චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද?
ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි.
කවියේ සෞන්දර්යයාත්මක ලක්ෂණ එක්ක ඇවිල්ලා කවුරු හරි ඒක චෝදනාවක් විදියට එල්ල කළොත්?
කවියේ සෞන්දර්යය පිළිබඳ අපි හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. ඒකට අනුව අපි හිතන්නෙ කවිය බොහොම ලස්සන, අලංකාර, සෞම්‍ය දෙයක් වෙන්න ඕන කියලා. මං කියන්නේ ඒ ඇහෙන් අන්තිම රළුයි කියන කවියෙ පවා සෞන්දර්යයක් තියෙනවා කියලා. ඒක තමයි ඊට අදාළ කවියෙ සෞන්දර්යය. කෙනෙක් රළුයි කියලා කියන කවියෙ භාෂාව ඇතුළෙ ඊටම ආවේණික සෞන්දර්යයක් තියෙනවා. කවියෙක් විසින් තම ප්‍රකාශය කරද්දි ඒ ප්රකාශනයට අදාළ ආකෘතියේ අවශ්‍යතාවය මත වචන යොදා ගන්නවා. එහෙම නැතුව ඒක සෞන්දර්යයට ගන්න කියලා බොහොම මටසිලිටි කරලා, තලලා මරලා ගත්ත වචනවලින් කියනව නම් මං ඒක පිළිගන්නෙ නෑ. මං හිතන්නේ ඒක කරන්න බැහැ කියලයි. ඒ නිසා සමහර කෙනෙකුට කියන්න පුළුවන් මගේ කවි බොහොම ඍජුයි, රළුයි, පොල්ලෙන් ගැහුව වගෙයි කියලා. මම කියන්නේ ඒක වෙන විදියකින් ප්‍රකාශ කරන්න බෑ කියලා. සෞන්දර්ය කියන එක අපි තෝරන්න ඕන ඒ නිර්මාණෙ ඇතුළෙ මිසක් ඉන් වියුක්තව නෙවෙයි.
දේශපාලනික කවිය සහ කවියේ දේශපාලනය කියන්නේ කාරණා දෙකක්. ඒ අතරෙ තියෙන වෙනස ගැන මොන වගේ අදහසක් ද තියෙන්නෙ?
මම හිතන්නේ හැම දෙයක්ම දේශපාලනිකයි කියලා. කෙනෙක් කියනවනම් මම කිසිම දේශපාලනයකට නැහැයි කියලා, ඒක තරම් දේශපාලනික කියමනක් තවත් නෑ. ඒ කරන්නෙ බොහොම සබුද්ධිකව වැඩෙන් අයින් වෙන එක. අපේ රටේ ඉන්නේ හුඟක් එහෙම අය. මිනිහෙක් පක්ෂ දේශපාලනයට අනුගත නොවී ස්වාධීනව ඉන්නවා කියන්න පුළුවන්. නමුත් මිනිහා දේශපාලනිකයි. එයා දේශපාලනික නැහැ කියලා තෝර ගන්න මොහොතෙ කරන මඟහැර යාමම දේශපාලනික වැඩක්. මම ඉන්නේ ඊට ප්රතිපක්ෂ තැනක. එතෙන්දි කවිය කියන්නෙ මට එක්තරා තැනක මෙවලමක්. එහෙම නැතිනම් ආයුධයක්. ඔසිප් මැන්ඩෙලස්තාන් කියන රුසියානු කවියා ස්ටාර්ලින්ගේ පාලන කාලයේදී මර්දනයට ලක් වෙන විට එයාගෙ බිරිඳ එයා ගැන ලියනවා පොතක්. එයා කියනවා මිනිහෙකුට කරන්නම දෙයක් නැතුව සියලුම දේ නැති වුණාට පස්සේ, තමන්ගේ ආත්ම ගරුත්වය රැක ගන්න නම් අවසාන මොහොතෙදි කරන්න තියෙන්නෙ හයියෙන් කෑ ගහන එක කියලා. ඒ නිසා මට අනුව කවිය සහ කවියේ දේශපාලනය කියලා කියන්නේ මේ මොහොතේදී මට දැනෙන සමාජය, මම ජීවත්වන සමාජය, මට උරුම කරලා තියෙන දේ එක්ක තියෙන සම්බන්ධතාවයට. මේ සමාජයට අපිත් වගකියන්න ඕන. සමාජය කියන එක ආපහු විග්රහ කර ගන්න හෝ නැවත ප්‍රකාශ කරන්න තියෙන මාධ්‍යයක් විදියටයි මම කවිය දකින්නේ.
