“මතක වන්නිය“ සිංහල පාඨකයන්ට වැදගත් වෙන්නේ කොහොමද ?
සිංහල පාටකයින්ට වැදගත් වෙන්නේ මේ පොත,මෙහි සඳහන් වෙන්නේ ලංකාවේ සිදු වූ නැතිනම් සිදු කරපු ඉතිහාසයක තොරතුරු අන්තර්ගත වන නිසා. සිංහල බහුතර ජනයා නොදන්නා,දැනගතයුතු ඉතිහාසයක් තමයි මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ඉතිහාසය පැරණි එකක් කියලා කියන්න බහ. බොහෝ විට ඒ අපි ජීවත් වූ කාලයක සිදු වුනු දේවල්.
මතකවන්නිය යුද්ධයට කලින් කිලිනොච්චිය සහ යුද්ධ කාලයේ කිලිනොච්චිය සහ යුද්ධය වසන් වීමෙන් පසු තිබෙන කිලිනොච්චිය සහ එහි ජන ජීවිතත්, යුද්ධ කාලයේ කිලිනොච්චි දිස්ත්‍රික්කය සහ යුද්ධයට පසුව කිලිනොච්චි දිස්ත්‍රිකක්ය හා ජන ජීවිතයත් පිලිබඳ තොරතුරු ගෙනහැර දක්වනවා.
බොහෝ විට ඔවුන් නොදන්නා ඉතිහාසයක් මෙහි අන්තර්ගත වන නිසා. නැතිනම් මෙතෙක් කල් දකුණේ මිනිසා සිතා සිටිය දේ වැරදියි කියලා පෙන්වා දෙන නිසා. ඔවුන් මෙතෙක් දැන සිටී දේ වැරදියි කියලා කියලා දීම මතක වන්නිය කෘතිය හරහා සිදු වන නිසා.
ජනවාර්ගික ජාතිකත්වය සහ භූගෝලීය පිහිටීම කාලය අනුව වෙනස් වූ ආකාරයෙන් තමයි මෙම කෘතිය සම්පාදනය වී තිබෙන්නේ.එහෙම නේද ?
නගර ඉක්මනින් දියුණු වෙනවා.ඉක්මනින් විනාශ වී නැති වෙලා යනවා. කැලෑවට ගිය නගර එලි වෙනවා ඉක්මණින් කැලෑවක් ම වෙනවා. මේ අත්දැකීම් මිනිස්සුන් වෙනස්ම ආකාරයකින් විදවපු ජීවිත අත්දැකීම්. කුරිරු යුද්ධයකට අසු වූ මිනිස්සු ගැන සමාජය දැන ගන්න ඕන. මාර්ග අහිමි වූ ජීවිත ගැන දැනගත්තට පසුව තමයි ජීවත් වීමට මාර්ග සොයා ගන්න පුළුවන්. ඒ වගේම මාර්ග අහිමි වූ ජීවිත ගැන දැනගත්තට පසුව තමයි ජීවත් වීමට මාර්ග හිමි කර දෙන්නත් පුළුවන්.
කැමැත්ත කැමැත්ත හා තෝරාගැනීම් වලින් එහා ගිය කාලය සහ පරිසරය ගැන මෙහි කියවෙනවාද?
ඔව් අපි ආසයි අපේ කැමැත්තට අනුව ජීවත් වෙන්න. අපි කැමති නැහැ අපිට අකමැති දෙයක් සිදු කරන්න.තෝරාගැනීම් ගත්තොත්,කැමැත්ත අනුව අපි දේවල් තෝරා ගන්නවා. එතකොට කැමැත්ත හා තෝරාගැනීම් වලට අනුව තමයි අපි ජීවිතය ජීවත් වෙන්නේ. මේ පොතේ කියවෙනවා කැමැත්ත හා තෝරාගැනීම් වලට ඔබ්බට ගිය ජීවිත ගැන. ආර්ථික,සමාජ හා සංස්කෘතික කාරණාවන් සිදු වුවෝ කැමැත්ත හා තෝරා ගැනීම් වලට අනුව නෙමෙයි.
