ලංකාවේ ඉපදිලා ලංකාවෙන්ම සිප් සතර හදාරලා මේ වන විට ඕස්ට්‍රේලියානු රජයේ රැකියාවක් කරන අතරතුර කලා කටයුතු වල නියැලිලා ඉන්න චතු කියන්නේ නිකම්ම නිකම් යුවතියක් නම් නෙවෙයි ඇය දිරිය යුවතියක්, ජීවිතයට එන අභියෝගවලට ඇය මුහුණ දුන්නේ කොහොමද කියල මේ කතාව කියවන ඔබට දැන ගන්න පුළුවන්, ඒ වගේම ඔබටත් හිතෙයි ඇය නම් සැබවින්ම දිරිය යුවතියක් බව.
චතුගේ පෞද්ගලික විස්තර මොනවද ?
මම චතු පත්බේරියග මගේ උපන් ගම පාදුක්කල ඒත් දැන් නම් පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.
අපි කැමතියි පවුලේ විස්තර දැනගන්න?
අම්මායි තාත්තයි මල්ලියි ඉන්නේ, අම්මා පුෂ්පා මාලනී ඇය විශ්‍රාමික ගුරුවරියක් සහ ලේඛිකාවක් විදියට කටයුතු කරනවා, තාත්තා පරාක්‍රම පත්බේරිය පුවත්පත් ක්ෂේත්රයේ රැකියාවක් කලේ. මගේ එකම මල්ලිත් ඉන්නේ මාත් එක්ක ඕස්ට්‍රේලියාවේ එයා නම් ගණකාධිකරණ ක්ෂේත්රයේ ඉගෙන ගන්න ගමන් රැකියාවක් කරනවා.
එතකොට අධ්‍යාපනය හැදෑරුවේ?
මම ඉගෙන ගත්තේ පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තමයි උසස් අධ්‍යාපනය හැදෑරුවේ. මට සමාජ විද්‍යාව පිළිබඳ ගෞරවවේදී උපාධියක් (Medical Sociology) තියෙනවා.
දැන් ඕස්ට්‍රේලියාවේ ඇවිත් කොච්චර කාලයක් වෙනවා ද ?
අවුරුදු 10ක් වෙනවා, මම මීට වසර 10කට කලින් ආවේ අධ්‍යාපන විසා ලබාගෙන, PR එක හදාගත්තට පස්සේ මට පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් වුණා.
රැකියාවක් කරනවා ද ?
ඔව්, මම ඕස්ට්‍රේලියානු රජයේ රැකියාවක් කරනවා, Medical Review Officer කෙනෙක් විදියට.
කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද ?
මෙහෙමයි මම පොඩි කාලේ ඉඳන්ම කලාවට ගොඩක් ආදරය කල කෙනෙක්, ඒ වගේම තමා කුඩා අවධියේ දී මම සංගීතය හැදෑරුවා රෝහණ වීරසිංහ මහත්මා යටතේ, වේදිකා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා මංගල සේනානායක මහතාගෙන්, ඔහු තමා මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා, එතකොට නර්තනය පැත්තෙන් ගත්තම මම භරත නර්තනය හැදෑරුවා, ලංකාවේදී මම අරන්ග්‍රේත්තම් ප්‍රසංගයක් පවා පැවැත්තුවා, ඊට අමතරව ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම්වලටත් සහභාගී වුණා.
ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ කොහොමද අවස්ථාව ලැබුණේ කලා කටයුතු කරන්න?
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන්වලනේ, මෙල්බන් කියන්නේ ලංකාවේ කලා කටයුතු වැඩියෙන්ම තියෙන නගරයක්, ලංකාවේ අය ගොඩක් මෙහේ ඉන්නවා, ඒ වගේම තමා මෙල්බන්වල ලංකාවේ උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා කිව්වොත් නිවැරදි. මේ වන විට මෙහේ ශ්‍රීලංකාවේ පුවත්පත්/ කලා අංග සහ සංගීත ප්‍රසංග ඕනේ තරම් තියෙනවා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා මුල් කාලෙම මෙහේ ප්‍රඩක්ෂන් හවුස් හරහා මේ දේවල් වලට සම්බන්ධ වෙන්න.
චතු මොනවද දැන් කරන්නේ?
