සිය බොලිවුඩ් රූපණ ජීවිතයට මදකට සමුදුන් රාණි මුඛර්ජි දැන් මවක් බව බොහෝ දෙනෙකුට නොරහසකි. බොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ ආදිත්‍ය චොප්රාගේ දෙවැනි බිරිඳ වන රාණිගේ දියණියගේ නම අදිරාය.
එහෙත් මේ වනවිට අදිරාගේ ලෝකයේ ජීවත් වන රාණි සමගින් ඇගේ ස්වාමියා වන ආදිත්‍ය ගැනද, දියණිය ගැනද, ඉදිරියේදී ඇය සම්බන්ධ වීමට නියමිත 'හිච්කි' චිත්‍රපටය පිළිබඳවද ෆිල්ම් ෆෙයාර් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට තරම් රාණි නම්‍යශීලී වූවාය. මේ ඒ ඇසුරින් තබන සටහනකි.
කවද්ද ආපහු ඔබ බොලිවුඩයට එන්නේ ?
ආයේ එන්නේ? මම බොලිවුඩය දාලා ගියේ නැහැ. පුංචි විරාමයක් ගත්තා විතරයි. වෙනත් විදියකින් කිව්වොත් ප්‍රසූත නිවාඩුවක් ගත්තා විතරයි. මම ළඟදිම බොලිවුඩයට එනවා. ඒකට තමයි මම මේ දවස්වල සූදානම් වෙන්නේ.
ඒත් පුදුමයි ඔබ ඔහොම කියන එක ගැන ?
ඇත්තටම මම තාමත් දන්නේ නැහැ, මට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඒත් මම හිතන්නේ මට පුළුවන් වෙයි ආපහු වෙනද වගේම වැඩ කරන්න. ඒත් සුපුරුදු විදිහටද කියල කියන්නත් බැහැ. මොකද අම්මා කෙනෙක් වෙන්න කලින් ශාරීරික යෝග්‍යතාවයි, ඉන්පස්සේ යෝග්‍යතාවයි වෙනස්. ඒ හින්දා දැන් නම් රඟපාන්නෙ සතුට වෙනුවෙන්. අනික ආදිත්‍ය පවා ආයේ මට වැඩ කරන්න උනන්දු කරවනවා. ඒත් කවදාවත් බල කළේ නැහැ වැඩ කරන්න එන්න කියලා. ඒ හින්දයි අද මම මෙහෙම ඉන්නේ.
ඉතින් මොනවද ආපහු ඔබ අලුතින් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්නේ?
ගොඩක් දේවල් තියෙනවා දෙන්න. මොකද මට ආදරේ කරන හුඟක් රසික රසිකාවියෝ ඉන්නවා. ඔවුන් බලන් ඉන්නේ මම එනකම්. ඒ හින්දා මට වගකීමක් තියෙනවා ඒ අපේක්ෂාව ඇත්තක් කරන්න. ඒ හින්දා ඔවුනුත් මගේ ජීවිතයේ කොටසක්. අනික හැම කාන්තාවක්ම වැඩ කරන එක වැදගත්. එයින් ඔවුන්ට ලොකු ස්වාධීන හැඟීමක් දැනෙනවා.
ඒක හරිම සුවිශේෂී හැඟීමක්. වෙනත් විදිහක තෘප්තිමත් බවක්. වෙනත් විදිහක ගෞරවනීය බවක් අත්පත් කර ගැනීමක්. හැබැයි හුඟක් අම්මලා තමන්ගේ ළමයින් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා. ඒක තමයි අම්මා කෙනෙකුගේ විශිෂ්ටත්වය. මම ගරු කරනවා ඔවුන්ගේ ඒ තෝරා ගැනීමට. ඒ වගේම ළමයින්ට අම්මලාව ඕනෑම වෙලාවේදී ඔවුන් අහිමි වන අවස්ථාත් මම දැකලා තියෙනවා. ඊට හේතුවෙලා තියෙන්නේ අම්මලාට තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප කරන්න තරම් කාලයක් නැතිවීම.
යමක් අහිමි වුණු හැඟීමක් දැනෙනවද ?
