"සමනළ මරණය" නමින් සිය පස්වැනි කාව්‍ය සංග්‍රහය එළිදක්වා ඇති ප්‍රවීණ ලේකා ජයන්තා රුක්මනී සිරිවර්ධන මේ වන විට සිය නිර්මාණ චාරිකාවේ දශක හතරක දිගු දුරක් පැමිණි ප්‍රවීණ ලේකාවකි.
1991 වර්ෂයේ දී ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "හරස්කඩ" රචනා කරමින් පාඨකයන් අතරට පිවිසි ඇය ඉන් අනතුරුව කෙටිකතා, නවකතා කීපයක් රචනා කරමින් ඉහළ පාඨක ඇගයුමට ලක්වන අතර ඇගේ බොහෝ නිර්මාණ මානව ප්‍රේමය තේමා කොට රචනා වී තිබීම ඇයගේ නිර්මාණකරනයෙහි දැකගත හැකි සුවිශේෂී කරුණකි. ඒ පිළිබඳවත් දශක හතරකට ආසන්න ඇයගේ නිර්මාණ චාරිකාවත් පිළිබඳව කළ සංවාදයක් පහත පළවේ.
ඔබ නිර්මාණකරණයට පිවිසිලා මේ වනවිට දශක කීපයක් ගතවෙනවා. ක්ෂේත්රයට පිවිසි ආකාරය පිළිබඳ යම් සඳහනක් කරමින් මේ කතාබහ ආරම්භ කළොත්.
මම කුඩා කාලයේ පටන්ම කවි, කෙටිකතා, චිත්‍ර ආදියත් එක්ක සමීප ඇසුරක් පවත්වනවා. ඒකාලයේ රූපවාහිනිය කියල දෙයක් තිබුණේ නෑ. ගුවන් විදුලිය තමයි අපේ නිර්මාණ එළියට දුන්න එකම මාධ්‍ය වෙලා තිබුණේ ඊට අමතරව පුවත්පත්වලට කෙටි කතා රචනා කළා. එමෙන්ම කාලය ගෙවෙනකොට මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමඟ ඒ දේවල් තාවකාලිකව අතපසු වෙන්න ගත්තා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරල ශ්‍රී ලංකා මහ බැංකුවෙ රස්සාවකට යනව. ඔය අතරේ මම පරිපාලන සේවයේ විභාගයට පෙනී සිටිය. ඉන් සමත් වෙලා මම මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉඩම් නිලධාරිනිය ලෙස වැඩ භාර ගන්නවා එතනදී මට විදේශීය ශිෂ්‍යත්වයක් හිමිවෙනව. මට ඒ ශිෂ්‍යත්වය ලබා දෙන්නෙ එවකට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම ලේකම්වරයෙක් වන ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන මහත්තය. ඒ ගිහින් ඇවිත් මම මුලින්ම ලේඛනයට පිවිසෙන්නෙ "දිවයින ඉරිදා සංග්‍රහය" පුවත්පත හරහා එතනදී මට ඒ අවස්ථාව ලබා දුන්නේ එඩ්මන් රණසිංහ මහත්තය. අද මම මෙතන ඉන්නේ එහෙම ආව ගමනක ප්‍රතිඵලයක් විදිහට. මෙතනදී තවත් මතක් කළ යුතු පුද්ගලයෙක් තමයි දයාසේන ගුණසිංහ මහත්තයා. මගේ මුල්ම කාව්‍ය සංග්‍රහයට පෙර වදනක් ලියල දුන්නෙත් දයාසේන ගුණසිංහ මහත්තයා.
ඔබ කවිය සහ කෙටි කතාව එකසේ ඇසුරු කරන ලේකාවක්. එය නිරායාසයෙන් ඔබ තුළ පිහිටි හැකියාවක්ද?
ඇත්තටම එවැනි ප්‍රශ්නයක් මට යොමුකළ එක ගැන සතුටක් වගේම පුංචි ආඩම්බරයක් දැනෙනව. නමුත් එය මා තුළ පමණක් පිහිටි හැකියාවක් නෙවෙයි.
මේ වෙද්දි ලේඛන කලාව තුළ ඔය කියන ද්විත්ව හැකියාව සහිත කීප දෙනෙක්ම ඉන්නවා. නමුත් මට පොඩි කාලෙ ඉඳන්ම කවියට ලොකු ඇල්මක් තිබුණ. ඒකට අපේ ගෙදර පරිසරය ලොකු උත්තේජනයක් දුන්න මොකද මගෙ අම්ම තාත්ත කියන්නේ කලාව ළඟින්ම ඇසුරු කළ දෙදෙනෙක්ම වීම නිසා එහෙම වෙන්න ඇති. ගුවන් විදුලියෙ ප්‍රචාරය වූ මගේ මුල්ම නිර්මාණය වුණෙත් කවියක්. කෙටි කතාව සම්භාවනීයව කතා කළොත් ඒ කාළේ සෝවියට් පරිවර්තන මම විශාල වශයෙන් කියෙව්ව. ඊළඟට මම රාජකාරි වශයෙන් ලබපු අත්දැකීම් මිනිපෙ, හසලක වගේ ඈත දුෂ්කර ප්‍රදේශවල රැකියාව කරද්දී ලබපු අත්දැකීම්වලින් පෝෂණය වෙද්දී සහ ඒවා සටහන් ලෙස ලියා තැබිය යුතුයි කියන තැනදී තමයි මම ඒ සඳහා මාධ්‍යයක් ලෙස කෙටි කතාව හා නවකතාව තෝරා ගත්තේ.