මම මෙහෙ නිරුපිකාවක් විදියට කටයුතු කරනවා , ඉතින් නිතර Photo Shoot වලට ඉන්නවා එතකොට මනාලියන් දැක්මවල් සහ සංගීත වීඩියෝ වගේ දේවල් වලටත් මම සම්බන්ධ වෙනවා, ඊටත් අමතරව මම නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා. කලින් නම් අපිටම කියල රූපවාහිනී නාලිකාවක් තිබ්බේ නැහැ, අපි වැඩසටහන් කලේ BBC වගේ නාලිකා එක්ක සම්බන්ධ වෙලා, නමුත් දැන් මාස 6කට කලින් අපි පටන් ගත්තා විශ්වවාහිනී කියල රුපවාහිනී නාලිකාවක්. ඉතින් ඒක අපි ලබපු භාග්‍යයක් විදියට මම දකින්නේ. මෙම රූපවාහිනී නාලිකාවේ ආරම්භකයා සහ ප්‍රධානියා ලෙස බන්දු දිසානායක මහතා කටයුතු කරනවා.
චතු අපි ආදරය ගැනත් කතා කරමු ?
ආදරය ගැන නම් තියෙන්නේ මට තිත්ත අමිහිරි අත්දැකීමක්. හැබැයි ඒ අත්දැකීමත් හේතුවක් අද මම මේ ඉන්න තැනට එන්න.
එහෙනම් අපි අත්දැකීම කියමු ?
හ්ම් .. මෙහෙමයි 2012 දී මට ඉතා අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි මට පියයුරු පිළිකාවක් තියෙනවා කියල වෛද්‍යවරු කිව්වා, ඒ වගේම තමා මට කිව්වා තව ජීවත් වෙන්න පුළුවන් මාසයක් වගේ කාලයක් කියලත්, ඒ අතර මට ජීවිතේ අනිත්‍ය බව වැටහුණා, ලස්සනට හිටිය මම කැත වෙන්න පටන් ගත්තා, ඒ වගේම මගේ කොණ්ඬේ යන්න පටන් ගත්තා මාව විරූපී වුණා, ඉතින් මේ අසනීප තත්වය නිසා මට කරගෙන ආව කලා කටයුතු වලින් ඈත් වෙන්න වුණා, ඒ විතරක් නෙවෙයි මම අවුරුදු ගණනක් ආදරය කල කෙනා මාව දාලා ගියා.
දැන් කොහොම ද චතුගේ අසනීප තත්ත්වය ?
දැන් මම හොඳටම සුව වෙලා ඉන්නේ, වෛද්‍යවරු පවා දැන් කියන්නේ මගේ ශරීරයේ කිසිම පිළිකා සෛලයක් නැහැ කියල.
කොහොමද චතු මේ අත්දැකීමට මුහුණ දුන්නේ ?
ඔව් මමවත් දන්නේ නැති මගේ සිත තුල තියෙන ශක්තියක් උද්දීපනය වෙලා මට හැකියාව ලැබුණා මේ මාරාන්තික පිළිකාවෙන් මිදෙන්න, මම හැම වෙලාවෙම හැම සිදු වීමක් දිහාම ඉතාම සුබවාදීව බැලුවා, ඒ හරහා මට පුළුවන් කම ලැබුණා පිළිකාව පරාජය කරන්න. මම අදටත් මේ වගේ පිළිකා රෝග වැළඳුන අය එක්ක මේ අත්දැකීම බෙදා ගන්නවා, මම කැමති ඒ අයට පිහිට වෙන්න. ඒ වගේම කියන්න ඕනේ දැන් මම නිරුපිකාවක් නිවේදිකාවක් කියන භූමිකාවෙන් එහාට ගිහින් පිළිකා පිළිබඳ සමාජය දැනුවත් කිරීම් කටයුතු වල නියැලෙනවා, මොකද මට වෛද්‍ය අංශයෙන් වගේම මේ රෝගයට මමත් ගොදුරු වුණ කෙනෙක් නිසා පුද්ගලිකවම මම ඒ අත්දැකීම වින්ද කෙනෙක් නිසා පුළුවන් කම ලැබිලා තියෙනවා ඒ ගැන හොඳින් කතා කරන්න. මම ලංකාවෙත් මහරගම පිළිකා රෝහල එක්ක ළඟින් ඇසුරු කරනව. ලංකාවට ආව හැම වෙලේම මම යනවා මහරගම පිළිකා රෝහලට ගිහින් ඒ අය එක්ක කතා කරනවා, දැනටත් රෝගීන් 150ක් 200ක් විතර මාත් එක්ක සමීප සබඳතා තියෙනවා. මම හැමෝටම කියන්නේ කිසිම තත්ත්වයකදී මානසිකව කඩා වැටෙන්න එපා කියන එක. මම කියන්නේ හිතේ තියෙන ශක්තිය වැඩි දියුණු කරගන්න ඒ හරහා අපිට පුළුවන් ගොඩක් දේවල් පරද්දන්න කියන එක.
