මේ දිනවල දේශපාලන වේදිකාවේ දැඩි ලෙස විවේචනාත්මක චරිතයක් ලෙසට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ය. ඒ ඇය රටවල් දෙකක පුරවැසිභාවය හිමිකාරිණියක වීමය. එම තර්කය අලලා ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි විය යුතුය යන කාරණය ඛෙහෙවින්ම කතාබහට ලක් වෙද්දී අපි ඇයව පවතින දේශපාලන කරළියේ කියන කතාවල ඇත්ත නැත්ත අසා දැනගන්නට මෙලෙස සම්බන්ධ කර ගත්තෙමු.
මොකක්ද මේ රටවල් දෙකක ද්විත්ව පුරවැසියෙක් යැයි කියන කතාව
මම ඔය කියන කතාව සහ ඔය චෝදනාව එකහෙළා ප්‍රතිෙකෂ්ප කරනවා. මාධ්‍යවලටත් වෙන දෙයක් නැහැ. මේක විතරයි කතා කරන්න තිබුණෙ. මම ජනතා වරමකින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ. එවන් දෙයක් මේ විදිහට අභියෝගයට ලක් කිරීම හරිම අසාධාරණයි.
ඒ කියන්නෙ... ඔබට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයක් නැද්ද?
මම ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණයි. මේක පදනම් විරහිතව දාපු නඩුවක්. මම දේශපාලනයට තියෙන ආදරය නිසා එදා ස්විස්ටර්ලන්යේ පුරවැසිභාවය නැති කර ගත්තේ කෝටි ගානක දේපල එක්ක. මම එදා තානාපති කාර්යාලයට වෙලා හරියට ඇඩුවා. මගේ විවාහය දෙදෙරා යන්නත් හේතුව මේක. පාර්ලිමේන්තුවෙ තවත් ඉන්නවා වෙනත් රටවල පුරවැසිභාවයන් ඇති අය. ඒ අයට පන්න පන්න ගහන්නෙ නැහැ.
කවුද මේ ගීතා කුමාරසිංහ මන්තී‍්‍රවරියට පන්න පන්නා ගහන අය?
ජනතාව ප්‍රතිෙකෂ්ප කරලා, පරාද වෙලා ඇමතිකම් ගත්ත අය අද ඉන්නවා. එහෙම පරාද වුණ අය ජනතාවගෙ ඡන්දයෙන් දිනලා ආපු අයට නඩු දානවා. ඒ වුණාට මහ ලොකුවට කියන්නෙ, ශ්‍රී ලංකාවෙ කාන්තා දේශපාලනය නියෝජනය සියයට විසිපහකින් ඉහළ නංවනවා කියලා. නග්ගන එක කොහොම වුණත් අද කරන්නෙ ඉන්න අයවත් බස්සන එක. ජනතාව මේවාට සාධාරණ විසඳුමක් දෙයි.
එතකොට ඔබත් අද බැස්මකට ලක් වෙලා ද?
මට ඇඟ් තියෙන ශක්තියට වඩා හිතේ තියෙන ශක්තිය වැඩියි. මම මෙතනට ආවෙ ජනතාවට මගේ ප්‍රදේශයට සේවයක් කරලා. අද දේශපාලනයට එන්නේ පවුලෙන්, වෙනත් ක්‍රමත් ඇති. මම නම් ආවෙ ඔය එක ක්රමයකින්වත් නෙමෙයි. ගමේ දූවිල්ලෙන් නැගිට්ට ගැහැනියක් මම. මම මෙරට වගේම ජාත්‍යන්තරයෙන් සම්මානවලට ලක් වූ කලාකාරිණියක්.
ඔබේ කලා ජීවිතය විශිෂ්ටයි. ඒකෙ විවාදයක් නැහැ. නමුත් අපි අද මේ කතා කරන්නෙ ගීතා කුමාරසිංහ කියන මන්ත්‍රීවරිය ගැන.
ඔව්. මම දේශපාලනයෙත් එහෙමයි. ගැහැනියකට ගහන්න පුළුවන් හැම මඩක්ම අද දේශපාලනයේ දි ගහනවා. ඒ මදිවාට දාමරිකයො එවනවා. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ හොරු, මිනීමරුවො, දාමරිකයො පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා.
