් නාට්‍යාවලියේ එන ‘කිරි සුවඳ’ කියන ඒකාංගික පෝය නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා. ඒ රඟපෑමට හොඳ පැසසුම් ලැබුණා. රයිගම් සම්මාන උලෙළේ හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය විදියට සම්මානයකුත් හිමිකර ගැනීමට තරම් ඒ ටෙලි නාට්‍යය ප්‍රබල වුණා. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වනවාත් සමඟ ම මා කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණ අධ්‍යක්ෂවරියකගේ කෙටි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒ නිසා ‘ගිරිකූඨ කාශ්‍යප’ රඟපාන විට රංගනය ගැන එවැනි පුංචි පුංචි අත්දැකීම් රැසක් ම මා වටා ඒකරාශී වීයි තිබුණේ.
* ඔබ ඔය පවසන්නේ ‘ගිරිකූඨ කාශ්‍යප’ රඟපෑවත් වේදිකාව ඔබට ආධුනික බව ද?
ඔව්. තවමත් මා වේදිකාවට ආධුනිකයි. ටෙලි නාට්‍ය රංගනය හා වේදිකා නාට්‍ය රංගනය කියන්නේ හාත්පසින් ම වෙනස් රංගන දෙකක්. මේ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ වේදිකාවටයි. වේදිකාව කියන්නේ බොහොම සජීව මාධ්‍යයක්. එහි සජීවව ලබන අත්දැකීම අනෙක් කිසිම මාධ්‍යයකින් ගන්න හැකිවේවි යැයි මා සිතන්නේ නැහැ.
* මේ දවස්වල ඔබ නියැළිලා ඉන්නේ කුමන කාර්යයක ද?
අනසූයා සුබසිංහ ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන ‘නොමළ කෝලම්’ නිෂ්පාදනයේ මා රඟපානවා. එහි පුහුණු වීම් කටයුතුවලයි මේ දවස්වල මගේ කාලය ගෙවෙන්නේ. මේ නිර්මාණය මගේ රංගන ජීවිතයේදි ලැබුණු හොඳ අභියෝගයක්. මෙහි වේදිකාවේ අත්දැකීම් බහුල රංගන ශිල්පීන් කිහිපදෙනෙකු ම රංගනයේ යෙදෙනවා. ඒ අතර ඉන්දික ෆර්ඩිනැන්ඩු, අනසූයා සුබසිංහ, ස්ටෙපාන් තිරිමාන්න, ජිතේන්ද්‍ර විද්‍යාපති, නදීක වැලිගොඩපොළ ඉන්නවා. ඔවුන්ගේ සහය ඇතුව අලුත් අත්දැකීම් ලබමින් මා මෙහි රංගනයේ නියැළෙනවා. මට අවස්ථාව ලැබෙනවා නම් දිගට ම වේදිකාවේ රඟපාන්නට මා කැමැතියි. රංගනය ගැන හදාරමින් ඉදිරියට යන්නයි මගේ බලාපොරොත්තුව පෙළ ගැසී තිබෙන්නේ.
* ඉදිරියේදී අපට ඔබව දකින්නට ලැබෙන්නේ රංගන ශිල්පිනියක් ලෙස බව ද ඔය පවසන්නේ?
ප්‍රාසංගික කලා ශිල්පිනියක් ලෙස කටයුතු කරන එක වඩාත් තෘප්තිමත්. ගායනය හා නර්තනය ගැනත් හදාරමින් ඉදිරියට ඒ ඔස්සේත් මගේ දස්කම් දැක්වේවි.
* ගායනය ගැන ඔබගේ අදහස මොන වගේ ද පෙළගැසී තිබෙන්නේ?
ගායනයට මා සම්බන්ධ වන්නේ කුඩා කාලයේ. ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනියේ ‘හපන් පැදුර’ වැඩසටහනේදියි නරඹන්නන්ට මාව මුලින්ම මුණ ගැසෙන්නේ. ගායිකාවක් විදියට ඉදිරියට යන්නත් මගේ අදහසක් තිබෙනවා. ඒ ගැන මා මේ වනවිටත් හොඳ හැදෑරීමක් කරලා තිබුණත් තවත් හැදෑරීම් කරමිනුයි කාලය ගත කරන්නේ.
* ඔබ සංගීත ගුරුවරයා කවුරුන් ද?
මගේ පළමු වැනි සංගීත ගුරුතුමිය වන්නේ නන්දා මාලිනී ගුරුතුමියයි. මගේ අම්මටත් කලින්, ගායන හැකියාවක් තිබෙන බව හඳුනා ගන්නේ ඇයයි. මගේ ගායන කටයුතු සඳහා ඇයගෙන් ලැබෙන උදවු අපමණයි. ‘හපන් පැදුරට’ මා යන්නෙත් ඈ නිසයි. හින්දුස්ථානී රාගධාරී සංගීතය මා හදෑරුවේ මංජුලා සෙනෙවිරත්න ගුරුතුමිය යටතේයි. ඒලේවල් කලාට පස්සේ මා කේමදාස මාස්ටර් යටතේ ටික කාලයක් සංගීතය හැදෑරුවා. ඔහුගේ ‘අග්නි’ ඔපෙරාවටත් දායක වීමට මට අවස්ථාව ලැබුණා. ගායනය හා සංගීතය ගැන ස්වයං පුහුණුවීමක නිරත වෙමිනුයි නිතර ම මා කාලය ගත කරන්නේ.
තිලානි ශානිකා විතානාච්චි (සරසවිය)