මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් චිත්‍රපටයකි. කලකට පසුව සිනමා ශාලාවලට සිනමා ප්‍රේක්ෂකයන් පැමිණියේ ‘ධර්ම යුද්ධය’ නරඹන්නට ය. පවුලේ කතාවක් රැගෙත් එහි සිය පවුල රැක ගැනීමට පියකු දරන වෙහෙස මනාව කියාපාන මේ චිත්‍රපටයේ හරිස්චන්ද්‍රගේ පසුපස පන්නන පොලිස් නිලධාරියාගේ චරිතයට පණ පොවන්නේ කුමාර තිරිමාදුරයි. නීතියට පිටුපාමින්, නීතියේ තිබෙන අහුමුලු අතරින් රිංගා යමින් ගමනක යෙදෙන වරදකරුවකු වැරැදිකාරයකු කිරීමට විමල් ගන්නා තැත අසාර්ථක වන්නේ නොසිතූවිරූ අයුරිනි. එහි අසාර්ථකත්වයට පත්, කලා ජීවිතය සාර්ථකත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පියකු වන කුමාර තිරිමාදුර සිය කාර්යබහුල ජීවිතය අතරදී අපට මුණ ගැසිණි.
සාර්ථකව තිරගත වන ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයට සිනමා ප්‍රේක්ෂකයන් ආදරය කිරීමට පටන් ගෙන බවයි අපට පෙනෙන්නේ. ඒ වගේ ම ඔබ එහි රඟපාන චරිතයත් මේ දවස්වල ඔවුන් අතර බොහොම ජනප්‍රියයි නේද?
මේ පොලිස් නිලධාරියාගේ චරිතය ගැන බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් කතාබහ කරන බව මට දැනෙනවා. සිනමා පටය නැරැඹූ සිනමා රසිකයන්ගෙන් දවසකට දුරකථන ඇමතුම් පහක් හයක් නම් වරදින්නේ නැහැ.
සිනමා ප්‍රේක්ෂකයන්ට අමතරව පොලිසියේ අයගෙනුත් යම් ප්‍රතිචාරයක් ඔබට ලැබෙනවාද?
මම ඉතිං කොහොමත් විවිධ චරිතවලට පණ පොවන නිසා මේ චරිතය ගැන ඔවුන් පවසන්නේ, මා පොලිස් නිලධාරියාගේ චරිතය හොඳට රඟපාන බවයි. පොලිසිය පැත්තෙන් ගත්තත් අවංක නිලධාරියකුගේ චරිතයටයි මා පණ පොවන්නේ. ඒ අවංක පොලිස් නිලධාරියාව නොමඟ යවන්නේ හරිස්චන්ද්‍රයි. ඒ නිසා මා පොලිස් නිලධාරින් වෙනුවෙන් බොහොම යහපත්වයි පෙනී සිටින්නේ.
බොහෝ නළු - නිළියන් අතරින් පොලිස් නිලධාරියාගේ චරිතයට අධ්යක්ෂවරයා ඔබව ම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණාද?
‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ඉන්දීය අධ්යක්ෂවරයෙක්. එහි චරිතවලට නළු - නිළියන් පිළිබඳ විස්තර සපයන්නා මේ චරිතයට මාවත් යෝජනා කර තිබෙනවා. ඒ වගේ ම මා රඟපෑ අනෙක් චරිත පිළිබඳත් ඔහුව දැනුවත් කිරීමෙන් පසුවයි මාව මේ චිත්‍රපටයට තෝරා ගැනෙන්නේ.
‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය භාෂා කිහිපයකට ම නිර්මාණය වුණු චිත්‍රපටයක්. එය අපේ රටට ගැළපෙන විදියට නිර්මාණය වීමේදී පොලිස් නිලධාරියාව ඔබ ප්‍රතිනිර්මාණය කළේ කෙසේද?