වර්තමානයේ සමස්ත කවියෙන් කෙරෙන දේශපාලනික මැදිහත් වීම ප්‍රමාණවත් කියලා ඔබ විශ්වාස කරනව ද?
සාපේක්ෂව ගත්තම කවිය කියන්නේ පහුගිය කාලේ ඒ තරම් වරප්‍රසාද ලබන මාධ්‍යයක් නෙවෙයිනෙ. මෑත කාලයේදී තමයි රජත සම්මාන ආවෙත්. රාජ්‍ය සම්මාන වගේ දේවල්හැ රුණු කොට කවිය පිළිබඳව ලොකු කතා බහක් තිබුණෙ නැහැ. කාලයක් තිබුණා සහිත්‍ය පිටු අතරින් කවි ගැලවිලා ගියපු. කවි පත්තර පිටුවෙන් භාගෙට, කාලට ගියා. හැබැයි ඒ හැම කාලෙකම කවියො වැඩ කළා. අපි එකඟ වන මතවාදයක් වුණත්, එකඟ නොවෙන මතවාදයක් වුණත් කවියො තනි තනිව හරි සාමූහිකව හරි විවිධාකාරව මැදිහත් වීම් කළා. ඒක තුළ නැවත වතාවක් කවි සමාජයේ යම් ප්‍රමාණයකට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. කවිය මේ මොහොතේ සාපේක්ෂව දැනෙන බලපෑමක් කරනවා. ලංකාවේ දේශපාලනය කියන්නේ අවුරුදු පහකට සැරයක් කාට හරි රස්සාවක් දෙන එකනේ. අපිත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට මැදිහත් වෙනවනෙ. එකම ක්‍රමය දිගටම පවත්වාගෙන යනවා. හැබැයි මේක ඇතුළෙ මේ ක්‍රමය විසින් නිර්මාණය කරපු සමාජය ගැන යම් ප්‍රමාණයකට තමන්ගේ අදහස් සහ මතවාදයන් හරහා සටන් වදින කණ්ඩායමක් හැටියට කවියන් තනි තනිව පෙනී සිටිනවා. ඒක ප්‍රමාණවත් නෑ. නමුත් මේ මොහොතේ අපිට නොතකා හරින්න බැරි මැදිහත්වීමක් කවිය ඇතුළෙ සිදු වෙනවා.
කෙටි කවිය ඇතුළෙත් චූලානන්ද සමරනායකගේ සලකුණු තියෙනවා. නමුත් මේ වන තුරු ලංකාවේ කෙටි කවිය පරිපූර්ණ තත්ත්වයකට ඇවිල්ලා නෑ නේද?
මම කවියේ ආකෘතිය මත සීයට සීයක් යැපෙන්න කැමති නෑ. කවියේ කෙටි හෝ දිග කියන එක තීරණය වෙන්නේ අදහසේ දිග පළල අනුව. උදාහරණයක් හැටියට පේළි ගණන වැඩි දීර්ඝ කවියක් ඒ කවියට විෂයය වන කාරණාව සහ ඒ ප්රකාශනය එක්ක ගත්තහම කෙටි වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ කෙටි කවිය කියලා අදහස් කරන්නේ හයිකු සම්ප්‍රදායත් එක්ක ආපු සංක්ෂිප්ත කවියනෙ. මම ඒ දෙපැත්තෙන්ම නිර්මාණ කරනවා. හැබැයි මට ඔය දෙක අතරෙ විශේෂ තේරීමක් නැහැ. මගේ අදහස ප්‍රකාශ කරන්න ගැළපෙන්නේ සංක්ෂිප්ත බව නම් මම ඒක භාවිත කරනවා. දීර්ඝ බව නම් මම ඒක භාවිත කරනවා. මේ දෙක සංසන්දනය කරන්න බෑ. කවියෙකුට සහ රසිකයෙකුට මේ හැම එකක්ම රස විඳින්න පුළුවන්. හැබැයි ඒ දෙකේම හිටියත් මට දැනෙන සමාජයම තමයි මගේ කවි තුළ තියෙන්නෙ.
