'හංසවිලක්' ඩිජිටල්කරණය කළා. හංසවිලක් වෙනුවෙන් කළ ඒ වෙනස ගැන මුලින්ම කතා කරමු?
ඔව්. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිගමනයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයත් මගේ හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණා. ඒ අනුව තමයි මෙය ඩිජිටල්කරණය කරන්නේ.
රේඛාව කියන්නේ ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය. ඒ වටිනාකම රේඛාවට හිමි වෙද්දී හංසවිලක් හිමිකරගෙන තිබුණේ මොනවගේ වටිනාකමක්ද?
රේඛාව සහ හංසවිලක් චිත්‍රපට දෙකම ඩිජිටල්කරණය කරන්න සුදුසුයි කියලා නිගමනය කර තිබුණේ මේ චිත්‍රපට සිංහල සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයන් වූ නිසා. රේඛාව හැඳින්වූයේ ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය කියලා. මගේ හංසවිලක් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 1980දී. ඒතාක් තිබුණු සිනමා ගමන් මඟෙහි විශාල වෙනසක් හංසවිලක් චිත්‍රපටයෙන් ඇති කළා. විවිධ විචාරක අදහස් චිත්‍රපටය වෙනුවෙන් පළවුණා. ඒ අතරෙදි රෙජි සිරිවර්ධන 'හංසවිලක්' ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස නම් කළා. ඒ වටිනාකම් නිසා තමයි හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණේ.
'හංසවිලක්' කියන්නේ ඔබේ පළමුවැනි චිත්‍රපටය. ඔබට අදහසක් තිබ්බද කවදා හෝ චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න?
චිත්‍රපටයක් සංරක්ෂණය කරන්න ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. හංසවිලක් චිත්‍රපටයේ නිෂ්පාදක මියගියාට පස්සේ ඇල්බට් ජයසිංහයන්ගේ බිරියගෙන් මම චිත්‍රපටය මිලදී ගත්තා. විශාල මුදලකට නොවුණත් මගේ පළමුවැනි චිත්‍රපටය මම අමාරුවෙන් මිලදී ගත්තා. ඩිජිටල්කරණයට විශාල වියදමක් යනවා. මම චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න හිටියා නම් මියයනතුරු ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
චිත්‍රපටය නැවැත තිරයට ගේනවද?
ඔව්. තව මාස හතරකින් පහකින් චිත්‍රපටය සිනමාහල් කිහිපයක තිරගත කරනවා.
සිංහල සිනමාව හා බැඳුණු තරුණ පරම්පරාවට හංසවිලක් ඒ යුගයේ වෙනස් අත්දැකීමක් ගෙනාවා නේද?
ඒ කාලේ ලක්ෂ දෙකහමාරක වියදමකින් තමයි මම චිත්‍රපටය හැදුවේ. ඒ යුගය නියෝජනය කළ තරුණ පරම්පරාව මේ චිත්‍රපටය සැලකුවේ අපූරු චිත්‍රපටයක් විදියට. එය ලොකු වටිනාකමක් වුණා. චිත්‍රපටය ඩිජිටල්කරණය කළාට පස්සේ ගොඩක් අය චිත්‍රපටය නැරඹුවා. ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනී කිව්වා මේ චිත්‍රපටය බලන් ඉඳලා තමයි අපි එළියට ආවේ කියලා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී ඔබ හිතුවද ඔබේ පළමුවැනි සිනමා නිර්මාණයම සිංහල සිනමාවේ යම් ලකුණක් තියන නිර්මාණයක් වෙයි කියලා?
චිත්‍රපටය හදද්දී මට ඕන වුණේ එතෙක් නිර්මාණය නොවූ ආරක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ වෙද්දි මම විදේශීය, දේශීය චිත්‍රපට නරඹලා පෝෂණය වෙලා තිබ්බා. විශේෂයෙන්ම පෝලන්ත සිනමා කලාව හැදෑරීම හරහා ප්‍රබන්ධයක් නොවන චිත්‍රපටයක් කරන්න තමයි මම උත්සාහ කළේ. පෞද්ගලික ජීවිතය ඇතුළේ අත්දැකීමක කම්පනය තමයි සිනමා නිර්මාණයක් විදියට එළියට එන්නේ.
