සිංහල අලුත් අවුරුදු උත්සව කාලයට මාධ්‍යවල නොවරදවාම දකින්න ලැබෙන කිහිප දෙනා අතරින් ප්රමුඛ චරිතයක් තමයි රෝහණ බැද්දගේ. අප මේ විශේෂාංගයෙන් උත්සාහ කරන්නෙ නිතිපතාම මාධ්‍ය ඔහුගෙන් අසන සුපුරුදු ප්‍රශ්න මාලාව ඔහුට ඉදිරිපත් කිරීමට හෝ ඔහු ලබාදෙන සුපුරුදු පිළිතුරු මාලාව ඔබ වෙත ඉදිරිපත් කිරීමට නොවේ. සිංහල අලුත් අවුරුදු උත්සවය නමැති ජාතික උත්සවය පිළිබඳව ඔහු සමඟ වෙනස් ආකාරයක කතා බහක යෙදෙන්නටය.
සිංහල අලුත් අවුරුද්දේ ජාතික වැදගත්කම ඔබ දකින්නේ කොහොමද ?
අවුරුදු උත්සවය කියන්නෙ සිංහල සංස්කෘතියේ තියෙන ඉතාම වැදගත් අවස්ථාවක්. එතැනදි තමයි අපි අපේ චාරිත්‍ර වාරිත්‍ර පුහුණු වෙන්නේ අපේ සංස්කෘතියේ වටිනාකම් දැනගන්නේ. ජාතියක් විදිහට අපි වෙලාවට වැඩ කරන්න පුහුණු වෙන්නේ. එකිනෙකා අතර ඇතිවුණ තරහ මරහකම් නැතිකරගෙන ඇඟෑලුම්කම් දියුණු කරගෙන සමගි සම්පන්න වන්නේ මෙම හේතු නිසයි අලුත් අවුරුදු උත්සවය ජාතික වැදගත් කමකින් යුතු අවස්ථාවක් බවට පත් වෙන්නේ.
මේ ජාතික උත්සවයට අලුත් අවුරුද්ද කියන්නෙ ඇයි?
නක්ෂත්රයෙන් කියෑවෙන විදිහට අලුත් වෙන අවස්ථාව තමයි අවුරුද්ද කියන්නේ. සූර්යයා පෘථිවිය වටා ගිහින් නැවත මින රාශියෙන් මේෂ රාශියට පිවිසෙන වෙලාවෙ සූර්යයාගේ ගමන අලුත් වෙනවත් එක්කම අපේ ජීවන රටාවත් අලුත් වෙනවා. ඒක තමයි නක්ෂත්රානුකූලව අවුරුද්ද උදාවෙනවා කියන්නේ. එතැනදි අපේ රටට එම සිදුවීම විශේෂ වෙන්නේ සශ්රීකවත් වන වෙලාව අටුකොටු පුරවාගෙන මිනිස්සු අලුත් සහල් මංගල්‍යය පවත්වල බුදුන්ට දාන මාන පූජා කරල දෙවියන්ට පුද පූජා පවත්වල මිනිස්සු එකී සශ්‍රිකත්වයේ ප්‍රීතිය සමරන මොහොත. නමුත් මේ දේවල් පැවතුණේa අතීතයේ. දැන් ඔය සිරිත් විරිත් දකින්න නැහැ.
ඔබ පවසන ආකාරයට සශ්‍රීකත්වයෙන් උදම් වූ ජනතාව අවුරුදු ප්‍රීතිය ප්‍රකාශ කළේ කුමන ආකාරයටද ?
විශේෂයෙන්ම සෑම ගෙදරක මිදුලක්ම ළමයින්ගේ ක්‍රීඩා පිටියක් විදිහටයි සැලකුණේ. අඹ ඇට පනින්න, බට්ටො කොටු ඇඳලා බට්ටා පනිනවා. ඔන්චිලි වාරම් කියමින් ඔන්චිලි පදිනවා. පංච දානවා වගේ විනෝද ක්‍රීඩාවන්ට හැමෝම සහභාගි වෙමින් සමගි සම්පන්නව අවුරුදු උදාවෙන මොහොත ප්‍රිතියෙන් ගත කළා.