ඔබ වමේ ව්‍යපාරයට සම්බන්ධ කෙනෙක්. අද වෙද්දි වමේ ව්‍යාපාරය කවිය ඇතුළු සමස්ත කලාංගයන් කෙරෙහි කරන සංස්කෘතික මැදිහත් වීම දකින්නේ කොහොමද?
ලංකාවෙ කලාවට අවශ්‍ය මැදිහත් වීම කිසිම දවසක ලංකාවේ වමේ ව්‍යාපාරයෙන් ප්‍රමාණවත් තරමට සිද්ධ වුණේ නැහැ. පැරණි වම සහ අලුත් වම කියලනෙ අපි ඕක බෙදන්නෙ. මම ඒ බෙදීමට එකඟ නෑ. ඒත් ඒ දෙගොල්ලොන්ගෙම කලා මැදිහත්වීම ප්‍රමාණවත් නෑ. සුචරිත ගම්ලත්ලා, ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චිලා වගේ අය කාලයක් තිස්සේ මාක්ස්වාදී කලා විචාරය කරගෙන ආවා තමයි. නමුත් වමකට පුළුවන් කලාවක් පුබුදුවන්න. ඒක වුණේ නැහැ. මැයි පෙළපාලියකදි ප්‍රදර්ශන රථවල තියෙන කලාව නෙවෙයි කලාව. ඊට වඩා වැඩි මැදිහත් වීමක් අවශ්‍යයයි. නිර්මාණකරුවන් බිහි කරන්න අවශ්‍ය පසුබිම හදන්න, විචාරය දියුණු කරන්න ප්‍රමාණවත් මැදිහත් වීමක් වුණේ නැහැ. වමේ ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න අයගෙ ඇතුළෙන් මහා දැවැන්ත නිර්මාණකරුවන් එනවා දකින්න හම්බුනෙත් නැහැ. මේ දෙක තාමත් තියෙන්නේ වෙන වෙනම. ලංකාවේ වම දේශපාලනය ගැන කතා කළාට කලාවට මැදිහත් වෙලා නැහැ. නිර්මාණකරුවොත් නිර්මාණ කරමින් ඉන්නවා. නමුත් සක්‍රීය දේශපාලනයට එන්නේ නැහැ. නිර්මාණය තමයි අපේ මැදිහත් වීම කියන තැන තමයි ඔවුන් ගොඩක් ඉන්නේ. මේ දෙක වෙන් වෙන් වශයෙන් ඉන්න තුරු ප්‍රශ්නයක්.
දෙපැත්තක තියෙන කලාව සහ වම එකතු වුණොත් සාධනීය මට්ටමකට යන්න පුළුවන් කියල ද ඔබ කියන්නෙ?
මම හිතන්නේ දෙගොල්ලෝ අතර සංවාදයක් තියෙන්නෙ ඕන කියලා. එකතු වීම කියන එක සළකා බලන්න පුළුවන්. සෝවියට් දේශයේ කලාකරුවා සහ දේශපාලනය එක තැනකදි හමු වුණාම සාහිත්‍ය කෘතිවල එක්තරා විදිහක පරිහාණියකුත් දකින්න ලැබෙනවා. මහා රුසියානු සාහිත්‍යයත් එක්කම සෝවියට් සාහිත්‍යය ගත්තහම ඒකෙ අගනාම නිර්මාණ බිහි වෙනවා වගේම එක්තරා ආකාරයක ප්රචාරක සාහිත්‍යයකුත් බිහි වෙනවා. මං හිතන්නේ නිර්මාණකරුවාට දේශපාලනයක් තියෙන්න ඕනෙ. හැබැයි ඔහු පක්ෂ දේශපාලනයට උඩින් ඉන්න ඕන. අනිත් පැත්තෙන් දේශපාලන පක්ෂ තම මතවාදයත් එක්ක බොහෝ විදග්ධ සාහිත්‍ය විචාරයක් පිළිබඳව දැනුමක් තියාගන්න ඕන. මෙන්න මේ දෙක සංවර්ධනය වුණා නම් ඇති. දෙගොල්ලො එක පෙරමුණකට ඇවිල්ලා එකට ඉන්න ඕනෙ කියලා මම හිතන්නේ නැහැ.
