නලීන් පෙරේරා ඒකපුද්ගල ගායකයෙකුට වඩා ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙසයි. මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගමනත් සමග කාර්යබහුල වී සිටින ඔහු වසර 12කට පසු තමන්ගේම ගීතයක් එළිදක්වනු ලැබීය. 'දිගු දෙනෙතේ' නම් ඒ ගීතය පිළිබඳව සහ මේරියන්ස් සංගීත කණ්ඩායමේ වසර 30 සපිරීම පිළිබඳව කතාබහ කිරීමට ඔහු අපත් සමග මෙලෙස එක්විය.
Q ඔබේ Official Video එකක් දකින්න ලැබෙන්නේ කාලයකට පස්සේ. ඒ ගැන ටිකක් කතා කරමු.
මගේ Solo Video එකක් කළා 2004 දී. ඒ 'සඳළුතලය' කියලා. දැනට අවුරුදු 12ක් විතර වෙනවා. ඊට පස්සේ එහෙම ඒවා කෙරුණෙ නැහැ. එහි පදරචනය ශෙහාන් ගලහිටියාවගෙ. Studio U තමයි වීඩියෝ එක කළේ.
Q ගීතයක් නිර්මාණයට මෙපමණ කාලයක් යන්නේ ඇයි?
සිංදු නම් කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඒවා එළිදක්වන්න වුණේ නැහැ. හේතුව වෙනදා වගේ දිගටම වැඩ කෙරෙන නිසා. කාර්යබහුලත්වය තමයි ගොඩක්ම ප්රශ්නය. මහන්සිවෙලා ගියාම ස්ටූඩියෝ එකට ගිහින් වොයිස් කරන්න අමාරුයි. සමහර වෙලාවට විවේකයක් අරන් සිංදුවක් කරනවා කියල හිතුවත් එහෙම විවේකයක් ලැබෙන වෙලාවක් නැහැ.
හැදිල තියෙන සිංදු කිහිපයක් තියෙනවා. සංගීත කණ්ඩායමේ ගීත කිහිපයකුත් තියෙනවා. ඒවා දැන් අපි එක එක එළියට ගන්නවා. මොකද ලබන අවුරුද්දට කොන්සට් එකකට සූදානම් වෙන්න තියෙන නිසා. බෑන්ඩ් එකේ ලස්සන සිංදුවක් හෙට අනිද්දට වීඩියෝ එකක් එක්කම එළියට එනවා.
Q අද නිර්මාණය වන ගීත රැල්ලත් එක්ක, මේරියන්ස් සංගීත කණ්ඩායමෙන් බිහිවෙන ගීත හාත්පසින්ම වෙනස් නිර්මාණ. ඒ නිර්මාණ නවකයන්ට අභියෝගයක් නේද?
අපි හැමදාම උත්සාහ කරන්නේ රසිකයන්ට යම්කිසි රසයක් දෙන්න. අපේ හදවතේ යම්කිසි දෙයක් තියෙනවා. එයින් පිට යන්න බැහැ අපිට. අපි එතන ඉඳගෙන අපේ වැඩේ කරනවා. එය පිළිගන්නවාද නැද්ද කියන එක රසිකයන් තීරණය කරයි. නමුත් එකම ගැටලුවකට තියෙන්නේ වර්තමානයේ මාධ්‍ය සංස්කෘතිය හරි වෙනස් මානසිකත්වයක වැඩ කරන්නේ. නමුත් ගීත එළිදක්වනකොට ආර්ථිකමය රැල්ලට හසුවෙච්ච ගීත ගොඩක් තියෙනවා.
අද ගොඩක් ගීත ඇහෙනවා නෙවෙයි අස්සවනවානේ. ඒ සංස්කෘතියත් එක්ක මොනතරම් හොඳ නිර්මාණ තිබුණත් ඒවා උඩට එන්නෙ නැති අවස්ථාවන් තියෙනවා. මම එච්චර ඒ පිළිබඳව පසුතැවීමක් නැහැ. මගේ ගමන ඉබි ගමනක් වගේ වුණාට ආදීනව බලද්දී ඒක පවතින දෙයක් වෙනවා කියල මගේ අත්දැකීම තුළ මම දන්නවා. ඒ නිසා කරන නිර්මාණය අපි හරියට කළොත් අපි නැති කාලයක හරි ඒවා ක්ෂේත්රය තුළ තියේවි.
Q අද නිර්මාණය වන ගීත හා ඒ හා සම්බන්ධ වීඩියෝවේ ගැළපීමක් නැහැ නේද? මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
වීඩියෝ එකක් කළාම වීව්ස් ලක්ෂ ගාණක් ගන්න ඕන නිසා වීඩියෝ එකෙන් වෙනත් ක්‍රියාදාමයක් ප්‍රසිද්ධ කරනවා. එහි අර්ථය එකක්, පෙන්නන්නේ තව එකක්. එහිදී පැහැදිලිවම රසිකයාගේ මනස අරගෙන යන්නේ ගීතයේ රසයට අදාළව නෙවෙයි, එහි නිෂ්පාදකවරයාගේ උවමනාවට අනුව. මම හිතන්නේ නැහැ ඒක හොඳ වැඩක් කියලා.