අවුරුදු උත්සවයේ නැකතට අනුව ඉටු කෙරෙන චාරිත්‍රවලට ලැබෙන්නෙ සුවිශේෂ තැනක් මෙහිදී අලුත් අවුරුද්දට වගේම පරණ අවුරුද්ද වෙනුවෙනුත් ඉටුවෙන චාරිත්‍ර පවතිනවා නේද ?
මිනිස්සු පරණ අවුරුද්දට නාලා අලුත් අවුරුද්දට නාන්න ඉතිරි කරගන්නවා. නව සඳ බලනව කියන්නෙ සඳ පවා පරණ වුණාට පස්සේ ඒක අතහැරල අලුත් සඳ දිහා බලනවා. ඒවා මිනිස්සු හිතන්නෙ සුබ දේවල් විදිහට. ජීවිතය අලුත් කරන සිරිත් විදිහට.
අවුරුදු උදාවත් එක්කම මිනිස්සු එදිනෙදා ජීවිතයේ කරන ආහාර පිසීම වැඩපළවල නිරතවීම වැනි කටයුතු නැකතකට උත්සවාකාරයෙන් ඉටු කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ?
ලිප පිරිසිදු කරල අරගෙන අලුතෙන් ගිනි මොලවල අලුතෙන් උයල කෑම බීම සකස් කර ගන්නවා. ඒ හැම දෙයක්ම කරන්නෙ සුබ වෙලාවකට අනුවයි. මේ විදිහට ඉතා ගෞරවයෙන් පිළියෙල කරගත්තු ආහාර පාන අසල්වැසි හිතවතුන් අතර බෙදාහදා ගන්නවා. අලුත් ඇඳුම් එකිනෙකාට තෑගි දෙනවා. අලුත් ඇඳුම්වලින් සැරසෙනවා. සෑම පැත්තෙන්ම අලුත් වෙනවා වගේම වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් නැකැත්වලට වැඩ කරනව කියන්නෙ වෙලාවට වැඩ කරනව කියන එකයි. සමහරුන් නොනගතය අර්ථ දක්වන්නෙ ආගමික චාරිත්‍ර ඉටු කිරීමට ඇති කාලය ලෙසසි.
සැබැවින්ම නොනගතය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද ?
නොනගතය කියන්නෙ නැකතක් නැති වෙලාව. සූර්යයා මින රාශියෙන් මේෂ රාශියට මාරුවෙන අන්තරයක් තියෙනවා. ඒ වෙලාවට නැකතක් යෙදෙන්නේ නැහැ. ඒ කාලය නොනැකත නොනගතය කියලා කියනවා. ඒ වෙලාවට කරන්නෙ ආගමික වතාවත්වල යෙදෙන එක විතරයි.
ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම කියන්නෙ අලුත් අවුරුද්දේ තියෙන වටිනාම චාරිත්‍ර කිහිපයක්. බොහෝ වෙලාවට මාධ්‍ය මගින් මෙම චාරිත්‍ර ඉටුකරන්න ඕන අනුපිළිවෙළක් දක්වනවා. මෙම අනුපිළිවල පිළිබඳ ඔබගේ මතය කුමක්ද ?
ඕවා පටලවලා තියෙන්නේ. වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය මැනවි කියල තියෙනවා ඕක කෙහොම කළත් කමක් නැහැ. වෙලාවට කෙරෙන්නයි ඕනෑ. ඒ කටයුතු කොහොම කළත් ඒ ගැන හැඟීම තියෙන්නේ හිතෙන්නේ තමන් හරියට තමන්ගේ කටයුතුවල යෙදෙනවා කියන එක අධිෂ්ඨාන කරගෙන නැකතක් අනුව ඒ කටයුතුවලට බහිනවා. ඕක මාරුවුණා කියල ප්‍රශ්නයක් නැහැ. කොහොම කළත් යහපතක් නේ කරන්නේ.
