වික්ටර් රත්නායකයන් සමග අප මේ සාකච්ඡාව පැවැත්වූයේ අතුරුගිරිය ප්‍රදේශයේ වු ඔහුගේ නිවසේ දීය. නව තාලයේ මැද පාන්තික නිවෙසක් වූ එහි එළිමහන් විවේකය වෙනුවෙන් පුළුල් ඉඩ අවසරයක් ලබා ගෙන තිබිණි. එක් පසෙක කෝපි පානය කිරීම වෙනුවෙන් තැනූ කුඩා ගෘහයක් වු අතර රාත්රියේදී එය ආලෝකවත් වුයේ ලන්තෑරුම් එළියෙනි.
80 දශකයේ තරුණයන් වන අපගේ තාරුණ්‍යයේ ලාලසාව අවදි කළ ඒ හඬ සිහි ගන්වන ඔහුගේ ’ස’ ප්‍රසංගය පැවැත්වෙන අතරවාරයේදී ගත් ඡායාරූපයක් නිවස අභ්‍යන්තරය ආලෝකවත් කළේය. ගෙවී ගිය ඒ අතීතය තුළ ගායකයෙකු වශයෙන් මෙන්ම ක්ෂේත්රයේ අත්හදා බැලීම් සිදු කළ නිර්මාණ ශිල්පියෙකු හැටියට ඉතිහාසය තුළ ඔහුට හිමි තැනක් තිබේ මේ සංවාදය ඔහුගේ ඒ කාර්යභාරය පාදක කර ගත්තකි. 2010 ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වුණු මෙයට සහභාගි වූ තිස්ස ඩයස් මහතාවද අමතක නොකෙරේ.
ඒ ඉකුත් අතීතය තුළ ඔබ සිදු කළා වු නිර්මාණාත්මක විපර්යාසයට ’වෙනස් ආර’ ’ ’අනන්‍යතාව’ වැනි හඳුන්වා දීම් යෙදිය හැකි යැයි මා සිතනවා ඒ වෙනුවෙන් සැලකිය යුතු ශ්‍රාවක ප්රතිචාරයක්ද ඔබ ලබනවා…..?
මා ලද ඒ ප්‍රතිචාර ප්‍රමාණවත් යැයි මා ද සිතනවා. ඒ ගැන තවදුරටත් මා යමක් කිව යුතු යැයි ඔබ සිතනවා නම්, මට කියන්න තියෙන්නේ ඕනෑම ශිල්පියෙකුට යම් ශිල්පීය ආරක් බිහි කළ හැකි නම්, ඒ දක්ෂතාව ඔහුට තිබේ නම් එවැනි පිලිගැනීමක් ලබා ගන්න පුළුවන්. ඒත් එහෙම නැතුව එවැනි පිලිගැනීමක් බලෙන් ලබා ගත නොහැකි යි. එහෙම බැලූවම එය නිර්මාපකයාගේද රස වින්දනීය හැකියාව මතින් පෘඨකයා විෂයයෙහි ඇති කරන බලපෑමක් යැයි කිව හැකි යි. ඒත් එක්කම එය ජන මාධ්‍යය මඟින් ඇති කරන්නා වු පෙළඹවීමක්ද එහෙම නැත්නම් පොදු සමාජයෙන්ම නැඟී එන සජීවි පෙළඹවීමක්දැයි සිතා බැලිය යුතු වෙනවා. නමුත් යහපත් යැයි අප සිතන දේට මාධ්‍යයෙන් ලැබෙන්නේ අඩු පෙළඹවීමක්. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි.
එදා ඒ කාලය ගැන ඔබට තක්සේරුවක් තියෙනවද……?
මෙහෙමයි අපේ කාලයේ විද්‍යුත් මාධයයක් හැටියට පැවැතුණේ ගුවන් විදුලි මාධ්‍යය විතරයි. ඒ හැරුණම මුද්‍රීත මාධ්‍යයේ ලොකු ව්‍යාප්තියක් තිබුණා. නමුත් කාලයට සාපේක්ෂව මාධ්‍යයේ හැසිරීම මම කලිනුත් කීවා වගේ එදා අද කියල වෙනසක් නෑ. කොහොම වුණත් ගීත ක්ෂේත්රය තුළ විවිධ අත්හදා බැලීම් කරන්න ගුවන් විදුලිය තුළ ඉඩක් තිබුණා. පහසුකම් අතින් අද වගේ තත්වයක් නොතිබුණත් අලූත් දෙයක් කිරීමේ අවස්ථාව එහි තිබුණා. ඒ වගේම හොඳ ශ්‍රාවක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා සමාජගතවත් ලොකු උද්යෝගයක් තිබුණා. සමහර විට ඔබත් රස විඳලා ඇති Chipmunks කියන බටහිර සිනමා නිර්මාණය. ඒක හොඳ ඒ වගේම ජනප්‍රිය චිත්‍රපටයක්. එහි එන ඒ ගායනය හරි අපූරුයි. ඒත් මතක තියාගන්න ඒක ගායනා ශෛල්‍යයක් නෙවෙයි. එතන තියෙන්නේ තාක්ෂණ භාවිතාවක් ඔස්තේ සිදු කලා වූ නිර්මාණයක්. මා කියන්නේ එවැනි නිර්මාණ හරහා නිර්මාණාත්මක ආභාසයක් ලබන්න පුළුවන්ය කියළයි.
