"දෙපිට කැපෙන දෙබස් - කුණුහරුපවලින්
සමහරු නාට්‍ය ජනප්‍රිය කර ගන්න බලනවා..."
වේදිකා නාට්‍යයට පෙම් බඳින්නන්ට දශක තුනක් පුරාවට අපූරු නාට්‍යයක රස පහස සමීප කරදුන්, "අබුද්දස්ස කෝළම" සහ "රාජ කපුරු" සම්මානනීය නාට්‍ය ද්විත්වය මේ දිනවල රටපුරා වේදිකාගත කෙරේ. වේදිකාවෙන් කලා ලොවට අවතීර්ණ වී අනතුරුව පුංචි තිරයටත්, රිදී තිරයටත්, සිය රංගන ප්‍රතිභාවන් රැගෙන ආ ප්‍රවීණ රංගවේදී ජනක් ප්‍රේමලාල් උක්ත වේදිකා නාට්‍ය ද්වීත්වයෙහි ද නිර්මාණකරුවා වෙයි. මේ ඒ පිළිබඳවත්, වර්තමාන වේදිකා නාට්‍ය කලාව පිළිබඳවත් විමසමින් අප ඔහු සමඟ පැවැත්වූ කතා බහක සංක්ෂිප්ත සටහනයි.
"අබුද්දස්ස කෝළම" සහ "රාජ කපුරු" පැහැබර අතීතයක සිට වර්තමානයට පැමිණ තිබෙනවා. ඒ ගැන....
මගේ නාට්‍ය නිර්මාණ දිවියේ ප්‍රථම නිර්මාණකරණය තමයි "අබුද්දස්ස කෝළම". 1984 දී තමයි මෙය නිර්මාණය වෙන්නේ. ඒ වසරේදී පැවති යොවුන් නාට්‍ය සම්මාන උළෙලේදී සම්මාන හතකින් පුද ලැබීමට මේ නාටකයට අවස්ථාව ලැබුණා. අද දක්වා දර්ශන වාර 2000කට වඩා වේදිකාගත කළා. දැන් "අබුද්දස්ස කෝළමට" අවුරුදු 34 යි. විශේෂත්වය වන්නේ මා ඇතුළුව එදා සිටම දායක වුණු පිරිසම අදත් මෙහි රංගගත වීමයි. දීපානි සිල්වා, රවීන්ද්‍ර යසස්, සරත් කුලාංග, සද්ධා උත්පලකන්දගේ, සරත් චන්ද්‍රසිරි යන අපේ ප්‍රවීණ කලා ශිල්පීන් මංගල දර්ශනයේ සිට මේ දක්වා එක්ව ගමන් කරනවා. ඇත්තටම "අබුද්දස්ස කෝළම" කියන්නේ ඉතිහාසගත වේදිකා නාට්‍ය නිර්මාණයක්. මෙහි සාර්ථකත්වයෙහි රහස තමයි අපේකම. අගනුවර නාට්‍යයක් කරනවා වගේ නෙමෙයි, හොරණ අපි නාට්‍ය නිර්මාණ කළේ. මේ නාට්‍ය වෙනුවෙන් එක්වුණු ශිල්පීන් කිහිපදෙනකු මිය ගොස් සිටියත්, අනෙක් හැමෝම එකට එක්වී සිටීමම මේ නාටකයට අමතර ශක්තියක් වුණා.
ඔබ නාට්‍යකරුවකු ලෙස ඉස්මතු වෙන්නේ ඔබේ පියා නිසා....
