සම්මානනීය ගායක සමන් ලෙනින් ගායනා කරන දළදා පෙරහර අළලා ඇතුන් ගැන ලියූ 'නැකතට වෙඩි හඬ ඇසුණා පුතුනේ' ගීතයද, දයාන් විතාරණ ගායනා කරන 'නොරිකො සං ආයෙ එන්න' ගීතය මෙන්ම අදටත් සයිබර් අවකාශයේ බොහෝ දෙනෙක් අසන කවීෂා සාරංගි ගායනා කරන 'පෙම්බර නුඹ ඇවිදින්' ගීතය රචනා කළ දිනිති දීපිකා,පසුගියදා ඇය විසින් වසර 10ක් පුරා පද රචනා වලින් තෝරාගත් නිර්මාණ එක්කර 'කවි හාමිනේ' නමින් ගේය කාව්‍ය සංග්‍රහයක් එළිදැක්වූවාය. මෙය ඇයත් සමඟ සිදුකළ සංවාද සටහනකි.
Q ඇයි මේ වගේ ගේය කාව්‍ය සංග්‍රහයක් ලියන්න හිතුණේ ?
මම දැන් ගීත කරන්න ඇවිත් අවුරුදු 10 ක් වෙනවා. 2011දි තමයි මම මගේ පළමු සංයුක්ත තැටිය ගුවන් විදුලි සංස්ථාවේ එළිදැක්වූයේ.ඒ නිසා අවුරුදු 10 ක් තිස්සේ ලියූ ගීත අතරින් හොඳම පද රචනා ටිකක් එක්ක මේ පොත නිකුත් කළා. පොතක් කරන්න හිතුණෙ වසර දහයක ගීත එකතුවට යම් වටිනාකමක් දෙන්න ඕනි නිසයි. අනික පොතක් විදිහට මුද්‍රණය කිරීම තුළින් ඒ පද රචනා සුරක්ෂිත වෙනවා.
Q ඒත් ගේය කාව්‍ය සංග්‍රහයකට කාව්‍ය සංග්‍රහයක් තරම් ඉල්ලුමක් අද සමාජයේ නැහැ නේද ?
සමස්තයක් වශයෙන් ගත්තොත් කවි පොතකටවත් අද ඉල්ලුමක් නැහැ. ආධුනිකයන්ගේ කවි පොතක් 50%ක වට්ටමකටවත් වත්මන් පොත් සාප්පුවලට දාන්න බැහැ. ඒක මමත් අත්වින්ද අත්දැකීමක්. දැන හැඳුනුම්කමක් හදාගත්තත් සාප්පුවලට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ පොත් දහයක් වගේ ප්‍රමාණයක්. මොකද ඒ අය ආධුනිකයෙකුගෙ පොතක් ලේසියෙන් ගන්නෙ නැහැ.
සම්මානලාභී සහ මොන යම් ආකාරයකින් හෝ සමාජය අතරේ කතාබහට ලක්වූ අයගේ කවි පොත්වලට නම් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒවා දෙවැනි, තුන්වැනි මුද්‍රණය පවා සිදු වෙනවා. කවි පොතක් එහෙම වාර කීපයක් මුද්‍රණය වෙනවා කියන්නේ ඉතා හොඳ ප්‍රවණතාවක්. ඒත් ඒ මා කිව් කවියන්ගේ තරමට හෝ ඊට වඩා උසස් ලෙස නිර්මාණකරණයේ යෙදෙන ආධුනික කවීන්ගේ පොත් 25ක්වත් පොත් සාප්පු බාරගන්නේ නැහැ.
එවැනි පසුබිමක තමයි ඔබ මගෙන් ප්‍රශ්න කරන්නේ ගීත පොත්වලට තිබෙන ඉල්ලුම ගැන. අනික මම දන්නා තරමින් මහගම සේකර, මඩවල එස්.රත්නායක, ඩෝල්ටන් අල්විස්, ධර්මසිරි ගමගේවගේ අය ඇතුළු බොහෝ කවීන් කාව්‍ය සංග්‍රහ ලියා පළ කළා මිසක ගේය කාව්‍ය සංග්‍රහ එළිදැක්වූයේ නැහැ.
පසුව තමයි ඒ අයගේ ගී නිර්මාණ පොත් ඇතුළට ගත්තේ. මම හිතන්නේ මේ නිසා රසිකයන්ට ඒවා ආගන්තුක වෙන්න පුළුවන්. කොහොම වෙතත් මේ වසරේ පළමු කාර්තුව වෙද්දි මම දන්න විදිහට මගේ පොත ඇතුළුව ගේය පද රචනා පොත් තුනක් එළිදැක්වුණා. එය ඊට වැඩි මිස අඩුවුණේ නැහැ.
Q වර්තමාන ගීතයේදී සාහිත්‍යමය පැතිකඩ ගැන වැඩි අවධානයක් යොමුවෙන්නේ නැහැ නේද ?
ඔව්. අපේ නූතන ආධුනික කවි කිවිඳියන්ගේ සාහිත්යපරිශීලනය අද ඉතා අවමයි. වඩා සාර්ථක නිර්මාණ කළ හැක්කේ එවන් සාහිත්‍ය දැනුමක් තිබුණොත් පමණයි. ඒත් කවියක අපූර්වත්වය, ඖචිත්‍යය, ව්යංගාර්ථයවැනි කරුණු යෙදී ඇති ආකාරය අධ්‍යයනය කිරීමට සාහිත්‍ය දැනුම විශාල පිටුවහලක් වෙනවා. ඒ නිසා අපි නිරතුරුවම සාහිත්‍ය දැනුම අලුත් කරගන්න ඕනි. මොකද නැවත නැවත භාවිත කරමින් සිටිද්දි තමයි අපට නිර්මාණයක් කරද්දි ඒ ලැබෙන පිටුබලයත් වැදගත් වෙන්නේ.