දාමරිකයන්ට ගීතා අක්කා භයයි ද?
මම එදත් අදත් හෙටත් එල්ල වන අභියෝගවලට කැමතියි. දෙන දේ කාලා කටවහන් හිටියානම් මේවා වෙන්නෙ නැහැ. මාව කවදාවත් නිහකරන්න බැහැ.
කාන්තාවන් ගැන කතා කරන ඔබලා, කාන්තා දිනය දා කාන්තාවන් වෙනුවෙන් එක වචනයක්වත් කතා කළේ නැහැනෙ.
කතා කරන්නෙ කොහේද? එදා දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඇති වූ සිදුවීම එක්ක පාර්ලිමේන්තුව කල් තිබ්බා. අපි මෙරට කාන්තාවන්ගේ ප්රගමනය වෙනුවෙන් සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරන්න හිටියෙ. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවට පැමිණි දෙසීයක පමණ පොලිසිය අපි කෙරෙහි දැක්වූ හැසිරීමත් අන්තිමයි. මේ සියල්ල අපි හෙළා දකිනවා. අපි කතානායකට ගරු කරනවා. ඔහුත් කිසියම් බලපෑම් නිසා අසරණ වෙනවා ඇති.
ඔය කළ සැලසුම් ගැන කියන්න පුළුවන් ද?
මේවා කිව්ව ගමන් අනෙක් අය එයාලගෙ වගේ කොපි කරලා මට කලින් එළියට දානවා. අපේ මේ යෝජනා පාර්ලිමේන්තුව ඉදිරියේදී දැකගන්න පුළුවන්.
පළාත් පාලන මැතිවරණය කල් යන්නෙ ඇයි?
මෙයින් මේ රටේ ප්‍රශ්න වැඩිවෙන එක විතරයි වෙන්නෙ. මේ මැතිවරණ ප්‍රශ්න අවසන් වෙන්නෙ මෙරට ලේ වැගිරීමකින්. අපෙන් ගිය අයත් ඉන්නෙ හරිම අප්සෙට් එකෙන්. කොයි වෙලාවේ හරි බළලා මල්ලෙන් එළියට පනීවි.
ගෙවී ගිය වසර දෙකහමාරක කාලය ඔබ කොහොමද දකින්නේ?
හරිම කණගාටුයි. මේ රජයට කිසිම වැඩක් කර ගන්න බැරි වුණා. අපි අවසන් කරලා තිබුණ වැඩ එයාලා නම දාගෙන විවෘත කළා. කෙළෙහිගුණයක් තිබුණෙ නැහැ... අඩුම තරමේ අපිට ඒවාට එන්න කියන්නවත්. රජයක වගකීම සැම ජනතා නියෝජිතයකුටම ජනතාවට යුතුකම් වගකීම් ඉෂ්ඨ කිරීමට ඉඩ සලසා දීම.
ඒකාබද්ධ විපකෂයට යහපාලන රජයෙ හොඳක් පේන්නෙම නැද්ද?
පේනවා... ඒක තමයි පට්ටපල් බොරු කියලා මේ රටේ ජනතාව රවට්ටපු එක. යහපාලන රජය තුළත් 'දවල් මිගෙල් රෑ දනියෙල්' ලා ඉන්නවා. ඒ නිසා ජනතාව දැනුවත් වෙලා ප්‍රතිපත්ති දිහා බලලා ජනතාවගේ මනාප ලබා දෙන්න කියලා මම ඉල්ලනවා.
සියලූ කතා එක්ක පේන්නෙ ඔබ නිකං කලකිරුණු ස්වභාවයක්.
නැහැ. මම දුක සැප, හොඳ නරක ඕනෑම දෙයක් එක්ක ගැටෙනවා. නිකං ඉඳලා මැරිලා යන්න මම කැමති නැහැ. මම කිසිම දේකට සැලෙන, කලකිරෙන ගැහැනියක් නෙමෙයි.
(සංවාදය- අශන්ති වරුණසුරිය)
'හෙළබිම' - එක්සත් රාජධානියේ ජාතික සිංහල පුවත්පත)