එකම හඬක් එකම අවස්ථාවකදී තල දෙකකින් අසන්න ලැබෙන ආකෘරයක් මගේ ”මාලනියේ _ ඉන්ද්‍රජාලය” නම් ගීතයේ එනවා. මේ තාක්ෂණික ප්‍රයෝගය අද නම් ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්. නමුත් යූ. ආරියවිමල් සමඟ එදා ඒ අත්හදා බැලීම කරනකොට මේ තරම් පහසුකම් අපට තිබුණේ නෑ. ඒත් අද වගේ පහසුකම් නොතිබුණත් එහෙම දේවල් කරන්න හිතුණු යුගයක් තමයි ඒ කාලය.
පෙදෙහි රසහව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ කියල සංස්කෘත අලංකාරිකයන් කී ඒ රසිකත්වය යම් පමණකට හෝ තිබු කාලයක් හැටියට ඒ යුගය හැඳින්වීමේ වරදක් ඇතැයි මම සිතන්නෙත් නෑ. ඊට සාපේක්ෂව යම් පිරිහීමක් ක්ෂේත්රයේ අප අද අත් විඳිමින් සිටිනවා යැයි ඔබ සිතනවාද…..?
අද පවත්නා මේ ඝෝෂාවට සංගීතය කියන නම නොයොදා වෙනත් නමක් යොදනවා නම් හොඳයි. ලොකු ගැඹුරකට නොගියත් සරල ගීතයක රස විඳීමේදී වින්දනය සම්බන්ධයෙන් පුහුණුවක් කෙසේ වෙතත් පුරුද්දක් අවශ්‍යයි. ලාබ විනෝදය නෙවෙයි ගී රස වින්දනය කියළ කියන්නෙ. සම්පූර්ණ අර්ථයෙන් අප ගීතයක් යැයි කියන්නේ ගී පද රචනය නම් භාවමය ප්රකාශනය, තනුව, ඒ වගේම උචිත සංගීතය එක්තැන් වූ නිර්මාණයකටයි. මම විශ්වාස කරනවා තනුව සැමවිටම මිහිරි විය යුතුයි කියලා. ඒ වගේම අර්ථපූර්ණ විය යුතුය කියළා. ඒ තුලින් සාහිත්‍යයෙන් කියන්නා වූ දෙය වඩාත් උද්දීපනය කරන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම නැතුව තුට්ටු දෙකේ වචන ටිකක් ලියාගෙන හැරෙන හැරෙන අතට ගායනා කරමින් සංගීතය යැයි කියළා මහා ගෝසාවක් කරමින් දැඟලූවාට ගීතයක් බිහි වෙන්නෙ නෑ. ඒක නිකං වාචාලකමක් විතරයි.
මව් ගුණ ගීතයක රුව ගුණ ගැන මා ඔබම අමුතුවෙන් කිව යුතු නෑ.
”ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ”
එහෙම ලියැවුණු ගීතයක ඇති මව් ගුණය වන්දනීය යි. බැතිමත් පෝෂණයකින් පොහොසත් වෙලයි අප එවැන්නක් රස විඳින්නේ. ඒ සඳහා සුදුසු හොඳ තනුවක් ඊට මුසු වෙන්නෝනෙ. සංගීතය කියන්නේ විශ්ව රස වින්දනයක්. ගීතයේ ආත්මය තමයි සංගීතය.