යුද්ධ කාලේ පන බේරා ගැනීම සඳහා දුවමින් සිටින විට, එයට විසඳුම් සොයන විට, කොහෙද අපිට තෝරා ගැනීම් කරන්න පුළුවන් වුණේ? මම කියන්නේ දේශපාලන කාරනා නෙමෙයි. ආර්ථිකමය සාධක,සමාජ හා සංස්කෘතික සාධකවත් අපිට අවශ්‍ය ලෙස සිදු වුනේ නැහැ. මේ පොතේ රචනා වෙනවා ආර්ථිකය වෙනස් වුනේ කොහොමද කියලා. යුද්ධ කාලයට කලින් තිබුණු ආර්ථිකමය ස්ථාවරභාවයක් පෙන්නුම් කල කිලිනොච්චිය හා ජන ජීවිත යුද්ධ විසින් වෙනස් කරපු ආකාරය. විටින් විට අවතැන් ව එක එක ස්ථාන වලට, ගම් වලට කැළෑ වලට ගිය ජීවිත පිළිබඳව මෙම කෘතියේ අන්තර්ගත වෙනවා.
මිනිසුන් අවතැන් වී විවිධ ස්ථාන වලට යන්න වුණා. කැමැත්තක්, තෝරා ගැනීමක් කරන්න බැහැ.. යම් තැනකට බෝම්බ ගහන විට තව තැනකට දුවන්න වුණා. එතනට ෂෙල් වෙඩි, බෝම්බ ගහන විට තවත් තැන වලට දුවන්න වුණා.
කැමැත්ත හා තෝරා ගැනීම් වලින් නෙමෙයි. මිනිසුන්ට සිතන්න විනාඩියක්වත් ඉතුරු නොකළ යුද්ධයක් එය.
යුද්ධය පිළිබඳ ලියැවුණු මෙවැනි සාහිත්‍ය කෘතියක් ඇයි රටට වැදගත් වෙන්නේ ?
නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සඳහා
මෙවැනි කෘතියක් හරහා පාඨකයාගෙන් ස්වයං විවේචනයක් සහ වගවීමක් ඇත්තෙන්ම බලාපොරොත්තු විය හැකිද ?
මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කිරීමේ අරමුණ වුනෙත් පාඨකයා තුළ ස්වයං විවේචනයක් සහ වගකීමක් ඇතිකරවීම . මෙම කෘතිය කියවූ බොහෝ දෙනෙක් තුළ ඒ ස්වයං විවේචන තිබුනා කියලා මට කියන්න පුළුවන්. මොකද මේ පොත කියවලා මට කතා කරපු පිරිස ඒ ගැන කියද්දී සහ ඒ සිද්ධි ගැන කතා කරද්දී ඔවුන් තුල ඒ ස්වයංවිවේචනය තිබුණා කියලා මට හිතුණා. මේ පොත ජාතිවාදීයකුට වුණත් කියවන්න පුළුවන් එකක්. අපිට වුණදේ සහ ඒ සංවේදී කතාව කොහොම හරි සියලු දෙනාට අපි කියන්න ඕන.
තරුණ පරිවර්තිකාවක් විදිහට මෙවැනි කෘතියක් සිංහලයට නැගීම අභියෝගාත්මක කටයුත්තක් ?
අභියෝග කියන දේ ඕනෑම කටයුත්තක් කරද්දී ඇති වෙනවා. යුද්දෙ කාලේ මිනිස්සුන්ට ජිවත් වීම අභියෝගයක් වුණා. ඒ පිලිබදව ඒ කාලේ ලිවීමත් අභියෝගයක් වුණා. එත් මිනිස්සු ජිවත් වුණා. ඒත් මිනිස්සු ඒ දේ ලියුවා. films හැදුවා. කවි ලියුවා. ඒ වගේම තමයි යුද්දේ සිදුකර අවසන් වී අවුරුදු ගානක් ගත වුණු මේ අවදියෙත් මිනිස්සු යම් දේවල් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙවැන් කෘතියක් පරිවර්තනය කිරීම මට අභියෝගයක් වුනේ නැහැ.