බොහොම හරි. මගේ වේදිකා නාට්‍ය නිර්මාණ දිවියේදී මේ වනවිට නාටක 4ක් එළිදක්වා තිබෙනවා. 1984 "අබුද්දස්ස කෝළම", 1988 දී "රාජ කපුරු", 2000 දී "රජ ගහේ නාඩගම" සහ 2004 දී "සක්වල කැළඹිලා". මෙතනදී "රාජ කපුරු" නාටකය "සුවඳ සබන් ඇඟ ගාලා" ගීතයත් සමඟ විශාල ජනප්‍රසාදයක් ලැබුවා කියා සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම "රාජ කපුරු" රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන 3 ක් හිමිකර ගත් බවත් කිව යුතුයි. මා නිර්මාණය කළ වේදිකා නාට්‍ය හතරේම පිටපත් රචකයා වුණේ මගේ පියා වන සිරිසේන ප්‍රේමලාල් මහතායි. ඇත්තෙන්ම මම නාට්‍යකරුවකු වුණේ මගේ පියාගේ රචනා නිසා කියා එතුමන්ව ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරන්න කැමැතියි. මගේ පියාට දැන් වයස අවුරුදු 88යි. කලාකරුවාට කිසිවකුට නොපෙනෙන දේ විනිවිදව දැකීමේ හැකියාව පවතිනවා. ඒක මගේ පියා මේ සමාජයෙන් දුටුවා. තොරණ බලන හැමෝම බලන්නේ එහි ඉදිරිපස විතරයි. එහි පිටුපසින් දිවෙන කතාව කාටවත් පෙනෙන්නේ නැහැ. නමුත් මගේ පියා එහි පිටුපස ඇති දේ දැක්කා. ඒ දැකපු දේවල් තමයි මම මේ වේදිකා නාට්‍ය නිර්මාණ හරහා සමාජගත කළේ. වෙසක් කියලා සමරන බුදු තෙමඟුල තමයි අද අපේ සමාජය ඉතාමත් අශීලාචාර ලෙස පවත්වන්නේ. ඒක අද විනෝද සැණකෙළියක් වෙලා. බෞද්ධ කොඩියට නිගරු කරනවා. තරුණියකට පාරේ බැහැලා යන්න දෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් සිංහල බෞද්ධ ජනතාව සම්බුදු තෙමඟුල ජඩ ව්‍යාපාරයක් බවට පත්කරගෙන එය මුදල් ඉපයීම වෙනුවෙනුත් යොදාගෙන තිබෙනවා. ඉතිං....මේ දේවල් නාට්‍ය ආකෘතියකින් පෙන්වීමට වෙනස්ම ශෛල්‍යයක් අවශ්‍ය වුණා. "අබුද්දස්ස කෝළම" පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව.
ඔබේ "රාජ කපුරු" නාට්‍ය නිර්මාණයත් මේ පවතින සමාජයට අපූරු ආදර්ශවත් කතා තේමාවක්....
නිසැකවම. රජෙක් මැරුණට පස්සේ ඊළඟට රජකමට උරුමක්කාරයකු නැති වුණාම ඒ වෙනුවෙන් සුදුස්සකු තේරීම භාරව තිබුණේ මඟුල් ඇතාට. මේක ඉන්දියාවේ කතාවක් වුණාට ඕනෑම දේශයකට ආදේශ කරගත හැකියි. ඒක අපි අපේ ප්‍රේක්ෂකයාට භාර කරනවා. ඉතිං.... මේ කියන රජකමට සුදුස්සකු සොයා ගිය මඟුල් ඇතා ගිහින් දණ නැමුවේ පඹයකු ළඟ. ඇතා දණ නමන කෙනා රජා හැටියට පිළිගැනීම තමයි සම්ප්රදාය. මෙහෙම කාලයක් යනකොට මහ ඇමැතිලා, පුරෝහිතයෝ ඇතුළු රාජ සභාවම තේරුම් ගත්තා දැන් රජවෙලා ඉන්නේ "පඹයා" කියලා. ඉතිං.... මේ "පඹයා" සිංහාසනේ තියාගෙන ඒ අය ඔවුන්ට රිසි ලෙස රට පාලනය කරනවා. හැබැයි "පඹයා" හැදුවේ ගොවි කම්කරුවෝ. අන්තිමට පඹයා හොයාගෙන ගොවියා එනවා රජවාසලට. ඊට පස්සේ රජ වෙලා ඉන්න "පඹයා" හඳුනාගෙන කාටත් හොරෙන් "පඹයා" අරගෙන ගිහින් නැවත කුඹුරේ හිටවනවා. ඉතිං...."රාජ කපුරු" නාටකයෙන් අපි හැමෝටම තේරුම්ගත යුතු බොහෝ දේ තිබෙනවා. බලය දෙන්නෙත්, නැවත ගන්නෙත් ජනතාව. එය දැනගෙන රට පාලනය කිරීම තමයි වැදගත්.
