''හාස්‍ය චිත්‍රපට, දේශපාලන චිත්‍රපට,වැඩිහිටි චිත්‍රපට, ළමා චිත්‍රපට සහ තාරුණ්‍යයේ චිත්‍රපට කියන සෑම වර්ගයකම චිත්‍රපට කරපු මට අවශ්‍ය වුණා, අප දන්නා නව නළු රසයේ රස හතරක් වන බීභත්ස්‍ය (පිළිකුල්), රෞද්‍ර, භයානක සහ අද්භූත යන රස ඇතුළත්වන චිත්‍රපටයක් කරන්න. මේ අරමුණ සෑහෙන කාලයක පටන් මා සිතේ පැවතුණා.
මීට වසර හයකට පමණ පෙර මෙවැනි චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙන බවත්, හොඳකතාවක් අවශ්‍ය බවත් පුවත්පතකට මම ප්‍රකාශ කළා. ඒ ඔස්සේ තමයි ඉන්දික රත්නායකගේ මෙම 'බන්ධනය' කතාව මට ලැබුණේ. එම කතා සංකල්පය අරගෙන මම අහල තියෙන සිද්ධීන් එකතු කරල චිත්‍රපටයකට උචිත අන්දමට මම තිරරචනයක් සකස් කළා. එම තිරනාටකයෙන් හදපු චිත්‍රපටය තමයි දැන් ප්‍රදර්ශනය වන මගේ 'බන්ධනය' චිත්‍රපටය''මේ සංවාදය ප්‍රකට සහ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සමගයි. සිංහල සිනමාවේ දීර්ඝ අත්දැකීම් ඇති ප්‍රබල අධ්‍යක්ෂවරයෙකු වන ඔහු දැන් තිරගතවන බන්ධනය චිත්‍රපටයේද අධ්‍යක්ෂවරයාය. අප ඇසූ ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරු මෙසේය.
Q චිත්‍රපට අධ්යක්ෂවරයෙක් ලෙස ඔබ මෙතෙක් පැමිණි ගමන් මග පිළිබඳව තෘප්තිමත්ද?
ඔව්. මගේ පළමු චිත්‍රපටය 'මහමෙර උසට' (1997) වාණිජ සහ විනෝදාත්මක චිත්‍රපටයක්. ඊට පස්සේ කළ 'ගිනි අවි සහ ගිනි කෙළි' (1998) තුළින් මට ක්ෂේත්රය තුළ නමක් ඇතිකර ගන්න පුළුවන් වුණා. ඒක කලාත්මක මෙන්ම වාණිජ චිත්‍රපටයක් ලෙසයි මම දකින්නේ. යම් චෝදනා ආවත් මගේ 'බහුභාර්යා' (1999) චිත්‍රපටය අතිසාර්ථක වුණා.
ඒක කාන්තා සිරුර විකුණන්න කරපු බාල චිත්‍රපටයක් නොවන බවත්, එහි ගුණාත්මක අගයක් ඇති බවත් චිත්‍රපටය නැරඹූබහුතරය පිළිගත්තා. 'රාජ්‍ය සේවය පිණිසයි' චිත්‍රපටයට 2000 ජනාධිපති සම්මාන උලෙළේදී සම්මාන දහයක් ලැබුණා.
Q ඊට පස්සේ ඔබ 'රෝස වසන්තේ' (2001), 'හිරිපොද වැස්ස'( 2006),'ආසයි මං පියාඹන්න' (2007)චිත්‍රපට තුළින් ඉන්දීය වානිජ සිනමා ශෛලියට යොමු වුණානේද?
මම ක්‍රියාත්මක කරන්නේ අදාළ කාලයේදී මගේ හිතට එන අදහසයි. චිත්‍රපටයක් කරනවා කියන්නේ ඉතා බැරෑරුම් දෙයක්. මේක ව්‍යාපාරික මැදිහත්වීමක් සහිත වෙළෙඳ කටයුත්තක්. අදාළ කාලයේ ඇතිතත්ත්වයන්ට අනුකූලවයි මම චිත්‍රපට හදන්නේ. නිවැරදි දැක්මකින් චිත්‍රපට හදපු නිසා ඒවා සාර්ථක වුණා.