මා මේ චරිතය කිරීමේදී බොහොම පරිස්සම් වුණා. ඒ මලයාලම්, ඉන්දියානු චිත්‍රපටවල පොලිස් නිලධාරියාගේ චරිතයේ ඇත්තේ ඉන්දියානු රංගන ආභාසයක්. ඔවුන්ට වඩා ඇමෙරිකානු පොලිස් නිලධාරියා රඟපාන අයුරු වෙනස්. ඒ ඒ රටවලට අනුව නිර්මාණය වන පොලිස් නිලධාරින්ගේ චරිතය වෙනස් අයුරිනුයි නිර්මාණය වන්නේ. මේ සියල්ලන්ට ම වඩා අපේ රටේ පොලිස් නිලධාරියා වෙනස් අයෙක්. ඒ ඒ අයට අනන්‍ය වූ ලක්ෂණ රැසක් අන්තර්ගතයි. අනෙක් නිර්මාණවල තිබෙන පොලිස් නිලධාරියාගේ චරිතය, ඒ අයගේ විධික්රම නරඹන්නේ නැතිව මා පිටපතේ ලියූ පොලිස් නිලධාරියාගේ චරිතය කියැවීමෙන් පසුවයි චරිතය සිතට ගත්තේ.
‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ තිරරචනය දුටු විගසම පොලිස් නිලධාරියාගේ චරිතයට ඔබට බොහොම කැමැත්තක් ඇති වුණාද?
මා ඕනෑ ම වෙලාවක අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්. එවැනි අභියෝගයක් ඉදිරිපත් වුණු චරිතයක් වුණේ ‘ගාමණී’ චිත්‍රපටයේ සාජන් රණසිංහගේ චරිතයයි. ඒ චරිතය රඟපෑමේදී මා සති දෙකක පමණ හමුදා පුහුණුවක් ලැබීමෙන් පසුවයි. මේ චරිතයට එහෙම නොකළත් ලාංකේය පොලිස් නිලධාරියා කියන්නේ මට නිතරම මුණ ගැසෙන චරිතයක්. ඔහු හැසිරෙන ආකාරය මා නිරීක්ෂණයක යෙදුණා. ඒ අනුව මා ඔහුව බොහොම සූක්ෂ්මව ප්‍රතිනිර්මාණය කළ බවයි සිතන්නේ.
එහෙත් බොහෝදෙනා මේ පොලිස් නිලධාරිය බොරු පවසන බව සිතමින් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඒ ගැන ඔබගේ සිතේ තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?
ඒ අවස්ථා චිත්‍රපටයේ තිරරචනයේ තිබෙන ප්‍රබල අවස්ථා කිහිපයක්. මේ මිනීමැරුම කරන්නේ හරිස්චන්ද්‍රගේ පවුලේ අයයි. ඒත් මුළු සිනමා ප්‍රේක්ෂකාගාරයම සිටින්නේ ඔවුන්ගේ පැත්තේ. ඒත් සාමාන්‍යයෙන් චිත්‍රපටයක මිනීමැරුමක් කළාට පස්සේ චිත්‍රපටය අවසානයේ වැරැදිකරුව හමුවෙනවා. ඒත් මේ චිත්‍රපටයේදී එහෙම වන්නේ නැහැ. එතැනට සිනමා ප්‍රේක්ෂකාගාරය ගෙනෙනවා කියන්නේ මේ තිරරචනයේ තිබෙන ප්‍රබලත්වය නිසයි එය සිදුවන්නේ. ඒ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක්.
ඔබ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය තිරගත වූ පසුවවත් අනෙක් භාෂාවලින් නිර්මාණය වූ මේ චිත්‍රපටයේ නිර්මාණ නැරැඹුවාද?
ඔව්. පාපනාසම් කියන දමිල චිත්‍රපටය මා නැරැඹුවා.
එහි රඟපෑම් දුටුවිට ඔබගේ චරිතය වඩාත් හොඳීන් නිරූපණය කළ බවක් ඔබට හැඟෙනවාද?
මගේ රඟපෑම ගැන තීරණයකට පිවිසිය යුත්තේ පුවත්පත්වල සිටින ඔබ ඇතුළු පිරිසත්, සිනමා ප්‍රේක්ෂකයා හා විචාරකයන් විසිනුයි. මම නොවෙයි. මට හැකි උපරිමයෙන් මා ඒ චරිතය නිරූපණය කළා. මට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ බව හැඟෙනවා.
‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයයේ අධ්යක්ෂ චෙට්ටියාර් රවි සමඟ රංගන ශිල්පියකු ලෙස ඔබට තිබුණු ගනුදෙනුවේ ස්වභාවය ගත්තේ කුමන ආකාරයක්ද?