ඒත් මෙම කෘතිය සකස් ගත කර ගැනීමේදී සහ සහ මුද්‍රණයට ලබාදීමේදී එය අභියෝගයක් වුණා අපිට. අලුත් පරපුර සංවිධානය මැදිහත් වීමෙන් මෙම කෘතිය සකස් කළා සේම ව මුද්‍රණය හා ප්‍රචාරය ලබා දීමට මැදිහත්වූ අහස අහස මීඩියා වර්ක්ස් ආයතනය මිනිස්සු සිටිනා සමාජයක් ගොඩ නැගීමට දක්වන දායකත්වය ඉතා වැදගත්. ඒ මැදිහත්වීම මිනිස්කම නොදන්නා පුද්ගලයින්ව මිනිසුන් කිරීම සඳහා වැදගත්.
තවත් මෙවැනි යුද්ධයක් ඇති නොවීමට මෙම කෘතිය පරිවර්තනය කිරීමේදී වචන භාවිතයේදී සැළකිළිමත් විය යුතුයි ?
මම හිතනවා කතුවරයා තෝරා ගෙන තියන්නේ නිවරදී ශෛලයක් කියලා. මිනිස්සු මිනිස්සුන් ගැන සංවේදී වුණේ නැති නිසා තමයි මෙවැනි තත්වයයකට අපි මුහුණ දුන්නේ. එහිදී අපි ඒ සංවේදී කතාව කියන්නෙත් සංවේදීව. එදා සංවේදී නොවූ ජනයා අදවත් සංවේදී වෙයිද? නැවත මෙවැනි තත්වයක් ඇති නොවීමට එය ඉතා වැදගත්. අනිත් එක තමයි සිදු වූ ඛේදවාචනීය සංවේදී කතාව සංවේදී විදිහටම තමයි දෙන්නත් තියන්නේ. මේ පොතේ තිබෙන දේවල් වලින් කියවෙන්නේ නැහැ විප්ලවකාරී දෙයක්. කියන්නත් බෑ. මොකද සිදු වූ දේ ඒ තරම්ම පීඩාකාරී, වේදනීය දෙයක්. මම හිතන්නේ සිදු වූ ඛේදවාචකය මෙවැන් සංවේදී වචන වලින්වත් ලබා ගන්න බැරිනම් අපි මිනිස්සු වෙලා මොකටද? සිදු වුනේ වචන වලින් කීවට වඩා ඛේදවාචකයක්. එය එලෙසින් ලබා දීම ඉතා වැදගත්. නැවත යුද්දයක් ඇති නොවිය යුතුයි සේම වචන සරලව සඳහන් කිරීමට ගොස් අදහස සත්‍ය එලෙසින් සඳහන් නොවනවානම් මෙවැන් කෘති පරිවර්තනය කල යුතු නැහැ.
පරිවර්තිකාව විදිහට මෙහි අරමුණ සාමූහිකව ජීවත්වීමේ කලාව පාඨකයාට ඒත්තු ගැන්වීමයි. ඔබ කොහොමද ඒ සඳහා උත්සාහ කළේ?
සමාජ මාධ්‍යයේ වූ විචාරයේදී තරුණ මාධ්‍යවේදිනියක් සටහනක් තබලා තිබුණා. එයා කෝවිල් යනවලු. දෙමළ ඇදුම් අදිනවලු. එයාලා කැමතියිලු අපිත් එක්ක සහයෝගයෙන් ජිවත් වෙන්න . අපි පන්සල් යන්නේ නැහැලු. අපි සිංහල ඇදුම් අදින්න නැතිලු. එයාලා දෙමළ අය සමග කොළඹ ජිවත් වෙද්දී අපිලු සිංහල ජනතාව එක්ක ජිවත් වෙන්න කැමති නැත්තේ. ඇදුම් ඇන්දා කියලා,පන්සල් ,පල්ලි,කෝවිල් ගියා කියලා චින්තනයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔය නිර්මාණය වූ ආගමික කතා හැටියට ලංකාව ලස්සන රටක් වෙන්න ඕනෙනේ. මිනිස් අයිතිවාසිකම් වලට ගරු කරන රටක් වෙන්න ඕනෙනේ. නිරුක්කුරල් වල සේම ධම්ම පදය තුළත් ජන වාර්ගික එකමුතුව ගැන පවසා තියනවා. ජාතික සහයෝගිතාවය යනු අවබෝධය තුළින් ආකල්පමය වෙනසක් හරහා ඇති වන මිනිස් සංකිරණතාවයක්. . එයයි මිනිසුන් තේරුම් ගන්න ඕනේ. අනෙකා තේරුම් ගන්න ඕන. අනෙකාට සංවේදී වීමට උත්සහ ගන්න ඕන.