Q එතකොට ඔබ 'කොස්තාපල් පුඤ්ඤසෝම' ( 2014), 'බහුභූතයෝ' (2002), 'ගින්දරී' (2015) වැනි හාස්යමවන චිත්‍රපට හැදුවේ එවකට පැවති තත්ත්වයන්ට අනුකූලවද?
එහෙම පවතින රැල්ලට මම චිත්‍රපට හදන්නේ නැහැ. මම විවිධ ශෛලියේ චිත්‍රපට හදන අධ්යක්ෂවරයෙක් ලෙස පවතින්න කැමතියි. හාස්‍ය චිත්‍රපට නිර්මාණයේදී අවදානම අඩුයි. හාස්‍යයට කැමති විශාල සිනමා ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ තුළ ඇති වාණිජ වටිනාකම වැඩියි.
Q බන්ධනයත් නිර්මාණය කළේ සිනමා ප්‍රේක්ෂකයා ගැන හිතලද?
සිනමාහලකට ප්‍රේක්ෂකයන් කැඳවාගෙන එන අන්දම අපි හිතේ තබාගත යුතුයි. සිනමා ශාලාවකට ගිහින් රසයක් වින්දනයක් ප්‍රේක්ෂකයාට ලැබෙන අන්දමට නිර්මාණය කරන එක තමයි මූලිකම දේ. සිනමා භාෂාව භාවිත කරලා ප්‍රේක්ෂකයාට දැනෙන නිර්මාණකරණයයි ලොකුම අභියෝගය. ප්‍රේක්ෂකයා ගෙවන මුදලේ වටිනාකමට යම් රසවින්දනයක් මගේ සිනමා නිර්මාණ වලින් ලැබෙන බවට විශ්වාසයක් මම ඇති කරලා තියෙනවා. මෙවර මම නිර්මාණය කරපු 'බන්ධනය' චිත්‍රපටයෙනුත් එම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමයි මගේ අරමුණ.
Q චිත්‍රපට නිර්මාණයේදී මේ වාණිජ අරමුණු සෑමවිටම ඔබ හිතේ තියාගෙනද කටයුතු කරන්නේ?
ඔව්, අනුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන්න බැහැනේ. චිත්‍රපටයක් හදන්න සල්ලි දීලා මේකෙන් ඕන අන්දමකට චිත්‍රපට හදන්න කියන බෝධිසත්ව ගුණ ඇති නිෂ්පාදකවරු නැහැනේ. මා වෙතට ආපු නිෂ්පාදකවරු වෙනත් අධ්‍යක්ෂවරයෙකු වෙනුවෙන් හෝ තව වතාවක් තම මුදල් යොදවා චිත්‍රපටයක් කරන්න පෙළඹෙන අන්දමටයි මම චිත්‍රපට හැදුවේ.
චිත්‍රපටයක් හදන්න මුලින්ම ක්ෂේත්රයට එන නිෂ්පාදකයා තවදුරටත් රඳවා ගතයුතු බව මම හැමවිටම සිහියේ තියා ගත්තා. හැබැයි එහෙම වුණාට මුදල් හම්බ කිරීම වෙනුවෙන් කියලා ඉතාම පහත් පෙළේ චිත්‍රපට මම කළේ නැහැ. මම තෝරාගත්ත තේමාවන් තුළ වාණිජ හැඩහුරුකම් තියෙනවා.
Q 'බන්ධනය' චිත්‍රපටයත් සමග ඔබ ජනප්‍රිය කළ ගීත ඇතුළත් සිනමාවෙන් දුරස් වුණා නේද?
බන්ධනය වගේ චිත්‍රපටයකට ගීත යොදා ගැනීම හානියක්. හැබැයි ප්‍රබල පසුබිම් සංගීතයක් 'බන්ධනය' වෙනුවෙන් මම යොදා ගත්තා. මම සංගීතය චිත්‍රපට වලට බලෙන් ඇතුළත් කරන්නේ නැහැ. මම සංගීතය යොදාගන්නේ කෘතියට අදාළවයි.
