තිස්ස විජේසුරේන්ද්‍ර යනු 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙක්. ඒ වගේම බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජනප්‍රිය නළුවෙක්. තිස්ස විජේසුරේන්ද්‍ර ගේ මනබඳිනා රංගනයන් නම් තවමත් ප්‍රේක්ෂකයාට මතකයේ ඇත.
කොහොමද නළුවෙක් වුණේ?
ඒක වුණේ මෙහෙම, ඒ දවස්වල ගොඩක් සිංහල චිත්‍රපට කියන්නේ හින්දි චිත්‍රපටවල කොපිනේ. ඔය කාලේ තමා දෝස්ති කියන චිත්‍රපටය ආවේ. ඒ දෝස්ති චිත්‍රපටයත් සිංහලෙන් කරන්න ලෑස්ති වුණා නිෂ්පාදක ජග්තියානි මහත්තයයි, අධ්යක්ෂ කිංස්ලි රාජපක්ෂ මහත්තයයි. ඉතින් දෝස්ති චිත්‍රපටයේ අන්ධ චරිතය කළ සුධීර් කුමාර්ගේ රූපේ මගේ රූපෙට සමාන නිසා මාව දැක්කා විතරයි මට කතා කළා එන්න කියලා මේ චිත්‍රපටයේ රඟපාන්න.
කොහේදිද ඒ අයව මුණගැහුණෙ?
ඒක නම් ටිකක් දිග කතාවක්. බම්බලපිටියේ දී හමුවුණේ. මොකද මම ටියුෂන් යන්න ලේසි නිසා මාමා කෙනෙක්ගෙ ගෙදර ඉඳන් ගියේ. ඒ මාමා වැඩ කලේ සිලෝන් තියටර්ස්වල. ඒ මාමාව හම්බෙන්න එන අතරේ තමා මාව දැකලා මට කතා කළේ.
ඉතින් ලැබුණු අවස්ථාව භාර ගත්තා?
මුලින්ම ම නම් මම කැමති වුණේ නැහැ. මොකද මට ඕනේ වෙලා තිබ්බේ දොස්තර කෙනෙක් වෙන්න. තාත්තා කිව්වා පිස්සු කතා කරන්න එපා බයිස්කෝප් කාරයෙක් වෙන්න හදන්නේ නැතුව දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කියලා. හැබැයි අර මහත්වරු දෙන්නා වැඩේ අත ඇරියේ නැහැ. මාව අල්ලාගෙන වැඩේ පටන් ගත්තා. මමත් හොරෙන් හොරෙන් ගිහින් රඟපෑවා. ඒ චිත්‍රපටය තමා කලණ මිතුරෝ සිංහල සිනමාවේ 224 වෙනි චිත්‍රපටය.
මුලින්ම කැමරාවක් ඉදිරියේදී රඟපාද්දී බයක් දැනුණේ නැද්ද?
නැහැ, මුල්ම ෂොට් එක ගත්තේ කොළඹ ජග්තියානි මහත්තයගේ ඔෆිස් එකේ. එකේ හිටියේ මාටින් ගුණදාසයි මමයි. රයිට් ඕකේ ඇක්ටින් කිව්වා මම රඟපෑවල පළවෙනි ෂොට් එකම හරිගියා. කිංස්ලි රාජපක්ෂ මහත්තය එක පාරටම කිව්වා My god Very Good කියලා. මට මතක හැටියට මගෙන් දෙවන ෂොට් එකක් ගත්තෙම නැහැ. එම් ඒ ගෆුර් මහත්තයා තමයි කැමරා කළේ. දෙවිවරු වගේ මිනිස්සු ඒ අය.
තිරගත වූ මුල්ම චිත්‍රපටය වෙන්නේ?
ඔව්, මෙහෙම දෙයක් වුණා. මම මුලින්ම රඟපෑවේ කලණ මිතුරෝ වුණාට තිරගත වුණේ නිම්වළල්ල චිත්‍රපටය. ඒක කෙරුවේ රන්ජිත් ලාල්. ඒක තිරගත වුණා 1970 පෙබරවාරි මාසේදී.
ගෙදරට හොරෙන් රඟපාලා තිරගත වෙද්දී ගෙදරින් මොකද කිව්වේ?
තාත්තා ඇත්තටම දැනගත්තේ මම චිත්‍රපටය කරලා ඉවර වුණාටත් පස්සේ. මොකද මම ඒ වෙද්දී උසස් පෙළ ලියනවා. ඉතින් කව්රැත් දන්නෙත් නෑ. පත්තරවල වුණත් මුකුත් පල වුණෙත් නැහැ. දැන් වගේ ගොසිප් නැහැනේ.
කොහොමද අත්දැකීම?
හරිම සුන්දරයි. මට අමතක නොවන අත්දැකීමක් සිදු වුණා. ඒ තමයි ක්‍රවුන් එකේ තිරගත වෙද්දී දෝස්ති චිත්‍රපටය. මේ දෙන්නා මාව එක්කරගෙන ගියා ඒ හෝල් එකට. චිත්‍රපටය නරඹන්න ආපු හැමෝම හිතුවේ අර දෝස්ති එකේ නළුවා ඇවිත් කියලා හැමෝම මාව වට කර ගත්තා. ජග්තියානි මහත්තයාගේ බෙන්ස් එකේ තමයි මම ක්‍රවුන් එකට ගියේ. එදා මට පොඩි ආඩම්බරයකුත් දැනුණා. එතකොට මේ දෙන්නට ගොඩක් සතුටු හිතුණා එයාලගේ තේරීම හරි කියලා.
බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටය ගැන කතා කළොත්?
මුලින්ම මම රඟපෑ චිත්‍රපට වලින් බොක්ස් ඔෆිස් වාර්තා තැබූවේ මමයි මාලිනියි හිටපු සුහද පැතුම චිත්‍රපටය. කියන්න ඕනේ ඒ චිත්‍රපටය තිරගත වෙද්දී අනිත් පැත්තෙන් තිරගත වුණේ විජය - මාලිනී රඟපාපු තුෂාරා චිත්‍රපටය. කියන්න සතුටුයි චිත්‍රපට දෙකම බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා. දෙකම දින එකසිය විසි ගාණක් දිව්වා. තව දෙයක් තියෙනවා කියන්න සමාවෙන්න ඕනේ වැරදි නම් මම තමයි මුල් චිත්‍රපටයේ ඉඳන් දිගටම ප්‍රධාන චරිත විතරක් රඟපෑව එකම නළුවා. වයසට ගියාට පස්සේ ඉතින් තාත්තාගේ චරිත කළා.
රංගනයට අමතරව වෙන රැකියාවක් කරලා නැද්ද?
කරලා තියෙනවා. ඒක වුණේ මෙහෙමයි. ලංකාවේ සිනමාවේ 545 වැනි චිත්‍රපටය තිරගත වුණා සෙනෙහසක කඳුළු කියලා. ඒක කළේ හේමසිරි සෙල්ලප්පෙරැම මහතා. එකේ මමයි සොනියයි කළේ වැදි චරිතයක්. මොකද මල් ගස් වටේ දුවන චරිත කරලා කරලා මම මේ වෙනස්ම චරිතයක් කරන පළමු අවස්ථාවල ඉතින් මට මෙතෙක් සම්මාන එහෙම ලැබිලා තිබ්බේ නැහැ එනිසා මම හිතුවා මේකට නම් මට සම්මානයක් ලැබෙයි කියලා. මොකද ඒක ඉන්දියාවේ පවා තිරගත වුණා. එහෙදි එහෙම මගේ රංගනය ගැන ඉතා ඉහළින් කතා කරලා තිබ්බා. මම ඒ නිසා විශ්වාසෙන්ම හිටිය සම්මානයක් ලැබෙයි කියලා. ඒත් වුණේ ඒක කළේ නො 17 කළ හේමසිරි සෙල්ලප්පෙරැම මහතා නිසා මට සම්මානයක් ලැබුණේ නැහැ. හැබැයි ඒක ලෙස්ටර් මහතා කළා නම් මට සම්මානයක් ලැබෙන්න තිබ්බා. ඕකෙන් ඇති වුණ කලකිරීම එක්ක මම ටිකක් ඈත් වුණා රඟපෑමෙන්. ඒකාලේ වෙන රුකියාවක් කළා.
ඇයි දැන් රඟපාන්නේ නැත්තේ?
මම කැමති හොඳ කතාවක් හොඳ තිරනාටකයක් හොඳ චරිතයක් ගැන පිළිවෙළකට ඇවිත් මා එක්ක කතා කළොත් ඒ චරිතයට මට සම්මානයක් වුණත් ලැබෙනවා නම් මම මුදල් නැතිව වුණත් රඟපානවා. එහෙම නැති ඒවාට නම් මම ලොකු මුදලක් කියනවා. ඒ නිසා මට ඒවා එන්නෙත් නැහැ.
ජීවිතේ පිළිබඳ ඔබ තෘප්තිමත්ද?
සාර්ථක යුග ජීවිතයක් ගත කරන්න මට පුළුවන් වුණා. හොඳ සැමියෙක් වගේම දියණියන් තුන් දෙනාටම හොඳ පියෙක් වෙන්න ලැබීම මට ආඩම්බරයක්. මට ගොසිප් නෑ. කිසි කෙනෙකුට කියන්න බෑ මම අහවල් නිළිය එක්ක සම්බන්ධකමක් තිබුණා කියලා. එදා හිටිය නෝනාමයි අදත් ඉන්නේ. අරයා හොඳයි. මෙයා නරකයි කියන්න ගොසිප් නෑ මට. මම හිතන්නේ ලංකාවේ නෙවෙයි මුළු ලෝකෙම ගොසිප් නැති එකම නළුවාත් මම වෙන්නැති. අලුත් අයට මගෙන් ගන්න තියෙන හොඳම දේත් අන්න මේක තමා. මොකද අලුත් අය හරි ආසයි ගොසිප් හදා ගන්න. ඉතින් අලුත් අයට කියන්න තියෙන්නේ ප්‍රසිද්ධිය හොඳයි ඒකෙන් උදම් වෙන එකත් නරකත් නැහැ හැබැයි වයසට යනවා කියන එක මතක තියාගන්න කියන එක තමයි.
සටහන අනුෂා රණසිංහ
-දේශය-