මේ වනවිට ඔහු ජීවතුන් අතර ඇත්තේ නැහැ. අප වැඩකළ කැමරා අධ්යක්ෂවරයා ඇතුළු සියලුදෙනාම ඉන්දියානු කණ්ඩායමක්. ඔවුන්ගෙන් යමක් අපට ගන්න තිබෙනවා බව පෙනෙන්නේ චිත්‍රපටය නැරැඹූ විටයි. හොලිවුඩ් හෝ බොලිවුඩ් තියා කුමන විදියේ නිර්මාණවලින් වුවත් අපට ගන්න දෙයක් තිබේ නම් එය ගත යුතුයි. ඔවුන්ගේ තාක්ෂණය, දැනුම හා මනුස්සකම මේ චිත්‍රපටය හරහා විදහා දැක්වෙනවා.
‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයට රූපගත වන්නේ මාතලේ ප්‍රදේශයේයි. රංගන කාර්ය කරන අවස්ථාවලදි එහි සිටි කාලය ගතවුණේ කොහොමද?
අපි සිටියේ මාතලේ නැවතිලයි. ජැක්සන් අයියා, කුසුම් අක්කා, රොෂාන් ඇතුළු සියලු දෙනාම එහි නැවතිලා සිටියා. ඒ කාලය ඇතුළත රංගනය වෙනුවෙන් බොහොම මහන්සියක් ගන්න සිදුවුණා. ඒ මොන දේ වුණත් අප සියල්ලන් ම බොහොම සතුටින් කාලය ගත කළා. අද චිත්‍රපටය තිරයේ දිස් වෙද්දි ඒ විඳී දුක්ඛ දෝමනස්සයන් කොහොන් ගියාද කියලා දන්නේ නැහැ. ඒ වගේ ම මුළු සිනමා ප්‍රේක්ෂකාගාරයකින් එක්වර අත්පුඩියක් නැඟෙනවා මා මෑත කාලයේ අසා නැහැ. ඒක අසන්නට ලැබුණේ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය හරහායි. සියලු ම ශීල්පීන්ගේ සාර්ථක දායකත්වයයි තිරයේ දිස්වුණේ.
ඔබගේ රංගනය වඩාත් හොඳීන් නිරූපණය සඳහා අනෙක් රංගන ශීල්පීනගෙන් හා ශීල්පිනියන්ගෙන් ලැබුණු දායකත්වයේ ස්වරූපය තිබුණේ කුමන මට්ටමකද?
ඉන්දියානු අධ්යක්ෂවරයා සමඟ කළ සාකච්ඡාවලට අමතරව ජැක්සන් අයියා, දිල්හානි අක්කා ඇතුළු අපේ අයත් එක්ක සාකච්ඡා කළ අවස්ථා තිබුණා. සමහර අවස්ථාවලදි මේ මේ දේවල් මට අවශ්‍යය යන්න පැවසීමට මා උදවු ලබා ගත්තේ ජැක්සන් අයියා හරහායි.
පුංචිතිරය, රිදීතිරය, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේම සැරිසරන රංගන ශිල්පියකු විදියට ඔබ මේ අතරින් වඩාත් කැමැත්තක් දක්වන්නේ කුමන මාධ්යයකටද?
වේදිකාව මඟින් ජීවිතය ඉගෙන ගන්නවා. අතිශය ජනප්‍රිය විය හැකි මාධ්යයකුයි ටෙලි නාට්‍ය කියන්නේ. ලක්ෂ හැටක් තරම් නරඹන මාධ්‍යයක් සොයා ගැනීමට අපට වෙනත් විදියක් ඇත්තේ නැහැ. අපගේ රූපය විශාල විදියට පෙනෙන ස්ථානයයි සිනමා තිරය කියන්නේ. ඒ තරම් විශාලව අපට කිසිම දවසක වේදිකාවේ පෙනෙන්නේ නැහැ. ඒ තිරයේ මට මාව විශාලව පෙනෙන විට අපූරු සතුටක් දැනෙනවා. මොකද එතැනට එන්න හැමෝටම බැහැ. ඒ ලැබුණු වාසනාව ගැන මට තිබෙන්නේ සතුටක්.
මේ මාධ්‍ය තුනේම සැරිසැරුවත් ඒ සියල්ලන්ගේ ම සාර්ථකත්වයට පත් වූ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් අපට ඇත්තේ අතලොස්සක්. ඔබත් ඒ ගණයට අයත්?