අවසාන වරට මා අධ්‍යක්ෂණය කළ 'වස්සානයේ සඳ' චිත්‍රපටයෙන් මම නැවතත් ගීත ඇතුළත් තාරුණ්‍යයේ සිනමාවක් රැගෙන එනවා. 'වස්සානේ සඳ' ප්රස්තුතය ගීත ඉල්ලනවා. 'බන්ධනය' ප්රස්තුතය ගීත ඉල්ලන්නේ නැහැ
Q ඓතිහාසික කතාවක් සිනමාවට නැගීමේ අරමුණ ඔබ අත්හැරලද?
නැහැ. හොඳ ඓතිහාසික කතාවක් සිනමාවට නැගීමට මේ මොහොතෙත් මම ආශාවෙන් ඉන්නවා. ඓතිහාසික කතාවක් මම තිරරචනය කරලයි තියෙන්නේ. ඓතිහාසික කතාවලට යන වියදම වැඩියි. රුපියල් ලක්ෂ 600ක් යොදවන්න නිෂ්පාදකවරයෙක් ලැබුණොත් මම අනෙක් සියලු නිර්මාණ ඇරයුම් පසෙකලා එම කටයුත්තට යොමු වෙන්න ඉතාමත්ම කැමැත්තෙන් සිටිනවා.
Q ඓතිහාසික කතාවලට එහෙම ඉල්ලුමක් තවමත් ලංකාවේ තියෙනවාද?
අනිවාර්යෙන්ම ඔව්. ඓතිහාසික කතාවලට අපේ රටේ තියෙන වෙළඳ වටිනාකම වැඩියි. සෑම ඓතිහාසික කතාවක්ම රුපියල් ලක්ෂ දහසකට (1000) වඩා ආදායම ලැබුවා. වියදම අවම කරගෙන මෙය කළ යුතුයි. එවැනි චිත්‍රපට නිර්මාණය සිනමා කර්මාන්තයට ලොකු තල්ලුවක්. දුටුගැමුණු රජතුමාගේ තිරනාටකයක් මම ලියල තියෙන්නේ. ජයන්ත චන්ද්‍රසිරි 'මහරජ ගැමුණු' චිත්‍රපටය කරපු නිසා මම එම අදහස තාවකාලිකව පස්සට දැම්මා. දුටුගැමුණූ චරිතය මගේ සිනමාවෙන් ඉදිරිපත් කිරීමේ අරමුණකත් මම ඉන්නවා.
බෞද්ධ කතා, ජාතක කතා,ඓතිහාසික කතාවලට හොඳ ප්‍රේක්ෂක පිරිසක් තවමත් ලංකාවේ ඉන්නවා. බය නැතුව පවුල් පිටින් ඇවිත් මෙවැනි චිත්‍රපට බලනවා. ලංකාවේ සිංහල චිත්‍රපට නරඹන වැඩි පිරිසක් බෞද්ධ. බෞද්ධ වැඩිහිටියොත් අපේ අතීතය දරු පරපුරට පෙන්වන්න, කියල දෙන්න ඉතා කැමතියි. අපේ චිත්‍රපට අතිසාර්ථක වෙන්නේ පවුලම ඇවිත් චිත්‍රපට බලන සම්ප්රදායක් ඇතිවුණොත් පමණයි.
Q ළමා චිත්‍රපට නිර්මාණකරණයෙනුත් දුරස් වුණාද?
නැහැ. මම දැනටත් ළමා චිත්‍රපට තිරනාටක දෙකක් ලියල තියෙනවා. මගේ 'රන් කෙවිට' එක හා දෙක ඉතා සාර්ථක වුණා. මේ ළමා චිත්‍රපටත් පවුලේ චිත්‍රපට වලට ඇතුළත් වෙනවා.
Q මෙවර ඔබ හැදූ 'බන්ධනය' නරඹන්න ළමයින්ට සුදුසුද?
බය වෙන දර්ශන තියෙන නිසා අවුරුදු දහයෙන් ඉහළ වයසේ ළමයි දෙමාපියන් එක්ක ඇවිත් චිත්‍රපට නැරඹුවාට කමක් නැහැ කියල තමයි මම හිතන්නේ. බන්ධනය පවුලේ සැමටම නරඹන්න පුළුවන්.
බය වෙන දර්ශන වලින් හිත චංචල වෙන දරුවන්ට බන්ධනය පෙන්වන්න එපා කියල මම ඉල්ලා සිටිනවා.