ඔව්. ළමයි ලොකු වෙද්දි එයාලටත් තමන්ගේම කියලා ජීවිතයක් අවශ්‍ය කරනවා. තමන්ගේ දින චර්යාවක්, තමන්ගේ යාළුවෝ කණ්ඩායමක් අවශ්‍ය කරනවා. එතකොට එයාලට දෙමාපියන් අවශ්‍ය කරන්නේ නැහැ. දෙමාපියන් එයාලා වටේ කැරකෙනවට එයාලා කැමති නැහැ. ඒක අපි තේරුම්ගන්න ඕනි. එහෙම නැති වුණොත් අම්මා කෙනෙක් විදිහට සතුටු වෙන්න බැරි වෙනවා. අනික දැන් අපි ජීවත්වෙන්නේ අම්මයි, තාත්තයි දෙන්නම වැඩ කරන ලෝකයක.
එයාලා දන්නවා එයාලත් එක්ක අම්මලා වටිනාම වෙලාවෙදි එකතු වෙනවා කියලා. ඒ හින්දා මම ඒකට ළමයට උදව් කරනවා. මම ළමයව අත්හරිනවා. මට විශ්වාස කරන්න පුළුවන් ජනතාවක් මං වටේ ඉන්නවා. මොකද මම ජීවත් වෙන්නේ වෙනම සංස්කෘතියක. අනික මම ළමයා අත්හරින්න කලින් ඒ ජනතාව ගැන දීර්ඝකාලීනව අධ්‍යයනයක් කරලයි අත්හරින්නේ. ඒත් මුල් මාස හයේ නම් මම ළමයටම කැපවෙලයි හිටියේ. එක විනාඩියකටවත් ළමයගෙන් ඈත් වුණේ නැහැ.
විශාල විවේකයක් ගන්න හිතාගෙනද බොලිවුඩයෙන් ඉවත්වුණේ ?
මම අවුරුද්දක විතර විවේකයක් ගන්නයි හිතුවේ. මොකද මට දරුවා වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න ඕනි වුණා. අනික මට ඕනි වුණා ළමයගේ කොටසක් වෙන්න. ඒ හින්දා අදිරා කතා කරන මුල්ම වචනේ ඉඳන් මුලින්ම තියන පියවර දක්වාම එයා එක්කම ඉන්න මට ඕනෑ වුණා. මොකද මම එහෙම නොවුණා නම් එයා මට පස්සේ වෛර කරයි.
වෛද්‍යවරු කියනවා අම්මා සහ ළමයා අතර මුල් මාස හයේ ගොඩනැගෙන සම්බන්ධය තීරණාත්මකයි කියලා?
හුඟක් අම්මලා ළමයට මාස තුන හතරක් ගතවෙද්දි ආයේ වැඩට යනවා. ඒත් මම හිතන්නේ නෑ එහෙම වුණා කියලා අම්මයි, දරුවයි අතර තියෙන බැඳීම නැතිවෙයි කියලා. ඒත් මට අනුව නම් ඒක මට අදාළම නැහැ. මමයි අදිරා වෙනුවෙන් ගත කරන කාලය කොච්චරද කියලා තීරණය කරන්නේ. මොකද මට ඇය එක්ක ඉඳිද්දි දැනෙන්නේ ලොකු සතුටක්. මට ඕනෑ කළා ලොකු කාලයක් ඇයත් එක්ක ඉන්න. ඒ හින්දා මට සතුටු දේ තමයි මම කරන්නේ.
ඇයි 'හිච්කි' චිත්‍රපටය තෝරා ගන්න හිතුවේ?
චිත්‍රපට පිටපත අතට ලැබෙද්දි නම් මම වැඩ කරන්න හිතාගෙන හිටියේ නැහැ. ඒත් පිටපත කියෙව්වට පස්සේ මට ඒකට ආස හිතුණා. ඒකයි මම ඒකට කැමැත්ත දුන්නේ. සැබෑවටම සිදුවිය හැකි දෙයක් තමයි ඒ පිටපතේ තිබුණේ. ඒ කතාව තමයි මට අදිරාගෙන් ඈත්වෙලා ආයෙමත් බොලිවුඩයට යන්න කියලා බල කළේ.