අද නාගරිකරණය වූ සමාජයේ තියෙන පහසුකම් අනුව අවුරුදු චාරිත්‍ර ඉටුවෙන විදිහෙත් වෙනස්කම් සිද්ධවෙලා. මෙය යහපත් ලක්ෂණයක්ද ?
ඇත්තටම මිනිස්සු තමන්ට කරන්න පුළුවන් විදිහට නේ වැඩ කරන්න ඕනෑ. පළවැනි කාරණය තම තමාගේ දිග පළල තම තමා විසින් දැනගත යුතුයි. ඒක හරිම වැදගත් කියමනක්. ඒ දිග පළලට අනුව හැම දෙයක්ම යොදාගත යුතුයි. ණය වෙලා වැඩ කරල වැඩක් නැහැනේ. අවුරුද්ද තියා මොක වුණත් ඒ ඒ පුද්ගලයා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිතේ ප්‍රීතියෙන් යුත්තව ඔය චාරිත්‍ර ඉටුකිරීම ප්‍රමාණවත්.
එදා ළිඳත් එක්ක ගනුදෙනු කළ අයට අද ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ජල කරාමය එක්ක. එදා ලිප් බැඳ ගිනි මෙළවූ මිනිසුන්ට නැකතට ගෑස් උදුනේ ස්විචය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ?
ඔව් විශ්වාස. තමන්ට පිරිසිදු වතුර දෙන තැන හැටියට හැමදාම ඒ විදිහට පිරිසිදු ජලය ලැබෙයි කියන විශ්වාසය එක්ක ළිඳත් එක්ක ගනුදෙනු කරනවා. "විශ්වාසා පරමා ඥාතී" කියනව නේ යහපත් විශ්වසනීය හැඟීමකින් කටයුතු කරන්න පුළුවන් නම් ඒක වටිනාම කාරණය.
අලුත් පරම්පරාව මේ වටිනාකම් පිළිබඳව හැඟීමකින් කටයුතු කරන බවක් දකින්න තියෙනවද ?
අලුත් පරපුර මේ කිසි දෙයක් දන්නේ නැහැ. ලොකු අය හරියට කරන්නෙත් නැහැ. අලුත් පරපුර කියන්නෙ මේ තාක්ෂණ ලෝකය ඇතුළේ මේ දේවල් ඵලක් නැහැ කියලා. වැඩිහිටියො කියන නිසා කරනවා ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. තමන්ට තමන් රවට ගන්නව පළමු කොට ඊට පස්සෙ අනුන්ව රවටනවා.
එදා ගමේ කමතෙ වෙල් එළියේ ගැමියන් විසින් පවත්වපු අවුරුදු උත්සවය නවීන සිරියක් අරන් මේ තත්ත්වය අපේ සංස්කෘතියේ පරිහානිය කියල මම පැවසුවොත් ?
දැන් අවුරුදු කරන්නේ මාධ්‍ය තුළින් නේ. ඉස්සර මිනිස්සු තමන්ගේ අවුරුද්ද තමුන්ගේ සම්මාදමෙන් හැමෝගෙම එක්කාසුවෙන් සමගිසම්පන්න බව සංකේතවත් කරමින් පවත්වපු උත්සවයක්. අද ඒවා කෙරෙන්නේ නැහැ. දැන් එතැනට පනිනවා කොම්පැණියක්. ඒ අයගේ දේපල විකුණගන්න හරි දුම්කොළ විකුණගන්න හරි අරමුණු කරගෙන. වෙළෙඳ ව්‍යාපාරිකයකු වටේට දැන්වීම් ගහල මිනිස්සු ගෙන්න ගන්නව. මිනිස්සුන්ට ගොක් අතු දෙනවට පුවක් ගස් දෙනවට පොල් අතු දෙනවට ඔය සේරම සල්ලි ගෙවනව. එතකොට වෙළෙඳ ව්‍යාපාරිකයෝ තමයි අවුරුද්ද පවත්වන්නේ. එයාලගේ ප්රචාරක කටයුත්ත තමයි සිද්ධ වෙන්නේ.