ප්‍රවීණ කිවිඳියක් කෙටි කතා රචිකාවියක් ලෙස ඔබ වඩාත් ඇළුම් කරන්නේ සහ බලාපොරොත්තු සහගතව සිටින්නේ මේ මාධ්‍ය දෙකෙන් කවර මාධ්‍ය කෙරෙහිද?
හුඟ දෙනෙක් මාව හඳුන්වන්නෙ කිවිඳියක් විදිහට. මම ඒකට කැමැතියි මොකද කවිය කියන්නේ ඉතාමත් සියුම් මාධ්‍යයක් හින්දා. කෙටි කතාව ගත්තත් එහෙමයි එයත් ඉතාමත් සියුම්ව සිදුකළ යුතු නිර්මාණකාරියක්. මම පසුගිය දවස්වල කළ "නිරුවත් පුෂ්පය" ඒ වගේම ඊට පෙර රචනා කළ "සහතික කළ බිරිඳ" කියන කෙටි කතා සංග්‍රහ දෙක පිළිබඳ සමාජයේ යම් කතා බහක් ඇති වුණා. මම විශ්වාස කරනව ඒ තුළ යම් සාර්ථක බවක් ගැබ්වෙලා පැවැති නිසා ඒව පාඨකයන් අතරට ගියා කියලා.
ඔබගේ ආධ්‍යාපන රටාව තුළ ඔබටම සුවිශේෂි වූ යමක් පවතිනවාද?
ඔව්..... කවිය ගත්තත් කෙටි කතාව ගත්තත් මම භාෂාව හා ආකෘතිය තෝරා ගන්නේ කතා ශරීරය අනුවයි. මගේ අලුත්ම කෙටි කතා සංග්‍රහය වන නිරුවත් පුෂ්පය ගත්තත් ඊට ඇතුළත් කතා කීපයකදීම මම භාෂාව හා ආකෘතිය තෝරා ගන්නේ ඒ ඒ චරිත හා පරිසරයට උචිත අයුරින් ඇත්තටම අනන්‍යතාවය කියන දෙය තමන් කියවන දෙයින් හා තමන් ලියන දෙයම සංස්කරණය කිරීම තුළින් උපදවාගත යුතු දෙයක්.
"නිර්මාණවේශය" කියන්නෙ යමක් ලිවීමට පෙර මනස තුළ ගොඩනගා ගතයුතු වෙනම රාජධානියක් කියල ඔබ විශ්වාස කරනවාද?
මෙහෙමයි....ඒක එක එක්කෙනාගේ කුසලතාවය මත තමයි තීරණය වෙන්නෙ. ඉතාමත් දක්ෂ කෙනකුට බස් එකේ යන ගමන් හොඳ ගීතයක් කවියක් ලියන්න පුළුවන් ඒකටත් වචනයක් විදිහට ගත්තොත් නිර්මාණවේශය කියල කියන්න පුළුවන් හැබැයි මට යම් නිර්මාණයක් කරද්දී කාලයක් ගතවෙනව. නිර්මාණයට අදාළ නිමිත්ත කාලයක් තිස්සේ මගෙ හිත ඇතුළෙ පැහැවන්න ඕන ඊට පස්සේ තමයි මම ඒක කොලේකට ගන්නේ. ඊට පස්සෙත් කීප වතාවක් කපල කොටල තමයි අවසන් ඵලය නිර්මාණය කර ගන්නේ.
දවසේ කාල වේලාව තුළ ඔබ විසින් නිර්මාණ කටයුතු සඳහා තෝරාගත් වේලාවක් හා ඒ සඳහා සුදුසු පරිසරයක් සකසා ගන්නවාද?
මම හුඟාක් වේලාවට ඒ සඳහා තෝරා ගන්නේ රාත්‍රි කාලය. නිවසේදී එම කටයුතුවල යෙදෙනවනම් ඒ සඳහා මගේ පුස්තකාල කාමරය තමයි බොහෝ වේලාවට පාවිච්චි කරන්නෙ. එතනදී මගේ හිතට පහසුවක් දැනෙනවා. හැබැයි පොත් පත් කියවීමේදී මම කොහේ ගියත් පොතක් රැගෙන යනව. ඒ කියවීම තුළ තමයි ලිවීම පිණිස වන පන්නරය මට ලැබෙන්නේ.