ඔබ බලාපොරොත්තු වුණු වෙනස ඔබට අත්දකින්නටත් පුළුවන් වුණා නේද?
ඔව්. මම චිත්‍රපට නරඹනවා. ඉතිං මම උත්සාහ කළා මේ චිත්‍රපටයේ හැම රූප රාමුවකම සිනමා රූපී බව ආරක්ෂා කරගන්න. කතාව ගොඩනැඟීම, චරිත හැසිරීම ආදී සෑම දෙයකින්ම සිනමාරූපී බව පෙන්වන්න උත්සාහ කළා. ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, හෙන්රි ජයසේන ඇතුළු රංගන පිරිස එයට උපරිම දායකත්වය ලබා දුන්නා.
ඔබත් 'හංසවිලක්හි' රංගනයෙන් දායක වෙනවා. මේක අහම්බයක් කියන්නේ ඇත්තද?
ඔව් ඒක අහම්බයක්. මම මේ චිත්‍රපටයේ රඟපාන්න හිටියේ නැහැ. නමුත් එයට විශේෂ නළුවෙක් හොයා ගන්න බැරි වුණු නිසා මම එහි රංගනයටත් සම්බන්ධ වුණා. කොහොම වුණත් මගෙන් චිත්‍රපටයට හානියක් වෙලා නැහැ. මම වෙනත් නළුවෙක් හරහා කර ගන්න හිටපු දේ මම මං ලවා කර ගත්තා.
මොකක්ද ඔබේ සිනමාකරණයේ අරමුණ?
මනුස්ස ජීවිතය විවරණය කිරීම තමයි ප්‍රධාන අරමුණ. කුහක සදාචාර කල්පනා ලෝකය සිදුරු කිරීමත් අරමුණක්.
ඔබ පෞද්ගලික අත්දැකීම් සිනමා නිර්මාණයට යොදා ගන්නවා. එහි විශේෂත්වයක් තියෙනවද?
මට අනුන්ගේ ජීවිත පාදක කරගන්න ඕන නෑ. ලැබූ අත්දැකීම් මත පදනම්ව මම නිර්මාණ කරනවා. ඒ හරහා සමාජය වෙන තැනකට ගෙන යන්න, සමාජය ප්‍රබෝධවත් කරන්න. ප්‍රඥාවන්ත කරන්න තමයි මගේ නිර්මාණවලින් මම උත්සාහ දරන්නේ.
ඔබ හංසවිලක් හරහා කතා කළ තේමාව එදාට වඩා අදට යෝග්‍ය වෙලා තියෙනවා නේද?
චිත්‍රපටයෙන් කතා කරන පසුබිම අද තව තව වර්ධනය වෙමින් පවතිනවා. කලාවේ අරමුණ වෙන්නේ ඒ දේවල් තව තව පවත්වාගෙන යන්න අනුබල දෙන එක නෙමෙයි. එය සහමුලින්ම අතුගා දැමීම. මම සංස්කෘතික පිස්සන්ට නෙවෙයි නිර්මාණ කරන්නේ.
ඔබේ අනෙක් චිත්‍රපටත් ඩිජිටල්කරණය කරන්න අදහසක් තිබෙනවද?
මම කළ නිර්මාණ ඩිජිටල්කරණය කරන්න කියලා නිෂ්පාදකවරුන්ට කියලා තියෙන්නේ. සුද්දිලාගේ කතාව ඩිජිටල්කරණය කරන්න බන්දුල ගුණවර්ධනයන් කටයුතු කරනවා කිව්වා. භව දුක සහ භව කර්මත් ඩිජිටල්කරණය කරන්න කියලා එය නිෂ්පාදනය කළ ස්වාමින් වහන්සේ දෙනමගෙන් මම ඉල්ලා සිටියා. තුන්වැනියාමයත්, වසන්ත ඔබේසේකරගේ දඩයම සහ පළඟැටියෝ චිත්‍රපටයයත් ඩිජිටල්කරණය කරන්න කියලා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලීමක් කළා. මගේ චිත්‍රපට විතරක් නෙමෙයි ආරක්ෂා කළ යුතු චිත්‍රපට සංරක්ෂණය කරන්න මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.
තිළිණි කෞශල්‍යා විජේසිංහ