අද වෙද්දි ලංකාවෙ කවිය ආදී කලාංගයන් විචාරය මත පදනම් වෙලා කියන අදහසේ ද ඔබ ඉන්නෙත්?
විචාරය අවශ්‍යයි. විචාරකයත් අවශ්‍යයි. සාහිත්‍ය නිර්මාණත් අවශ්‍යයි. රස්පුටින් කියන සෝවියට් ලේඛකයා වරෙක කියනවා ‘විචාරකයින්ට මගේ නිර්මාණ විචාරය කරන්න පූර්ණ අයිතියක් තියෙනවා. හැබැයි ඒ සියල්ල ඒ විදිහටම පිළිගන්න කියලා කියන්න බැහැ. පිළිගැනීමේ හෝ පිළිනොගැනීමේ අයිතිය මට තියෙනවා.’ කියලා. ඒ කියන්නේ ආධානග්‍රාහීව අර විචාරකයා කියන දේ පසෙකට දානවා කියන එක නෙවෙයි. නමුත් අපි විචාරකයාට අවශ්‍ය විදිහට නිර්මාණ බිහි කරන්න උත්සහ කරනව නම් මං කියන්නේ ඒක ලොකු මුලාවක්. ඒක සාර්ථක නෑ. නිර්මාණ කරන්න ඕනෙ නිදහසේ. විචාරකයාගේ කාර්ය වෙන්නේ විචාරය කරන එක. ඒකෙදි තමන්ට ගත යුතු දෙයක් තියෙනවා නම් ඒක අරගන්න එක සහ මතු නිර්මාණවලදී ඒක සළකා බලන එක නිර්මාණකරුවාගේ කාර්යයක්. නමුත් සාහිත්‍යකරුවා කොයිම වෙලාවකවත් තමන්ගේ නිදහස නැති කරගෙන, විචාරකයාගෙ මිණුම් දඬුවලට අනුව නිර්මාණය කරනවා නම් මම ඒක පිළිගන්නේ නෑ. එහෙම කරොත් නිර්මාණ කරන්න බෑ කියලයි මම හිතන්නෙ.
ලංකාවේ කලාකරුවා සහ රජය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ අපිට පොදුවේ ප්‍රශ්න තියෙනවා. කලාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම මේ වෙද්දි තියෙන්නෙ කොයි වගේ මට්ටමක ද?
ආණ්ඩුවක් රටක කලාව සුපුෂ්පිත කරන්න මැදිහත් වෙන්න ඕන. මිනිස්සු ගැන හිතන ආණ්ඩුවක් නම් ඒක කරන්න ඕන. නමුත් නිදහසින් පසු ලංකාවේ කවම දාකවත් එහෙම දේවල් අපි දැකලා නෑ. හැමදාම කලාව සුපුෂ්පිත කරනවා කියලා ඒගොල්ලෝ කරේ තමන්ගේ ඔඩොක්කුවට වැටෙන උන් ටිකට වරදාන දෙන එක. මේ සිස්ටම් එක ඇතුළෙ අදත් වෙන්නේ ඒක. හෙටත් වෙන්නේ ඒක. කලාකරුවා ආණ්ඩුව මත බලාපොරොත්තු තැබීම විජ්ජාවක්. කලාකරුවා එහෙම නොවිය යුතුයි. හැබැයි කලාකරුවන්ගේ යහපත වෙනුවෙන් යම් දෙයක් රජයක් කරනව නම් ඒ දේ භුක්ති විඳින්න කලාකරුවට අයිතියක් තියෙනවා. නමුත් ඒ ලැබෙන දේ මත කලාකරුවන් තමන්ගේ කොන්ද පැත්තකින් තියලා ප්රශස්ති කියන් වන්දිභට්ටයෙක් වෙන්න නරකයි. ඔන්න ඔය ප්‍රශ්නයට තමයි අපි හැමදාම මුහුණ දුන්නෙ. හැම ආණ්ඩුවකටම ආණ්ඩුවට ගැති වෙච්ච කලාකරුවෝ ටිකක් ඉන්නවා. ඒ අය එතනින් එහා දෙයක් හිතන්නේ නැහැ.