රසිකයාට මනස පාවිච්චි කරලා හිතන්න පරිසරයක් ගොඩනගලා නැහැ. පද රචනාව එකක් තියෙද්දී පෙන්වන්නේ තව එකක් වෙනකොට බොහෝවිට මුළු සමාජයම ලොල් වෙච්ච බොහෝම දුප්පත් පින්තූර රාමු අද පෙනෙන වීඩියෝවල අපි දකිනවා. එහිදී අර්ථය හා රූප රාමුව වෙනස් කියන දේ අමුතුවෙන් කිවයුතු නැහැ. එහි යටි අරමුණ ගීතයට කලාත්මක සාධාරණයක් ඉටුකිරීම නෙවෙයි. Facebook එකේ දැම්මොත් Likes ගොඩක් සහ YouTube එකට දැම්මොත් Views ගොඩක් තියෙන්න ඕන කියන එක ගැනනේ ඔළුවෙ තියෙන්නේ.
ඒ වගේම සමහර ගීත කිසිම කතන්දරයක් නැතිව Audio එක විතරක් තිබුණත් ලක්ෂ ගණන් Views තියෙනවා. ඒ නියම රසයට හැදිච්ච හොඳ ගීත. හැබැයි බහුතරයක් එහෙම නැහැ. ඒක සමාජයේ මිනිස්සු මාර්කට් කරන විදිහ. මාර්කට් කියන දේ ගැන ආගම්වල පවා කතාකරන යුගයක් වෙලානේ දැන් තියෙන්නේ.
හැමදේම මාර්කටින් කියන කැටගරි එක උඩ තියාගෙන තමයි කතා කරන්නේ. ඒවා ඒ පැත්තකට කරකවලා තමන්ට වාසිදායක ලෙස හදාගත්තාම ඉතින් ඒක ඒ මනාපෙටම යනවා. ඒක වළක්වන්න බැහැ. ඉස්සර නම් දෙවිවරු කියපු දේ හරි කියලනේ පිළිගත්තේ. වර්තමානයේ ඒක නැහැ. මනුෂ්‍යයා විසින් කියන කරන දේ හරියි කියලා පෙන්වන්න උත්සාහ කරන සමාජ ක්‍රමයක් තමයි අද තියෙන්නේ.
Q අද ගීතවල ජනප්‍රියත්වය තීරණය වෙන්නේ සමාජ ජාල වලින් ලැබෙන Views ප්‍රමාණය මතද?
ඒක අපිට 100%ක්ම විශ්වාස කරන්න බැහැ. සමාජ ජාල හරහා නම් ඒක මනින්න බැහැ. ජනප්‍රියයි කියන්නේ ජනයාට ප්‍රිය වෙන්න ඕන කියන දේනෙ. අපේ ගීත නම් මාර හිට් වෙච්ච ගීත නෙවෙයි. නමුත් පාරට බැස්සාම ඕන මනුස්සයෙක් හැරිලා බලලා කතා කරලා යන්නේ. ඒ මිනිසුන්ගේ හදවතේ අපි ප්‍රිය චරිතයක් නිසා වෙන්න ඇති. හැබැයි ඔය කියන මාර හිට් වෙච්ච සිංදු කියන අයත් පාරේ යනවා මම දැකලා තියෙනවා, සමහර අය දන්නෙත් නැහැ.
ඉතිං ඒ සිද්ධි එහෙම වෙන්නේ ඇයි කියන එක මම දන්නෙ නැහැ. ජනප්‍රියතාවය වැඩි වෙන්න Views ප්‍රමාණය වැඩි වීමෙන් සහ Likes ප්‍රමාණය වැඩි වීමෙන්ද කියන එක ගැටලුවක්. ලංකාව තුළ ඒක මොන විදියටද බලපාන්නේ කියන එක මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි ඉතිං ගීත විකිණෙන මාධ්‍යයන් කීපයක් තියෙනවානේ. Ringing Tone, YouTube වලින් Income එක වගේ ගොඩක් දේවල් තියෙනවා.
සමහර අයගේ අරමුණ තමුන් ජනප්‍රිය වෙනවට වඩා ගීතයෙන් වැඩේ වෙනවා නම් එච්චරයි කියන එකයි. තමුන් ජනප්‍රිය නොවුණත් සිංදුව ජනප්‍රියයි, ගීතයෙන් යම්කිසි ගතමනාවකුත් ලැබෙනවා නම් මිනිහා එතනින් ගොඩ යනවා. අන්න ඒ වගේ තැන්වල ඉන්න අයත් ඉන්නවා. මම ප්‍රසංගවලදී දකිනවා සමහර නවකයන්ගේ ගීත මිනිස්සු ගායනා කරනවා. නමුත් චරිතයක් වශයෙන් එළියෙදි දන්නෙ නැහැ කවුද ඒ කියන කෙනා කියලා. අන්න ඒ වගේ එකක් එතන තියෙන්නේ.
අපි අවුරුදු ගාණක් ක්ෂේත්රයේ ඉන්න නිසා අපිට දැනෙන දේ සහ නව පරපුරේ අයට දැනෙන දේ වෙනස්. සාමාන්‍යයෙන් වැඩිපුර Views එන ගීත අපි YouTube බලනකොට දැක්කේ මෑතකාලීනව ආව රැල්ලේ එක එක කොටස්වලට ආව ගීතම තමයි කියලා. ඒ අතරින් වෙනස් මාදිලියේ ගීතයක් දෙකක් ඇහුණේ සනුකගේ ගීතවලින්. එහි සංගීත රසය, වචන වගේ ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. මෑතකාලීනව ආපු රැල්ලේ සම්ප්‍රදායෙන් ටිකක් බැහැර වෙච්ච හඬක් සමග සංගීත නිර්මාණ පැත්තෙන් ටිකක් ඉහළ නිර්මාණ ටිකක් තියෙනවා.