වේදිකා නාට්‍ය නැරඹීම වෙනුවෙන් අපේ ප්‍රේක්ෂකයාට තිබුණු ප්රබෝධය අද හීනවීගෙන යන බවක් නේද දකින්නට තිබෙන්නේ....
ඇත්ත. 1956 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ "මනමේ" නාටකය නිසා ඇතිවුණු ප්රබෝධය තමයි අපි අද දක්වා අත්විඳිමින් පැමිණියේ. ඒ පොහොසත් වේදිකා නාට්‍ය කලාව හැම රංග රීතියක්ම රැගෙන ආවා. ඒ විතරක් නෙවී, වේදිකාව වෙනුවෙන් විශාල ශිල්පීන් පිරිසක් පැමිණියා. පොහොසත්, පිරිපුන් වේදිකාවක් තිබුණා. වේදිකාව කියන්නේ දැවැන්ත තැනකට. අද වේදිකාව ලඝූ තත්ත්වයකට පත්වෙලා. නාට්‍ය කියන ඒවා විකට ජවනිකා බවට පත්වෙලා. නළු නිළියෝ ඉන්නේ 5-6 යි. සංගීතය සපයන්න වාදක මඬුල්ලක් නැහැ. රෙකෝඩ් කරපු සංගීතයක් තමයි වාදනය වෙන්නේ. හරියට එදා තිබුණු ඇනස්ලි, සැමුවෙල් සහ බර්ටි මහත්වරුන්ගේ "විනෝද සමය" වගේ. අද සමහර නාට්‍යවලට හරි පිටපතක් නැහැ. ඊයේ බලපු ප්රවෘත්ති අද නාට්‍ය වෙලා. ඒ මදිවට දෙපිට කැපෙන දෙබස්. සමහර වේදිකා නාට්‍යවල කුණුහරුප දෙබස්. ඉතිං.... මේ පවතින වේදිකා නාට්‍ය කලාව ගැන බුද්ධිමත් ප්‍රේක්ෂකයා කලකිරීම අහඹුවක් නෙවී. සමහරු තමන්ගේ නාට්‍ය නිර්මාණ අති ජනප්‍රිය කර ගන්න මේ සියලු කාරණා යොදා ගන්නවා. නාට්‍ය කියන්නේ සජීවී මාධ්‍යකට. අද හඬ පෞරුෂයක් නැති නළුවෝ යෑයි කියාගන්නා අය එ.එම්. මයික් දාගෙන රඟපානවා. මේ විදිහට කරන නිර්මාණවලට නාට්‍ය කියලා කියන්නේ නැහැ. මේ කරුණු කාරණා නිසා අද අපේ රටේ වේදිකා නාට්‍ය කලාව තියෙන්නේ විශාල පසුබෑමක. හරවත් සහ ගුණවත් නාට්‍ය බලන්න මිනිස්සු එනවා. ඒ නිසා තමයි අපේ රටේ ප්‍රවීණ නාට්‍ය නිර්මාණවේදීන්ගේ නිර්මාණ කිසිදා මැකී නොයෙන්නේ. ඒ රසය දන්න උගත්, බුද්ධිමත් වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයා කවදාවත් වේදිකාවෙන් ඉවතට යන්නෙ නැහැ.
වේදිකා නාට්‍ය වෙනුවෙන් යහපත් හෙට දවසක් නිර්මාණය කිරීමට කළ යුත්තේ කුමක් කියාද ඔබ යෝජනා කරන්නේ....?
අපේ අධ්‍යාපන ක්‍රමය සමඟ බැඳුණු කලා රසයක් නැති නිසා තමයි මේ පරිහානිය සිදුව තිබෙන්නේ. මේක සංස්කෘතික වැරැද්දක්. රස විඥනය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. උසස් රස වින්දනය පිළිබඳව උගතයුතු පාඩම් අපේ අධ්‍යාපන පෙළ පොතේ නැහැ. මෙහි වටිනාකම් දන්න පිරිස විතරයි වැටහීමකින් කටයුතු කරන්නේ. කෙහොමටත් මේ තත්ත්වය කලාකරුවාට පමණක් වෙනස් කරන්න අමාරුයි. පාසල් අධ්‍යාපනය පැත්තෙන් නාට්‍ය හා රංග කලාව කියන සාරවත් විෂය පිළිබඳව නිසි ඉගැන්වීම් කළ යුතුයි.