මේ මාධ්‍ය තුනේම වැඩ කිරීමට මා කැමැතියි. මේ දැනුත් දුර පළාතක වේදිකා නාට්‍යයක රඟපාන ගමනුයි ඔබ සමඟ කතා කරන්නේ. මාසයකට වේදිකා නාට්‍ය හතක්, අටක් සමඟ අපේ රටේ කුමන හෝ ප්‍රදේශයක මා ඉන්නවා. ඒ විදියටයි මගේ ජීවිතය ගතවෙන්නේ. ප්‍රවීණ නළු විජය නන්දසිරි මහත්තයා ජීවත් වී සිටි කාලයේ මට දුන් උපදෙසක් තමයි සිනමාවේ, ටෙලි නාට්‍යයේ උඹ කොයිතරම් ජනප්‍රිය වුණත් වේදිකාව අතහරින්න එපා කියන කාරණය. වේදිකාවේදී යි අපේ සෞඛ්‍ය සම්පන්නකම රැකෙන්නේ, ඒ හරහා ලැබෙන අත්දැකීම් වගේ ම ලැබෙන සජීව ප්‍රතිචාරත්, දිනෙන් දිනම අපේ රංගනයේ අලුත් වීමත් අනෙක් කිසිම මාධ්‍යක නොමැති බවයි ඔහු පැවසුවේ. එය සත්‍යයක්.
ඔබ ඔය පවසන්නේ ඔහු පැවසූ දෙය අකුරට ම පිළිපදින වගද?
ඔව්. මොනදේ තිබුණත් මා වේදිකාවේ සැරිසරනවා. අද වේදිකාවට වසර හැත්තෑවක් ගතවුණත් බොහෝ වේදිකා නාට්‍ය ශාලා තවමත් අංග සම්පූර්ණ නැහැ. ඒවා තිබෙන්නේ හැත්තෑව දශකයේ වගේමයි. ඒ අංශය දියුණු කිරීමට කිසි රජයට කිසිම වුවමනාවක් ඇත්තේ නැහැ. ඒත් ඉතිං අපි ඒ ශාලාවල නාට්‍ය පෙන්වනවා.
ඇත්තටම වේදිකාවේ රඟපෑම රංගනයේ අලුත් වීමක් ලෙස දැනෙනවාද?
අපේ රටේ විද්‍යාත්මකව රංගනය ඉගෙන ගැනීමේ පාසල් ඇත්තේ නැහැ. එහෙම දෙයක් නිර්මාණය කිරීමට අපේ රජයන්ට වුවමනාවක් ඇත්තේත් නැහැ. ඒ නිසා අපට තිබෙන්නේ ස්වයං අධ්‍යයනයක් පමණයි. ඒ සඳහා සුදුසු ම ස්ථානය වන්නේ වේදිකාවයි. එහිදි අපට හමුවන සියලුදෙනා සමඟ සිය අත්දැකීම් බෙදා ගනිමින්, අත්දැකීම් ලබමින් යා හැකියි. අද බොහෝදෙනා එකම විදියට රඟපාන බවට චෝදනා නැඟෙන්නේ මේ අලුත් වීම නැති නිසයි. ඒ නිසා අප අනෙක් මාධ්‍යවල සැරිසැරුවත් ඒ මඟින් නිතරම අලුත් වීමක් වන්නේ නැහැ. වේදිකාවේ අලුත්වීම මඟින් ලබා ගන්න දේ ඇසුරින් අනෙක් මාධ්‍යවල නිර්මාණවලට සහභාගි වෙමින් එතැනින් හිස්වන මල්ල පුරවා ගැනීමට අප යළි පිවිසෙන්නේ වේදිකාවටයි. මේ නිසා රඟපෑම කියන්නේ ගැඹුරු විෂයයක්. එය හරියට කිව්වොත් කොළඹ සිට කතරගම යනවා යැයි සිතන්න. ඒ තරම් දුර ප්‍රමාණයකින් රඟපෑම ගැන කිව්වොත් කොළඹ සිට මොරටුව දක්වාවත් අපට රඟපා ඉවර කළ නොහැකියි. ඒ තරමටම ගැඹුරු වූ මේ විෂය විහිලුවක් නොවන බවත් පැවසිය යුතුයි.
රඟපෑමේ මෙන්ම අනෙක් කලා කටයුතුවලත් යෙදෙන්නට ඔබට ඔය තරම් කාලයක් තියෙනවාද?
