යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි එළඹෙන 30 වැනිදාට යෙදෙන හයවැනි අන්තර්ජාතික ජෑස් දින සමරුව මෙවර සිදුකෙරෙන්නේ තලවතුගොඩ ACT 4 THEATRE CHANGEහිදීයි. නලින්ද ප්‍රේමරත්න සමග හර්ෂ මාකලන්ද සහ ක්‍රෝම් ප්රමුඛ පිරිස මෙහෙයවන මෙම කටයුත්තේදී අපූරු Jazz සංගීත සන්ධ්‍යාවක්ද එදින හර්ෂ මාකලන්ද සහක්රෝම් ප්රමුඛ වාද්‍ය වෘන්දය ඉදිරිපත් කිරීමට නියමිතය.
එම ප්රසංගයටහර්ෂ මාකලන්ද, ජනනාත් වරකාගොඩ,ශාලා අමරසූරිය,ගයිල්ස් ධර්මරත්න,කුමාර් මොල්ලිගොඩ,දීපා කුඩාහෙට්ටි,ෂෙහාන් පීරිස්,රේ පෙරේරා සහ මහාචාර්ය අජිත් අබේසේකර දායක වීමට නියමිතය.මේ ඒ පිළිබඳව හර්ෂ මාකලන්ද සමගින් කළ කතාබහක සටහනකි.
''මුලින්ම 1895දී ‘රෑග් ටයිම්’ විදිහට ආරම්භ වුණු ජෑස් සංගීතය ඉතා කෙටි කාලයකදි ලංකාවට පැමිණියා. ඒත් 1937දි අමෙරිකානු 'Teddy Weatherford' ජෑස් වාද්‍ය වෘන්දය ගෝල්ෆේස් හෝටලයට ඇවිත් එහි නැවතිලා වාදන කටයුතුවල යෙදුණු බවත් කියවෙනවා. කොහොම නමුත් ඉන්පස්සේ ලාංකීය ජෑස් සංගීත සම්ප්රදාය විවිධාකාරයෙන් ලාංකීය සංගීතයට ඇතුළත් වුණා'' හර්ෂ මාකලන්ද සිය හඬ අවදි කළේය.
Q මෙවර ලෝක ජෑස් දිනය නිමිත්තෙන් පවත්වනු ලබන වැඩසටහනේ සුවිශේෂත්වයක් තියෙනවා?
ඔව්.අපි මෙවර අධ්‍යාපනික මෙවලමක් වශයෙන් 'ජෑස්' පිළිබඳ කතිකාවතක් ආරම්භ කිරීමටයි උත්සාහ කරන්නේ.ඒ අනුව එදින උදෑසන නවයේ සිට රාත්‍රී නවය දක්වාම මේ වැඩසටහන ක්‍රියාත්මකයි.මොකද මේ සැමරුම ඒ මොහොතේදීම තවත් රටවල් 130කට අධික ප්‍රමාණයක් සමරනවා.ඒ නිසා එදින 'ජෑස්' පිළිබඳ වැඩමුළුවක් සවස 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි. ඉන්පස්සෙයි සවස 6.00ට මීට අයත් සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ.
Q ලෝක ජෑස් දිනය කොහොමද රසිකයන්ට වෙනස් අත්දැකීමක් වෙන්නේ?
ජෑස් කියන්නේ සංගීතයක් පමණක් නෙමෙයි.මොකද එය එහි එක් කොටසක් පමණයි.ඒ නිසා සංකල්පයක් විදිහට ගත්තම ජෑස් කියන්නේ බහුවිධ සංස්කෘතීන් අතර අන්තර් සංස්කෘතිකව හුවමාරුවන්නක්. නමුත් මේ කාරණාව තාමත් හරිහැටි සමාජගත වෙලා නැහැ. ඊට අවශ්‍ය අවකාශය පවා නිර්මාණය කරල දුන්නේ නැහැ.
හැබැයි මෙහි වැදගත්ම කොටස තමයි සංගීත සම්ප්රදායයක් විදිහට ජෑස් සංගීතය හරහා සමාජගත කළ හැකි පුළුල් සමාජ දැක්ම සහ දේශපාලනමය ශක්‍යතාවය. ඒ නිසයි ජෑස් සංගීතය පුළුල් සංගීතමය කතිකාවතකට මග පාදන්නේ. මොකද අපිව උත්තර භාරතීය සංගීතය හරහා ආක්‍රමණය කරලා තිබුණේ. ඒ නිසා එදා ලංකාවේ ජන සංගීතයට පවා ඉස්මතු වෙන්න බැරිවුණා. ජෑස් සංගීතයටත් එහෙමයි. එදා මාධ්‍ය ඒ අවස්ථාව ඇහිරුවා.
හැබැයි වත්මන් අන්තර්ජාලය වැනි නව මාධ්‍ය එක්ක එවැනි වාරණ සීමා බිඳ හෙළමින් තරුණයන් දැන් දැන් මේ සංගීතය වැලඳගෙන තියෙනවා. ලංකාව තුළින් නව නිෂ්පාදන,නව සංකල්ප හරිහැටි ව්‍යාප්ත නොවීමටත් ඒ දේශපාලනය බලපෑවා. ඒ අනුව දැන් බලද්දී ලාංකේය ජෑස් සංගීතය අවුරුදු පනහක් පමණ පිටිපස්සෙන් ඉන්නේ. ලෝකය අද නව ප්රවණතා සමගින් සමාන්තරව ගමන් කරනවා.ඒ නිසාමේ උත්සාහය නැවත මෙම කතිතාවත සඳහා අලුත් වේදිකාවක් තනා දීමටයි.