මෙවැනි සාහිත්‍ය කෘති හරහා යුද්ධය පිළිබඳ පවත්නා සිතුවිලිවල වෙනසක් බලාපොරොත්තු විය හැකිද ?
ඇත්තෙන්ම පුළුවන්. මොකද අපි දන්නවා දකුණේ සමාජයේ දන්නෙ උතුරේ සිදුවුවා යයි කියා ඔවුන්ට පෙන්වූ දේවල්. මාධ්‍ය නාලිකා හරහා , ගීත හරහා පැවසු දේවල්. එක් පැතිකඩක් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ භාෂාවෙන් ලබා දීමට කටයුතු කිරීමක් තමයි මේ මතක වන්නිය කෘතිය. එහි බලාපොරොත්තුව වෙන්නෙත් සිතුවිලි වල වෙනසක්.
රටක අනන්‍යතාවය රැක ගනිමින් සංහිඳියාව කරා යාමට සාහිත්‍යය හරහා දැක්විය හැකි දායකත්වය කෙබඳුද ?
රටක අනන්‍යතාවය කියන එක ගැන මම දන්නේ නැහැ. ඒක වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්. ඒත් මිනිස් අනන්‍යතාවය ගැන අපි කතා කරමු. එහිදී මිනිස් අනන්‍යතාවයට අපි ගරු කළ යුතු බව අපි කතා කරමු.
සංහිඳියාව කරා යාමේදී මිනිස් අනන්‍යතාවය රැක ගෙන ඉදිරියට යෑම කියන එක වැදගත්. මිනිස් අනන්‍යතා රැක ගන්නවා කියන්නේ , මිනිස් අනන්‍යතාවලට ගරු කරනවා කියන එක. මිනිස් අනන්‍යා වලට ගරු කිරීමෙන් සංහිඳියාව ඉබේම ඇතිවෙනවා. මිනිසාට ජනවර්ගයක් ලෙස නෙමෙයි මිනිස්කමින් සලකනවා කියන්නේ , එතන ගැටුමක් නැහැ කියන එක, මිනිස්කමින් සැලකුවේ නැති නිසා තමයි අපි හැමෝම ඒ ඛේදවාචකයට මුහුණ දුන්නේ. මේ මිනිස්කම ගැන ඉගෙන ගන්න ඕන නම්, තේරෙන්න ඕන නම්, අපි එයාල ගැන දැනගන්න ඕන , ඒ දැනගන්න සලස්වන්න කටයුතු කිරීම වැදගත්.
13 ද්‍රවිඩ කෘතීන් සිංහලයට නැගිය හැකි පරිවර්තකයන්ගේ අහේනියක් මේ වන විට ගොඩනැගී තිබෙනවා ?
ඉතා සුලු ප්‍රමාණයක් තමයි ඉන්නේ.
එහි දැවැන්තයා තමයි මගේ ගුරුවරයා සාමිනාදන් විමල් . ඔහු කෘති ගණනාවක් ම සිංහල භාෂාවට පරිවර්ත්තනය කරලා තිබෙනවා . මම මේ කෘතිය පරිවර්තනය කරෙත් ඔහුගේ උපදෙස් අනුව. මම හිතන විදිහට ඔහු තමයි මේ දෙපිරිසේ අතරමැදි පාලම
සටහන : මාලන් විදානපතිරණ