Q ගීතයකට රූප රචනාවක් අවශ්‍යමද ?
යමෙකු විශාල මුදලක් වියදම් කර ගීතයක් නිර්මාණ කරන්නේ තමන්ට පමණක් ගෙදර ඉඳන් ශ්‍රවණය කරන්න නෙවෙයි. එය ජනගත කරන්න ඕනේ. ඒත් එතැනදි මුද්‍රිත මාධ්‍යයෙන් ලැබෙන පිටුබලය නම් ඉතාමත් අල්පයි. සමහර මුද්‍රිත මාධ්‍ය යම් යම් ගීත ගැන කතිකාවන් ඇතිකරනවා. ඒක නිර්මාණකරුවෙකුට ලොකු ශක්තියක්.
විද්‍යුත් මාධ්‍ය සහ අනෙකුත් සමාජ ජාල තමයි ඒ නිසා මෙහි වැඩි කාර්යභාරයක් ඉටුකරන්නේ. එයිනුත් වහ වහා රසික හදවත් ආකර්ෂණය කරගැනීමේ ප්‍රබල මාධ්‍යයක් වෙන්නේ රූපවාහිනිය. ඒත් කිසිම රූපවාහිනී නාළිකාවක්, කොතරම් උසස් ගණයේ ගීතයක් වුණත්රූප රචනයක් නොමැතිව බාරගන්නේ නැහැ. කොතරම් මුදලක් දුන්නත් රූප රචනයක් නැත්නම් බාරගන්නේ නැහැ.
ඒ නිසා එය අද කාලීන අවශ්‍යතාවක් වී හමාරයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයට අපට අද අනුගත වීමට සිදුවෙලා තියෙනවා. හැබැයි මගේ ගීත 35 ක් පමණ මේ වෙද්දි පටිගත වෙලා තියෙනවා. ඒ කිසිම එකකට මම රූප රචනා කරලා නැහැ. ඒ නිර්මාණ සමාජගතවීම ඉතාමත්ම අල්ප තත්ත්වයක තියෙන්නෙ ඒ නිසාම වෙන්නත් ඇති. ඒත් රූපරචනය නිසා ගීතයට සිදුවන හානිය, රසිකයාගේ රසවින්දනයට සිදුවන බාධා වෙනම සාකච්ඡා කළ යුතු දේවල්.
Q වර්තමානයේදී සාහිත්‍යමය වශයෙන් වැදගත් ගීත නිකුත් නොවෙන නිසාද විශිෂ්ට ගායක ගායිකාවන් බිහි නොවෙන්නේ ?
මොකක්ද ඔය ඔබ කියන විශිෂ්ට ගායක ගායිකාවන් කියන එකේ නිර්ණායකය. හැමදාමත් සුනිල් ශාන්ත, අමරදේව, සිසිර සේනාරත්න, සනත් නන්දසිරි, වික්ටර් රත්නායක වගේම රුක්මණී, සුජාතා, ඇන්ජලින්, නන්දා මාලිනිලා වගේ ගායක ගායකාවන් බිහිවෙන්න ඕන කියන එකද? හැම කාලයකදීම අඩු වැඩි වශයෙන් විශිෂ්ට ගායක ගායිකාවන් බිහිවෙනවා.
ඒ සඳහා සාහිත්‍යමය වශයෙන් වැදගත් ගීත නිකුත් වෙන්න ඕනෑ කියල මම කියන්නේ නැහැ. ඔතැන සාහිත්‍යමය වශයෙන් යන්න අදාළ වෙන්න ඕනි ගී පදමාලාවට පමණයි කියලයි මම නම් කියන්නෙ.
Q එතකොට තනුව, සංගීතය සහගායනය?
කොතරම් සාහිත්‍යමය වශයෙන් ගේය පදයේ සුභාවිත බවක් තිබුණත්, තනුව, සංගීතය සහ ගායනය ප්රශස්ත මට්ටමක නැත්නම් විශිෂ්ට ගායක ගායිකාවන් බිහි වෙන්නේ නැහැ. මම නම් කියන්නේ විශිෂ්ට ගායක ගායිකාවන් බිහිවීමට රියලිටි වැඩසටහන්වල ගීත ගැයීමෙන් ලබන ජනප්‍රියතාව කිසිසේත්ම ඉවහල් වෙන්නේ නැහැ කියලයි.
ඔවුන් ගායනය පමණක් නොවෙයි සංගීතයත් හැදෑරිය යුතුයි. ඉතින් විශිෂ්ට කාලයක් ඉන්න ගායකයෙකු, ගායිකාවක වෙන්න නම් ඔවුන් සංගීතය හොඳින් හැදෑරිය යුතුයි. ඒ වගේම තමන් ගායනා කරන ගීතයේ රසය උකහාගන්න යම් තරමකට හෝ හැකියාවක් තියෙනවා නම් ඒ ගීතය ගයද්දි ඔහුට හෝ ඇයටත් විඳිමින්, අනුන්ටත් වින්දනය කරන්න හොඳ අවකාශයක් හදල දෙන්න පුළුවන්.