එතකොට අද තියෙන්නෙ වෙළෙඳුන්ගේ අවුරුද්දක්ද ?
මිනිස්සු කිසිම හැඟීමකින් නැතිවී යන නිසා මොනව හරි කරල යනවා. මිනිස්සු බොරුත් කරනවා. ඇත්තත් කරනවා. අලි රේස් දුවයි, තිරික්කල් යයි, කඹ අදියි, ලිස්සන ගහේ යයි මේ සේරම අලුතෙන් ආව දේවල් නේ. ඉස්සර කාලේ රබන් ගහල කවි කියලා විනෝද වෙනවා. අද මට කියන්න කොහෙන් හරි ගමකින් රබන් හඬක් ඇහෙනවද?. මාධ්‍යවලින් නැතිව කිසිම ගමක රබානක් ගහන්නෙ නැහැ. ඉස්සර මුළු රටේම රබන් හඬ ඇහෙනව දැන් රබනුත් නැහැ රබන් ගහන්න දන්න අයක් නැහැ. ඒ සේරම කටයුතු මාධ්‍ය මගින් තමයි කරන්නේ.
එදා අවුරුද්ද හා අද අවුරුද්ද අතර වෙනස ඔබ දකින්නෙ මොන විදිහටද?
එදා තිබුණෙ සශ්රීකත්වයත් එක්ක මිනිසුන් අතර පහළ වුණ යහපත් හැඟීම සමගි සම්පන්නව බෙදාගත්ත අවුරුද්දක් මිසක් එකිනෙකාගෙ දේවල් විකුණගෙන එළිවෙනතුරු බජව් දාලා කෑ කොස්සන් ගහල ලබන ප්‍රීතියක් නෙවෙයි.
මෙම පරිහානිය හමුවේ ඔබගේ භූමිකාව කුමක්ද?
ඒ සියල්ල දිහා උපේක්ෂාවෙන් බලා ඉන්නව හැර මට කරන්න දෙයක් නැහැ. සංස්කෘතියක් තනිවම වෙනස් කරනව කියන එක තනි පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ මම මේ දේවල් වැරදි කියන්න යන්නෙත් නැහැ අනුමත කරන්න යන්නෙත් නැහැ
ඔබගේ අවුරුද්ද ගෙවෙන්නෙ කොහොමද?
අලුත් අවුරුද්ද කියන්නෙ මට මහ පුදුම දෙයක් නේ. මොකක් හරි විද්‍යුත් නාලිකාවකින් අවුරුද්දට මාව අරගෙන යනවා. මමත් ඉතින් බොරුවට නැකතට කියලා ඔවුන් එක්ක ඒ බොරුවටම සහභාගි වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් මට මුදල් ගෙවනවා. මගේ ගෙදර ඉන්නෙ බිරිඳ විතරයි. අපේ දරුවන්ට අම්මා ගැන බලන්න කියල මම මාධ්‍ය මගින් කරන අවුරුදු උත්සවවලට යනවා. එහෙම නොගියොත් මාව කැපෙනවා. අවුරුද්දට චැනල්වලින් පත්තරවලින් මාව පාවිච්චි කරල හම ගහලා විකුණගෙන කාල ඊළඟ අවුරුද්ද වෙනතුරු සද්ද නැතිව ඉන්නවා.
ධම්මිකා සුරංජි පතිරණ