උදාහරණයක් විදිහට අපි දැක්කා මහින්ද චින්තනයේ විදිහට සිනමා නිර්මාණ කරන්න ඕන කියලා ඒ කලේ හිටපු චිත්‍රපට සංස්ථා සභාපති කිව්වා. එතකොට කලාවට තිබුණ මිණුම් දණ්ඩ තමයි මහින්ද චින්තනය. මහින්ද චින්තනය කියන්නේ මොකද්ද? එතකොට ඒකට අනුව කලා නිර්මාණය කිරීමක් කියන්නේ මොකටද? සමහර කලාකරුවො එහෙම කරා. ඒක ගිය දුර අපි දැක්කා. ඒ මට්ටමට අපි යනවා කියන්නේ කලාකරුවා ඔහුගේ ස්වාධීනත්වය අහිමි කර ගැනීම. ඒ අතරෙ ආණ්ඩුවටත් වගකිමක් තියෙනවා. රටේ සංස්කෘතික අමාත්‍යාංශයක් හැමදාම තියෙනවා. ආණ්ඩුවක් මුලින්ම කරන්න ඕන එම අමාත්‍යාංශය රටේ වැදගත් අමාත්‍යාංශයක් බවට පත් කරන එක. නමුත් මෙච්චර කාලෙකට එහෙම දේවල් හෝ ඒ හා සමාන දෙයක් වෙනවා අපි දැකලා නැහැ.
ඒ කියන්නෙ රජය කලාව හා සංස්කෘතිය වෙනුවෙන් ප්‍රමාණවත් මැදිහත් වීමක් කරලා නෑ කියන එක නේද?
මැදිහත්වීම කියලා කියන්නෙ වාර්ෂිකව පවත්වන සංස්කෘතික උත්සවවලට නෙවෙයි. එකනින් එහාට යන්න ඕන. සංස්කෘතික බලධාරීන් සහ ආණ්ඩුවක් මැදිහත් වෙලා ශ්‍රී ලාංකිකයා කියන මිනිහා නිර්මාණය කිරීම තමයි පළවෙනිම කාර්යය. ඒ වෙනුවෙන් සංස්කෘතික තලයේ ලොකු වැඩ කොටසක් තියෙනවා. නමුත් කිසිම රජයක් මැදිහත් වෙලා මේ දේවල් කරන්නෙ නෑ. සටන් පාඨ තියෙනවා. සංහිඳියාව කියන වචනෙත් අපි දැන් කාලා කාලා චුයින්ගම් එක වෙලා. දැන් ඒකෙ මෙලෝ රහක් නෑ. ඒ වචනෙ අහනකොටත් කේන්ති යන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කරන්න ඕනෙ වැඩ ටික කරන්නවත් ආණ්ඩුවට අවංක උවමනාවක් නැහැ. හැබැයි හැම ආණ්ඩුවකම න්‍යාය පත්‍රවල නම් කලාව වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන් විවිධාකාර දේවල් තියෙනවා. නමුත් ඒ එකකින්වත් කලාව, සංස්කෘතිය වෙනුවෙන් කළ යුතු දේවල් කරන්නෙ නෑ.
සංවාදය - චලක ලුණුවිලගේ
-ඇත්ත-