අනික ආදිත්‍යටත් ඒක තේරුණා. ඒකයි එයා මාව ධෛර්යමත් කළේ. එහෙම නොවුණා නම් සමහරවිට මම මේ චිත්‍රපටයට සම්බන්ධ නොවෙන්නත් තිබුණා. ඒත් අදිරා කියන්නේ මගේ මුළු ලෝකයම තමයි. ඒක ඇත්ත. ඒත් මට පුළුවන් එයාවයි, රඟපෑමයි සමබර කරගන්න.
'හිච්කි' චිත්‍රපටයට කෙරෙන සූදානම මොන වගේද ?
මම පහුගිය මාසේ ඉඳන් ඒ චරිතයට සූදානම් වෙනවා. ඒත් මම තාමත් පුදුම වෙනවා මම කොහොමද අදිරා එක්ක මේ කටයුත්ත ආරම්භ කරන්නේ කියලා. අනික රසිකයෝ මගේ ඊළඟ චිත්‍රපටය ගැන අහද්දි හුඟක් සංවේදී වෙලා දැන් මම. ඔවුන් මං වෙනුවෙන් බලන් ඉන්නවා. මට ඒක ගෞරවයක්.
ඒ හින්දා ඔවුන් වෙනුවෙන් යමක් කරනවා කියන්නේ ඒක මට දැන් ආඩම්බරයක්. ඒත් අවුරුද්දකට එක චිත්‍රපටයකට වඩා නම් කරන්න අදහසක් නැහැ. මොකද මට ඕනේ සමබර ජීවිතයක් තියෙන වැඩ කරන කාන්තාවක් කියලා එයාට ඔප්පු කරන්න. එයාම එයාට වයස අවුරුදු 18 ක් වෙද්දි ඒ වචන ටික කියනවා අහන්න.
කොහොමද ආදිත්‍යගේ වැඩ කටයුතු?
ආදිගේ නම් වෙනසක් නැහැ. එයා දැන් ඕනෑවටත් වඩා එයාගේ චිත්‍රපට කටයුතුවලට ඇබ්බැහි වෙලා. ඒ හින්දා එයාව වෙනස් කරන්නයි මට දැන් ඕනි. මොකද එයා දැනගන්න ඕනි එයා වෙනුවෙන් දැන් ළමයෙක් අපේ ගෙදර බලන් ඉන්නවා කියලා. ඒ හින්දා මම දැන් එයාගේ හැම දවසක්ම කළමනාකරණය කරනවා.
අදිරා එන්න කලින් ආදිව ගෙදරට ගෙන්නගන්න උත්සාහ කරනවා. ආදි දැන් උදේට කන්නෙත් අදිරා එක්ක. එයා අදිරාව ඇවිදින්න එක්කගෙන යනවා. මම හිතන්නේ දැන් ආදියි, අදිරායි අතර ලොකු සම්බන්ධයක් ගොඩනැගෙමින් පවතිනවා. අනික ආදි දවසක් කියනවා ලොකු වුණාම එයාගේ එකම ළමයා සහ කෙල්ල වෙන්නෙත් අදිරා නිසා දැන් හොඳට විනෝද වෙන්න කියලා. මොකද ඒ තරමටම එයා අදිරාට ආදරය කරනවා.
එතකොට ආදි කියන්නේ හොඳ සැමියෙක්ද, තාත්තා කෙනෙක්ද ?
ආදි හොඳ තාත්තා කෙනෙකුට වඩා හොඳ සැමියෙක්. එයා ඒ කාලෙත් එහෙමයි. අදටත් එහෙමයි. මම හිතනවා ඒක හෙටටත් ඒ විදිහටම පවතියි කියලා. අනික පිරිමින්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වුණත්, හොඳ සැමියෙක් වෙන්න පුළුවන් නම් අන්න ඒකයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ හින්දා මට එයාව හැමදාම ඕනි. මගේ හොඳම සැමියා විදිහටම හැමදාම ඉන්න ඕනි.
මාලන් ගෝවින්ද