චතු මේ හැම දෙයක් ගැනම හරි සැහැල්ලුවෙන් කතා කරනවානේ , ජීවිතය ගැන දුකක් නැද්ද ?
අනේ නැහැ, පොඞ්ඩක් වත් මම දුක් වෙන්නේ පසුතැවෙන්නේ නැහැ. මොකද මගේ ජීවිතේ මම නොදන්නා ශක්තියක් හඳුනා ගත්තා, මම කවදාවත් හිතුවේ නැහැ මම මේ තරම් ශක්තිවන්ත කෙනෙක් කියල. ඒ නිසා මට අද මගේ ශක්තිය ගැන තියෙන්නේ පුදුමාකාර සතුටක්.
දැන් ඉතින් හොඳටම හොඳ නිසා ආදරයක් ගැන හිතන්නේ නැද්ද ?
මෙහෙමයි මට තියෙන්නේ ආදරය ගැන අමිහිරි තිත්ත අත්දැකීමක් නේ, ඒ නිසා ඒ ගැන හරියටම කියන්න බැහැ, හැබැයි මම දන්නවා හරි කෙනෙක් හරි විදියට ලැබුණොත් ආදරය සුන්දරයි කියන එක.
චතුට ඕස්ට්‍රේලියාවෙන් සම්මාන පවා ලැබෙනවා නේද ? අපි ඒ ගැනත් මතක් කරමු ?
ඔව් ඊට කලින් මට මෙන්න මේ දේත් කියන්න ඕනේ, 2014 දී නුවන් සමරපති ලියනවා “U Turn” කියල ධනාත්මක චින්තනය ඇතුලත් පොතක්, මේ පොත ඔහු ලංකාවේදී වගේම ඕස්ට්‍රේලියාවේදීත් එළි දක්වනවා, එතැනදී ආදර්ශ චරිතයක් හැටියට ඔහු ලංකාවෙන් තෝරා ගන්නේ අනෝජා වීරසිංහ මහත්මිය, ඕස්ට්‍රේලියාවෙන් තෝරා ගන්නේ මාව. ඉතින් ඒකෙන් පස්සේ මා ගැන ගොඩක් අය කතා කරන්න පටන් ගත්තා ඒ හරහා ගොඩක් අය මාව දැන හඳුනා ගත්තා ඊට පස්සේ තමා ඕස්ට්‍රේලියාවේ තියෙන සෙරන්ඩිබ් සම්මාන උලෙළේ දී 2015 / 2016 වසරවලදී Most Inspirational Woman සම්මානය මටයි හිමි වුණේ.
හරි චතු අපි ගොඩක් දේවල් කතා කලා නේ අපිට කියන්නකෝ ඉදිරි වැඩකටයුතු?
සුපුරුදු විදියට ඕස්ට්‍රේලියානු රජයේ රැකියාව කරන අතරතුර, අපි පටන් ගත්ත විශ්වවාහිනී රුපවාහිනියේ වැඩකටයුතු කරගෙන යනවා, ඊට අමතරව නිරූපණ කටයුතුත් කරගෙන යනවා, ඒ එක්කම මට අවස්ථාව ලැබුණා චිත්‍රපටයක රඟපාන්න, ඒකෙ සිදුවීම ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණු ලාංකික පවුලක සත්‍ය කතාවක්. ඒ නිසා ගොඩක්ම රූ ගත කිරීම් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඒකත් මට පහසුවක් වෙලා තියෙනවා. නොවැම්බර් මාසයේ එහි රූ ගත කිරීම් පටන් ගන්න ඉන්නේ.
ලංකාවෙන් ආරාධනාවක් ආවොත් භාර ගන්නවා ද ?
අනිවාර්යෙන්ම සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි හොඳ නිර්මාණයක් නම් මම භාර ගන්න සූදානම්. ඒ වගේම තව දෙයක් මම කියන්න කැමතියි ලංකාවෙ සංගීත සිනමා වේදිකා නාට්‍ය නර්තන යන මේ සියලු කලා ක්ෂේත්රයන්ට සම්බන්ධව ජනප්‍රිය ව සිටි බොහෝ දෙනෙක් දැන් මෙල්බර්න්වල පදිංච් ව සිටිනවා. ඒ අය මෙහි සිට ලංකාවෙ කලාව දිගට ගෙන යනවාග ඔවුන් සමඟ මම ඒ කටයුතු වලට සම්බන්ද වෙනවා.
චතුව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් අපිට කියන්න පුලුවන්ද?
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්.