දැන් ඔබේ කලා දිවියටත් දශක හතරක්....
ඔව්. 1976 දී තමයි මම වේදිකාව හරහා කලාවට පිවිසෙන්නේ. 1990 දී තමයි ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ. මේ දශකයේදීම සිනමාවටත් එක් වෙනවා. මගේ රංගන දිවියේදී වේදිකා නාට්‍ය රැසකත්, චිත්‍රපට කිහිපයකත්, ටෙලි නාට්‍ය නිර්මාණ හාරසියයකට පමණත් විවිධ වූ චරිත හරහා රංගන දායකත්වයන් ලබා දුන්නා. මට වගේම ඒ මතකයන් ප්‍රේක්ෂකයා තුළත් සදාකාලිකයි.
අද ටෙලි නාට්‍ය කර්මාන්තයත් අනතුරේ නේද?
පැහැදිලිවම ඔව්. අද ටෙලි නාට්‍ය භයානක ව්‍යාපාරයක් බවට පත්වෙලා. ජීවිතය පුරාවටම හම්බ කළ මුදල් යොදවා නාට්‍ය, චිත්‍රපට කරලා පාරට වැටුණු මිනිස්සු ඉන්නවා. ඒ මේ කර්මාන්තය ඇතුළේ තිබෙන අර්බුද සහ මායාවන් නිසා. මගේ වේදිකා නාට්‍ය හතරම නිෂ්පාදනය කළේ මම. මම දැන් වසර 13 කින් අලුත් නාට්‍යයක් නිර්මාණය කරලා නැහැ. අද වියදම සැරයි. ලක්ෂ 20 ක් වත් නැතිව වේදිකා නාට්‍යයක් හදන්න බැහැ. ඒ හදන නාට්‍ය දර්ශන වාර 2ක් ප්‍රදර්ශනය කරන්න 1,50,000ක්වත් ඕනේ. නිෂ්පාදන පිරිවැයත් සමඟ මේ නාට්‍ය කෙරුවාව පවත්වාගෙන යන්නත් අපහසුයි. ඒ නිසාම අපි හැමදාම හිඟන්නෝ. නිර්මාණ කරනවා හැර අපට ඉතිරියක් නැහැ. අද නාට්‍යයක් නිර්මාණය කරන්න බැංකු ණයක්වත් දෙන්නෙ නැහැ. රජය නිර්මාණවේදීන්ට අත දෙන්න උත්සාහයක්වත් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් බදු ගන්න යෝජනා සැකසීම. මේවායෙන් පේනවා රජය කලාවට දක්වන ප්‍රේමය. ඉදිරියට එන්න තියන බදු සංශෝධන පනත හරහා කලා නිර්මාණකරුවන්ට බදු පැනවීමේ යෝජනාව ඇතුළත් කරලා තියනවා.
ඔබ පවසන ආකාරයෙන් මෙතරම් බාධක, කම්කටොලු මාධ්‍යයේ මේ කලාව කරන එකත් විශාල හිසරදයක් නේද?
ඇත්ත. ඒ වුණාට අපි අබිං කෑවා වගේ තමයි මේ කලාවේ එල්ලී සිටින්නේ. ඒ නිසා තමයි කුමන බාධක පැමිණියත් පැමිණි දුක් පැණි රසයි කියලා සිතාගෙන ඉන්නේ. ඇත්තම කීවොත් අපේ මේ කැපකිරීම මානසිකත්වය සමඟ බද්ධ වූවක්. මම සිතන්නේ පෙර භවයක කරපු කුසලකර්ම නිසා මේ කලාව මේ විදිහට දුක් කම්කටොලු මැද කරන්න කියලා අපි මෙහෙය වන අදෘශ්‍යමාන බලවේගයක් තියනවා.
සුජීව තත්සර