අපි බොහෝ දෙනෙක් හින්දුස්ථාන් සංගීතය රස විඳින්නේ එහි අර්ථයක් දැනගෙනම නෙවෙයිනෙ. ඒ කැමැත්ත පසුබිමේ තියෙන්නේ මිහිරි තනු, රසාලිප්ත සංගීතය. ඒ වගේම ඇබා, බොනි එම්, ජිම් රිවිස් වැනි බටහිර ගීත පවා රස විඳින්නේ ඒවායේ අර්ථයක් හරියට දැනගෙන නෙවෙයිනෙ. පොදු රසිකයා බොහෝ විට වසඟ වෙන්නේ මිහිරි තනුවකට. ඒ වගේම රසමියුරු සංගීතයකට. එවැනි රස වින්දනයක් වෙනුවෙන් බස වැදගත් වෙලා නැහැ කියන එකනෙ එයින් තේරුම් යන්නෙ.
ශාස්ත්‍රීය සංගීතය කියන්නේ වෙනම විෂය පරාසයක තියෙන සංගීත වින්දනයක් එතැනදී නං භාෂාව කියන්නෙ වැදගත් නැති කෙසේ වෙතත් අදාල නැති සාධකයක් යැයි මා සිතනවා…..?
ශාස්ත්‍රීය සංගීතය රස විඳීම කියන්නේ වෙනම තැනක ඉඳගෙන කතා කළ යුතු විෂයක්. එතැන සාහිත්‍යය කියන දේ ඇත්තෙම නෑ. පූර්ණ වශයෙන්ම භාව වින්දනයක් තමයි ශාස්ත්‍රීය සංගීතයෙන් අප අත් විඳින්නේ. ශාස්ත්‍රීය සංගීතය විග්‍රහයක් හැටියට ගත්තොත් ත්යාල් තුම්රේ, බජන්, හෝරි (හෝලි උත්සවයේදී වැයෙන* තරානා වැනි ගායනා ශෛලීන්වල භාෂාවට අයිති වන පරාසය සීමිත වචන කිහිපයකට සීමා වෙනවා. ඒ නිසා මෙය භාෂාව මුල් නොකරගත් සංගීත මාධුර්යයම පාදක කරගත් රස වින්දනයක්. අනික තමයි පැයක තරම් කාලයක් ඒ සංගීතයත් සමඟ වෙසෙමින් එය රස විඳීමේ හැකියාවක් ශාස්ත්‍රීය සංගීත රසිකයෙකුට තිබිය යුතු වෙනවා. වචන කිහිපයක් පමණයි ඇසිය හැකි වෙන්නෙ. ඒවාත් අර ස්වර මාධූර්යයට අදාලවයි. ඒ ආකාරයට සංගීත සංධ්වනියක් අප රස විඳින්නේ භාෂාවේ සහායෙන් නෙවෙයි. උදාහරණයක් හැටියට ”ස්වෝන් ලේක්” වැනි සංගීත සංධිවනියක් අප රස විඳින්නේ සංගීතය මුලිකවයි. එහි භාෂාවක් නැහැ. නමුත් බස නැති වීම සංගීත රස වින්දනයට බාධාවක් නෙවෙයි. ඒ නිසා තමයි අප කියන්නේ සංගීතය කියන්නේ විශ්ව වින්දනයක්ය කියලා.
ඒත් සරල ගී ගායනයේදි හැම විටම භාෂාව මූලිකයි. සංගීතයද තනුවද එකතු වී මතු කරන භාෂා රසයක් එතැන තියෙනවා. ඒ වගේම සරල ගී නිසාත් උසස් රස වින්දන සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. ගාමිණි ෆොන්සේකා ලියු මේ ගීතය ඔබත් අහලා ඇති.
”අහිමි වුණත් නුඹ ළඳේ
මට අඬන්න අවසර නෑ”
ඒ පද රචනය ඊට උචිත සංගීතය හා තනු නිර්මාණය තුළින් අපට කියන්නේ විරහයක් කොයි තරම් සංවේදි වුණත් භාවාතීෂය දුර්වල වීමකට නොයා යුතුය කියලයි. කොටින්ම ඒ නිසා අපේ පුරුෂ ශක්තිය නැති නොකරගත යුතුය කියළයි.
මෙරට ජන සංගීතයට අදාලව සී. ද එස්. කුලතිලක කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඔබේ අදහස විමසුවොත්….?
කුලතිලකට ශාස්ත්‍රීය සංගීත ඥානයක් තිබුණා. ඒක අපි පිලිගන්නෝනෙ. ඒත් ඔහු ශිල්පීය සංගීතඥයෙක් නොවෙයි. ඔහු විෂය දැනුම සොයා යන්නෙක්. ඒ විදිහට අධ්‍යාපනය හදාරන්නවුන් වෙනුවෙන් ශාස්ත්‍රීය තොරතුරු රැස් කරන්නෙකු වශයෙන් ඔහු අතින් පුළුල් කාර්යභාරයක් සිද්ද වුණා. ඒ සම්බන්ධයෙන් ඔහුට විදග්ධ අවබෝධයක්ද තිබුණා. නමුත් කුලතිලක මහතාගේ කාර්යභාරයේ සහ ශිල්පීය සංගීතඥයෙකුග් කාර්යභාරයේ පැහැදිලි වෙනසක් තියෙනවා.