ෂාරුක් ඛාන්ලට වගේ කාලය කළමනාකරණය කර ගැනීමට වෙනම කළමනාකාරවරයකු අපට ඇත්තේ නැහැ. මේ තරම් වැඩ ප්‍රමාණයක් කරත් එහෙම කළමනාකාරවරයකු තියාගෙන පඩිදෙන්න අපට ආර්ථික ශක්තියක් ඇත්තේ නැහැ. මොකද අද කොයිතරම් මුදලක් අතට ගත්තත් ඒක වියදම් වෙන්න ගතවන්නේ සුළු මොහොතයි. වෙනත් රටක රංගන ශිල්පියකු නම් මා ඔය රඟපෑ චිත්‍රපට තුන හතර ඇති ජීවිත කාලයටම ජීවත්වන්නට. අප වගේ වෙනත් කටයුතුවලත් ඔවුන් නියැළිය යුතු නැහැ. එහෙත් මා වේදිකා නාට්‍යවලත්,ටෙලිනාට්‍යවලත්, සිනමාවේ රඟපෑමට අමතරව සංගීත සන්දර්ශනවල ගීත කිහිපයක් කියමින්, වැඩසටහන්වල නිවේදකයකු බවට පත්වෙමින් ආදී විවිධ කාර්යයන් රැසක් කරමිනුයි ජීවිතය ගැට ගහ ගන්නේ. මගේ අම්මා, තාත්තාට පොල් අක්කර දහයක්, පහළොවක්වත් තිබුණා නම්, හොඳ හෝටල් දෙක තුනක්වත් තිබුණා නම් එක් නිර්මාණයක රඟපාමින් ජීවත්වීමට ඉඩ තිබුණා. අවාසනාවට දුප්පත් රටක ඉපදිලා, දුප්පත් මිනිහෙක් වුණු නිසා එහෙම කිරීමට බැහැ. ඒත් වෙනත් රටක ඉපදුණා නම් කාලය හොඳට කළමනාකරණය කරගෙන ඉන්න තිබුණා.
පුවත්පතක සොදුපත් කියවන්නකු ලෙස ආරම්භ කළ ඔබගේ ජීවිතය වර්තමානයේ නළු භූමිකාවේ සිරවෙලා. මේ වනවිට ඔබ සිටින්නේ ලියන කටයුතු අතහැර දමලද?
රංගනය තරමටම නැතිවුණත් ඒ කටයුතුවලත් නියැළෙනවා. මේ දවස්වල ලංකා පුවත්පතේ ලිපියක් ලියනවා. ඊට අමතරව පිටපත් ලියනවා. මේ වනවිට චිත්‍රපට තිරරචනා දෙකක් ලියා අවසානයි. එය අධ්‍යක්ෂණය කිරීමට නිෂ්පාදකවරු දෙදෙනෙකු මුණ ගැසෙනතුරුයි ඉන්නේ. අලුත් ම කතා ප්රවෘත්ති දෙකකුයි ඒ සඳහා පාදක වුණේ. මා ලියූ ගීත කිහිපයත් මගේ රසිකයන් බොහොම ආදරයෙන් වැලඳ ගත්තා. ‘මං බොරැල්ලේ ඈ බදුල්ලේ’ ගීතය ඒ අතරින් එක් ගීතයක්. අලුතින් ම නිර්මාණය වූ ගීතයක් ළඟදිම රසිකයන් අතරට පිවිසීමට නියමිතයි. ඒ ‘ඔබ හොඳීන් දන්නවා -මම ඔයාට ආදරෙයි කියා’ කියන ගීතයයි. ඒ වගේ ම මගේ ජීවිතයේ පැමිණි ගමන්මඟ හා එහි විඳී අනේක දුක්කම්කටොලු රැගත් මගේ ජීවිත කතාවත් ලබන වසරේදී පොතක් ලෙස එළිදැක්වීමටයි සිතාගෙන සිටින්නේ.
ඔබ හුදු ජනප්‍රියත්වය සඳහාව වෙන්වූ ගීත කිහිපයක් පමණක් ගයන්නේ නැතිව සුභාවිත ගීත ගැයීමට නොසිතන්නේ ඇයි?