Q 21 වැනි සියවසේ 'ජෑස්' සංගීතයේ නව ප්රවණතා මොනවාද?
ජෑස් සංගීතයත් හරියට සිනමාව වගේ.ඒ ඒ රටවල්වලට අනුගත වුණු ආකෘතීන්ට අනුව ජෑස් සංගීතයේ හැඩය තීරණය වෙන්නේ. 'ජෑස්' හි පවතින සුවිශේෂත්වයත් මෙයමයි.ඒ නිසා ලංකාවට ලාංකේය ජෑස් සංගීතයක් අවශ්‍යයි.ඊට බලපාන්නෙත් රටේ පවත්නා සමාජ, සංස්කෘතික, දේශපාලනික රිද්මය.ඒ අනුවයි සංගීතමය හැඩතලය තීරණය වෙන්නේ.
Q නමුත් ජෑස් සංගීතය හරහා තවමත් ලාංකික ප්‍රශ්න කෙතරම් දුරට සංගීතමය කතිකාවකට ගෙන ආවාද යන්නත් ගැටලුවක්?
එවැන්නක් තවමත් සිදුකරලා නැහැ.සිදුවිය යුතු වැදගත්ම දේත් ඒකම තමයි.ඒ නිසා ඒ කාර්යය සිදුකිරීමම තමයි අපගෙත් අවශ්‍යතාවය. අනික රටට මේ වෙලාවේ අවශ්‍ය කරන්නේත් එයමයි. දේශපාලනමය වශයෙන් සිදුවිය යුත්තේත් එයමයි. අනික ඒවට අදාළ දේශීය ජන සංගීතයක් අපට උරුමවෙලා තියෙනවා.ඒවායින් ප්‍රයෝජනයක් ගත යුතුයි.
Q සංගීතය හරහා රටේ දේශපාලනයට බලපෑමක් කරන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පුළුවන්.රුසියානු විප්ලවයේදී ජෝෂප් ස්ටාලින් වැනි රාජ්‍ය නායකයන්පවා සංගීතයට බයවුණා.මොකද ඒ කාලේ ඒ රටේ පැවැතුණේ විප්ලවීය සංගීතයක්.ඒ හින්දා ඒ කාලේ සංගීත සංධ්වනියක් පවත්වනවා කියන්නේ ස්ටාලින්ව තැති ගන්වන කාර්යයක් වුණා. එවැනි සංගීතමය ඥානයක් ඇති බුද්ධිමත් දේශපාලන සත්ත්වයෙක් ඒ කාලෙ ඉඳලා තියෙනවා.එවැනි සත්ත්වයෙක් තමයි අපටත් අවශ්‍ය කරන්නේ.
Q කෙසේවෙතත් එවැනි කලාත්මක රසිකත්වයක් ඇති සංස්කෘතික ජීවියෙක් ලංකාවේ ඉන්නවා කියල ඔබ විශ්වාස කරනවද?
ඉතාම අඩුයි. ඒ නිසා තමයි අපි ඒ තත්ත්වය ටිකෙන් ටික වර්ධනය කරගත යුත්තේ. ඒ නිසා අපිත් කලාකරුවෝ වශයෙන් ඊට අපේ දායකත්වය ලබාදිය යුතුයි. කලාත්මක සමාජයක් නිර්මාණය කර ගැනීමට වෑයම් කළ යුතුයි. අනික ඉදිරි තරුණ පරම්පරාව ගැනත් මට යම් බලාපොරොත්තුවක් තියෙනවා.
Q විශ්වවිද්‍යාල මට්ටමින් බැලුවාම සංගීතය හදාරන විද්‍යාර්ථයන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
එතැන තියෙන්නේ සමාජයේ දරිද්‍රතාවය පිළිබඳ ගැටලුවක්.එහෙම නැතුව උපාධි අපේක්ෂාවෙන් සිටින ඒ විද්‍යාර්ථයන්ගේ ගැටලුවක් නෙමෙයි. අප සිදුකළ යුත්තේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමයි.එහෙම නැතුව ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳවැට්ටවීම හෝ චකිතය ඇති කිරීම නෙමෙයි.
අනික විශ්වවිද්‍යාලවලදී පවා සංගීතය පිළිබඳ න්‍යායාත්මක දැනුම ලබාදෙනවා විනා ආධ්‍යාත්මික ගුණ වගාව වෙනුවෙන් යමක් කරන ස්වභාවයක් දකින්න නැහැ. එවැනි දාර්ශනික යමක් කළ හැකි උගත්තුත් එතැන නැහැ. ඒ නිසා තමයි ජෑස් වගේ සංගීත සම්ප්‍රදායන් ලංකාවෙන් තුරන් කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ. ලංකාවේ සෞඛ්‍ය පිළිබඳව වගේම අධ්‍යාපනය පිළිබඳවත් ජාතික ප්‍රතිපත්තියක් තවමත් සකසා නොතිබීම ලංකාවේ දියුණුව අඩපණ වීමට හේතුවෙලා තියෙනවා කියලා ඔවුන් හිතන්නේ නැහැ.