එවන් ජන ගී සම්ප්රදාය ඇසුරු කිරීම සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් ගැන විමසුවොත්……?
මගේ නිර්මාණ වලදී ජන ගී ආර සම්බන්ධයෙන් එවැනි සම වැදීමක් සිද්ද වුණේ නෑ. ඒත් ඒ සම්බන්ධයෙන් හැදෑරීමත්, වින්දනයත් අනුව යමින් නිර්මාණ කාර්යයේ යෙදුණා යැයි කිව හැකි යි. සමහර විට එය අහම්බෙන් වු නිර්මාණ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. අනිත් අතට එහෙම අහම්බෙන් වුණාය කියන එක ඇතුලෙත් අර කීව හැදෑරීම වගේම වින්දනය බලපවත්වනවා. ඒ තුළින් සම්පූර්ණ නිර්මාණ තත්වයක් කරා යා හැකියි.
සමකාලීන දේශපාලන හැසිරීම් සරල ගීත සම්ප්රදාය සමඟ සම්බන්ධතා පවත්වන බවක්ද අප දකිනවා….?
1971 කැරැල්ල කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ අමතක නොවන ලොකු කතාවක්. ”මද්දුම බණ්ඩාර ඔබයි යළිත් ඉපදුණේ” ගීතය ලියැවුණේ ඒ දේශපාලන ක්‍රියාකාරීත්වය පසුබිම් කරගෙනයි. අනික ඒ දේශපාලනයේ හෙවනැල්ල පතිත වූ තවත් සරල ගී අප අතර තියෙනවා. එදා රෝහණ විජේවීර වේදිකාවට නඟින්න කලිං මේ ගීතය වාදනය කොට තිබෙනවා. ඒ ආකාරයට එය තමන්ට ආරෝපණය කර ගන්න ඔහු කටයුතු කළ බවක් දකින්න ලබෙනවා. මට මතක හැටියට මේ ගීතය ලියුවේ ධර්ම ශ්‍රී කුරුප්පු. ෂෙල්ටන් පේ‍්‍රමරත්නයි සංගීතය නිර්මාණය කලේ.
තාල වාද්‍ය භාණ්ඩ හරහා සිදු කළ වෙනස් නිර්මාණ තත්වයන් සම්බන්ධයෙනුත් ඒ දවස්වල සිටම ඔබ ගැන කතා බහක් ඇති වුණා….?
ඒ වගේම සංගීතයට අදාලව ’අපේ කම’ ගැනත් ඒ දවස්වල විවාදයක් තිබුණා. නමුත් ඒ ඇතුලෙම විදේශීය තාල වාද්‍ය භාණ්ඩ යොදා ගැනීමටත් අපට සිද්ද වෙනවා. නිර්මාණකරණයේ හැටි එහෙම තමයි. උදාහරණයක් හැටියට ඉන්දියානු තාල වාද්‍ය භාණ්ඩ වන තබ්ලා, ඩොල්කිය, මෘදංග යොදාගෙන නිර්මාණය කළ අපේ ගීතයක් තමයි “ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි” කියන ගීතය.
එහි සංගීතය මුළුමනින්ම නිර්මාණය වෙන්නේ අර කියපු ඉන්දියානු තාල වාද්‍ය භාණ්ඩ වලිනුයි. ඒ වගේම එහි පද රචනය විසින්ම එය ඉල්ලා සිටින තත්වයක්ද දකින්න තියෙනවා.
තවත් එවැනි අත්හදා බැලීමක් මා සිදු කල ”දෛවයෝගකින් නොවේදෝ හමුවුණේ අප” යන ගීතයත් එවැනි උදාහරණයක්. ඒ සහ එකම සංගීත භාණ්ඩයක් පමණයි යොදා ගත්තෙ. ඒ තමයි බොක්ස් ගිටාරය. ඒ නිසා අපේ කම වෙනුවෙන් වෙනත් තාල වාදන අත්හදා බැලීම් සිදු කරන්න ඉඩ අවසරයක් අපට තියෙනවා.
අමරදේවයන්ට මහගමසේකර මනා සුසංයෝගයක් වු ආකාරයටම පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ ඔබ අතර නිර්මාණාත්මක ගැලපීමක් සිද්ද වුණා යැයි කතා බහක් පවතිනවා. ඔබත් ඒ බව දන්නවා…..?
”දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම්.” ඒ ගීතය තමයි පේ‍්‍රම් මට මුලින්ම ලියුවෙ. මමත් හිතනවා පේ‍්‍රමකීර්ති සහ වික්ටර් රත්නායක කියන්නේ දෙන්නෙක් නොවේ, එක්කෙනෙක්ය කියලා. කාලයත් සමඟම පේ‍්‍රම්ගේ ගී රචනා තුළ අපේකම කියන එක හොඳින් දකින්න පුළුවන් වුණා. අපේ ඇවැතුම් පැවැතුම් අපේ සාහිත්‍යයේ එන උපමා රූපක ඔහු හොඳින් ඇසුරු කලා. ඒ වගේම වැඩි දියුණු කලා. එසේ කළ හැකි කෙනෙකු හැටියටත් මම පේ්රම්ව දකිනවා. අපේ සම්භව්‍ය සාහිත්‍යයේ එන ළඳකගේ දෙතොල් නම් නා දළුය, වැනි උපමා අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නත් ඔහු සමත් වුණා. උදාහරණයක් විදිහට මේ ගීතය ගැන හිතල බලන්න.
”කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නා දල්ලට පාට දෙන්න ඔබෙ තොල්පෙති දෙන්න”
අර මුලින් කී සම්භාව්‍ය සම්මතයම තමයි ඔහු ආපස්සට හරවන්නෙ. ඔහුගේ බොදු ගීත වල පවා පවතින සම්භාව්‍ය සම්මතයෙන් එහාට ගිය අපූර්වතවය අපට දකින්න පුළුවන්.
”සාගර ජලය මදි හිමි ගුණ ලියන්න ට
අහසේ තාරුකා මදි ගුණ ගනින්න ට
බොළවේ වැලි වලින් බෑ ගුණ මනින්න ට
සඳටත් ඉරටවත් බෑ ගුණ කියන්න ට”
ඒ වගේම ඔබ අහල ඇති
”සමිඳු පාමුල පිදෙන අයුරින්
නා මලක් වී
මා මළත් කම් නෑ.” කියන ගීතය. මේවා හරිම අපූරු ඒ වගේම වෙනස් ආරක ගීත. ඒ විතරක් නෙනෙයි ෆ්‍රෙඞී සිල්වාට ඔහු ලියපු උපහාස ගීත වුණත් මේ රටේ ගීත සාහිත්‍යය වෙනස්ම තැනකට අරගෙන ගියා.
ඔබ කියන ආකාරයට පේ‍්‍රම් සිය ගී පද සාහිත්‍යයෙන් ලොකු සමාජ කියවීමක්ද සිදු කොට තිබෙනවා. ඒ වගේම ඔහුගේ කණගාටුදායක මරණය ඔබ තුළ මත් කම්පනයක් ඇති කළා යැයි මා කියනවා….?
ඔහුගේ සමාජ කියැවීම ගැන කියනවානම් කොල්ලෙක් කෙල්ලෙකුට පේ‍්‍රම පත්‍රයක් ලිවීම, සිය කවීත්වය පෙන්වන්න කවියක් ලිවීම අවිචාරයක් යැයි ගර්භාවට ලක් වුණත් ඒ නිසා මතුවන පේ‍්‍රමාන්විත ශෘංගාරය, තවද එහි රසාලිප්ත බව නිසඟ නිර්මාණාත්මක බව අපුරු නිර්මාණ උල්පත් බිහි කරනවා. ඕමාර් ඛයියාම් කීවේ කුමක්ද? ඔහු ජීවත් වුණේ කොහොමද? ගැහැණිය, සුරාව, සංගීතය ඇසුරේ ඔහුගේ නිර්මාණ උල්පත් අවදි වී තිබුණා.
ඊලඟට පේ‍්‍රම්ගේ මරණය….මා හිතනවා එය මට පමණක් දැනුණු මරණයක් නෙවෙයි කියලා. එය ඒ නාලයටම දැනුණා. අදටත් නොදැනෙනවෙ නෙවෙයිනෙ. ඔහු ලියු ඒත් වැඩිපුර ප්‍රචාරය නොවන ගීතයක් මෙහිදී මට මතක් වෙනවා.
”ඊලඟ භවයේ හමු වෙන්නේ අපි
කොහොමද කොතැනද කවුරු ලෙසේ
හඳුනාගන්නේ කෙලෙසද අපි අප
සතුරන මිතුරන් නෑදැයෝ”
සංවාදය – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