‘මං කවදාවක් කාටවත් ආදරේ නොකළ බව’ කියන ගීතය එවැනි ගීතයක්. ඒ වගේ ම බොහෝදෙනා ගීත කිහිපයක් ලියලා දෙන්නැයි කියන ඉල්ලීමත් තිබෙනවා. මා ලියූ ගීතයක් ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩි මහත්තයා ගායනා කර තිබෙන බව කියන්නේ සතුටින්. ඒ මගේ දුව ගැනයි ලියලා තිබෙන්නේ.
දුව ගැන ඔබගේ අතින් පද බැඳුණු ඒ ගීතය ලියන ලද්දේ විශේෂ හේතුවක් අලළාද?
ඈ වැඩිවිය පැමිණි අවස්ථාවේදියි මගේ අතින් මේ ගීතය ලියැවෙන්නේ.
පුංචි මල් ගසක් ටික ටික දලුලනවා
අහස් කුසට හෙමි හෙමිහිට ළං වෙනවා
ඒ ලෝ දහම දැන දැන මා ළතැවෙනවා
මගේ ලොකු දුවත් ටික ටික ඈතට යනවා.........
දුවේ නුඹට මා තුළ වූ ආදරය
දනිමි හොඳීන් රැළි නඟනා සාගරය
ඒ ආදරය මට නැතිවන ආරකය
ඈ තනිවෙලා ඉන්නේ ගෙයි මුල්ලකය......
යන්න ඒ ගීතයේ පදවැල් කිහිපයක්.
ඉදිරි දිනවලදි ඔබගේ කලා කටයුතු පෙළ ගැසී තිබෙන්නේ කුමන ආකාරයටද?
සැප්තැම්බර් මාසයේ 6 වැනිදා මමත්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය බලා පිටත්වීමටයි සිතාගෙන ඉන්නේ. එහිදි ‘වත්තල ගිහා විත් මහරගම කුමා’ කියලා සංගීත නාට්‍යමය ජවනිකා රැගත් ප්‍රසංගයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ ප්රසංගයේදී අපේ රටේ දේශපානය නිර්මාණය වන හැටි, සින්දු හැදෙන හැටි, මාධ්‍ය කොහොමද හැසිරෙන්නේ කියන කාරණා පිළිබඳ විචාරයකුයි කියැවෙන්නේ. එය විදේශයේ රඟදැක්වීමෙන් අනතුරුව පසුව අපේ රටට හඳුන්වා දීමටයි අප සිතාගෙන ඉන්නේ. ඒ කාර්ය සමාජයේ යම් කියැවීමක් සහිත ප්‍රසංගයක් වේවි. මගේ රංගනය රැගත් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදි තිරගත වේවි. ඒ වගේ ම මමයි රොඩ්නි වර්ණකුලයි, සමන් ලෙනින් තුන්දෙනා ම එකතු වෙලා ත්‍රී පේස් නමින් දෙසැම්බර් මාසයේ සංගීත ප්‍රසංගයක් පවත්වන්නටත් සූදානමින් ඉන්නවා. විදේශ ගමනින් පසුව මුලින් ම නියැළෙන කටයුත්ත එයයි.
සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් නොපැමිණි යුගය නිමා වී යළිත් ශාලා වෙත සිනමා ප්‍රේක්ෂකයන් පැමිණෙන බවක් පසුගිය කාලයේ අප දුටුවා. ඒ කාරණය ඔබ දකින්නේ මොන විදියටද?
සිනමාවේ කුමන ප්‍රශ්න තිබුණත් අපට පෙනෙන කාරණයක් වන්නේ මේ වනවිට එහි හොඳ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් තිබෙන බවයි. සිනමා ශාලාවට සිනමා ප්‍රේක්ෂකයන් ගෙන්වා ගත හැකි නිර්මාණ මඟින් ඔවුන් සිනමා ශාලාවට සිනමා පටයක් නැරැඹීමට පැමිණෙනවා කියන කාරණය ඔප්පු කර පෙන්වා තිබෙනවා. ඉන් පෙනෙන්නේ සිනමාව වැටී තිබීමකට වඩා නිර්මාණවල වැටීමයි සිදු වී තිබුණේ. ඒ නිසා මේ මඟින් අප සොයා ගත යුත්තේ අපේ සිනමාවක්. සිනමාවට අවශ්‍ය සියලු දේ ලබාදෙමින්, ශාලා දියුණු කරමින් මේ කාර්යය කිරීමට අප උනන්දු විය යුතුයි.
තිලානි ශානිකා විතානාච්චි
සරසවිය