Q බන්ධනය කතාව පැහැදිලි කළොත්?
මේක ගැමි ජනතාව ඇසුරේ ප්‍රකට හදි හූනියම් බන්ධන ඇසුරෙන් ලියවුණු කතාවක්. මැණික්හාමි සහ ඩිංගිරාල ඥාති සොහොයුරන් දෙන්නෙක්. ඩිංගිරාල කියන්නේ මැණික්හාමිගේ බාප්පගේ පුතා. පියාගේ පාර්ශ්වයේ දේපළ බෙදා ගැනීමේ ගැටුමක් මේ දෙදෙනා අතර කාලයක සිට පවතිනවා. මැණික්හාමි වෙදකමත්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමත් දෙකම දන්නවා. මැණික්හාමි පිල්ලියක් යවලා ඩිංගිරාල මරා දමනවා . මෙතැන සිට යන්ත මන්ත්‍ර බන්ධන මැද කෙරෙන ගැටුමක් ඇතුළත් කතාවක් තමයි බන්ධනය චිත්‍රපටය විෂය වෙලා තියෙන්නේ.
Q ඔබගේ සිනමාවට, විශේෂයෙන්ම චරිතවලට නළු නිළියන් තේරීමේදී බාධා කිරීම්, ගැටලු අවමයි නේද?
මම නළු නිළියන් පිළිබඳව සිතමින් චිත්‍රපට කරන්නේ නැහැ. ප්‍රවීණ මෙන්ව නවීන පරපුරේ නළු නිළියන්ගේ සම්මිශ්‍රණයක් මගේ සෑම චිත්‍රපටයකම දකින්න ලැබෙනවා. ප්රවීණද, නවීනද යන කාරණය නොතකා සියලුම නළු නිළි කාර්මික පිරිසට මම ගෞරවය දක්වනවා. එමෙන්ම ක්ෂේත්රයෙත් මතකයක් තියෙනවා මම කරන සිනමාවෙන් හොඳ දෙයක් වෙනවා කියලා. චිත්‍රපටයට සම්බන්ධ වෙන සියලුදෙනාටම මෙම ගෞරව කරනකොට පෙරලා ඔවුනුත් මට ගෞරව දක්වනවා.ඒ ගැන මට සතුටුයි.
Q අද පවතින චිත්‍රපට ප්‍රදර්ශනය කරගැනීමේ අර්බුදය පිළිබඳ ඔබේ අදහස?
අද අපේ පැරණි පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට සිනමාශාලා මෙන්ම ප්‍රදර්ශක මණ්ඩලත් එකඟ නැහැ. ඔවුන්ගේ අදහස එම චිත්‍රපට තේමාවන් මෙන්ම නිර්මාණකරණයත් යල්පැන ගිය යාවත්කාලීන නොවූ ඒවා බවයි.
අද තරුණ පිරිසේ බහුතරයක් සිනමාව හදාරලා කලාත්මක චිත්‍රපට විශාල ප්‍රමාණයක් කරලා ප්‍රදර්ශනය කරගන්න බැරුව ළතවෙනවා. මේවායේ බහුතරයක් තම තමන්ගේ පෞද්ගලික මතවාද ගෙනහැර දැක්වීමට කරපු නිර්මාණයි. ඒවා ප්‍රේක්ෂකයා සිනමාහලට කැඳවාගෙන එන අලෙවි සාධක නැතිව හදපු චිත්‍රපට නිසා එවැනි චිත්‍රපටත් සිනමාශාලා සහ බෙදාහැරීමේ මණ්ඩල විසින් ප්‍රදර්ශනය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
දැනට ප්‍රදර්ශනය බලාගෙන චිත්‍රපට හැටක් පමණ හිරවෙලා තියෙනවා. ඒත් මේ ප්‍රදර්ශන රටාවේ ඇති වර්තමාන තත්ත්වය අනුව මේ චිත්‍රපට හැටෙන් විස්සකට ආසන්න ප්‍රමාණයකට පමණක් චිත්‍රපට ශාලාවල අවධානය ලැබේවි කියල තමයි මට දැනෙන්නේ.
සටහන – පද්මකුමා පී.මෙත්තසේන