ඇතැම් ලේඛකයන් දරන මතයක් තමයි වසරක් තුළ කෙටි කතා හෝ නවකතා කීපයක් රචනා කළ හැකියි කියන කාරණය ඒ පිළිබඳ ඔබගේ අදහස.
ඕනෑම කෙනෙක් යමක් කරද්දී නිෂ්චිත එල්ලයක් පැහැදිලි අරමුණක් තිබිය යුතුයි. ඒ තත්ත්වයන් සම්පූර්ණ නොකොට යමක් කරනව කියන එක තුළ ඒ දේ කෙතරම් දුරට සාර්ථකද කියන ප්රශ්නය මතුවෙනවා.
අද වනවිට "රසවින්දනය" පිළිබඳ ගැටලු පවතිනව ඒ පිළිබඳ ඔබ විසින් දරන මතය.
අපි හැමෝටම එකම රුචිකත්වයක් පවතින්න බැහැනෙ. ඒක අපේ ආගම විසින් පවා කියල තියෙන දෙයක් ඒක එක එක්නෙකා සහජයෙන් අරන් එන ප්‍රමාණය අනුව නිෂ්චය වන දෙයක් ඒ හින්ද ඒ ඒ අයට සරිලන විදිහට රසවින්දනය කරනව කියල අපට කාටවත් දොස් කියන්න බෑ.
නමුත් සෑම නිර්මාණකරුවකුගේම පරමාර්ථය වෙන්න ඕන රසවින්දනය කියන දෙයින් පහළ මට්ටමක ඉන්න පිරිස උඩට ගැනීමට එහෙමත් නැත්නම් ඒක වර්ධනය කිරීමට අවශ්‍යයි කියන චේතනාව එහෙම නැතුව නීරස ඕලාරික දේවල් ලියා තැබීමෙන් නෙවෙයි. දක්ෂ ලේඛකයෙක් පාඨකයන්ව තමන් වෙත ඇදගැනීම කළ යුත්තෙ ඒක තමයි ලේඛකයාගේ කාර්ය භාරය විය යුත්තේ.
රටක් ලෙස ගත්විට අද වනවිට බහුතරයක් ඉන්නෙ උසස් සාහිත්‍ය කෘති පරිශීලනය අතින් පසුගාමී තැනකද?
රටක් ලෙස අපි ඉන්නෙ සාක්ෂරතාවය අතින් ඉහළම තැනක. නමුත් කියවීම පැත්තෙන් විඳ ගැනීම පත්තෙන් අපි ඉන්නෙ තරමක පහළ අඩියක. ඇතැම් රටවල් තියෙනව ඒ අය ජීවිතයෙන්ම කලාවට හුරුවෙලයි ඉන්නේ. අපේ අසල්වාසිය ඉන්දියාව ගත්තත් ඒ අයගෙ ඇඟේ තියෙන දෙයක් තමයි සංගීතය හා රංගනය එතනදි අපි දුක්විය යුතුයි. අපට මෙච්චර හොඳ සාක්ෂරතාවක් තිබිලත් හොද දේ තෝරාගන්න නොහැකිවීම පිළිබඳව මේ තත්ත්වයට මාධ්‍යයත් වගකිව යුතුයි. ඇතැම් මාධ්‍ය තුළින් විකාශනයවන යම් යම් හරසුන් දේ තුළ ඇති නිසරු බවට ඒ මාධ්‍ය හිමිකරුවන් වගකිව යුතුයි. ඒ හින්දා හොඳ දේට ඉඩක් අහිමිවීමත් ඔය කියන පසුගාමිත්වයට බලපෑමක් කරල තියෙනවා.
කලක පටන් පවතින දේශපාලන ආර්ථික සමාජීය ගොහොරුවක ගිලිල ඉන්න ජනතාවක් ඉන් මුදා ගැනීම පිණිස ලේඛනයට කළ හැකි බලපෑම කවරාකාරද?
රටක අධ්‍යාපනය, කලාව, සෞඛ්‍යය ඔය මොන දේ ගත්තත් ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියල මම විශ්වාස කරනව.
එහෙම නොවීම තමයි කනගාටුවට කරුණක් වෙලා තියෙන්නෙ. මම කියන්නේ නෑ කලාවට සීමා බන්ධන පැනවිය යුතුයි කියල. නමුත් යම් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනව නම් දැන් ඇතැම් ලේඛකයන් ඉන්නව ඉතා උසස් මට්ටමේ විදේශීය කෘති පරිශීලනය කරල ඒ අන්තර්ගතය තුළ ඉඳගෙන ඒක අපිට ඔරොත්තු නොදෙන ආකාරයට පරිවර්තනය කරල දේශීය පාඨකයන්ට ලබාදෙනව. ආකෘතිය හදාගෙන ඒ තුළට තමන්ගෙ නිර්මාණය ඇතුල් කරන්න යැමේදී එහි පැවතිය යුතු රසයට හානි වෙනව. එතකොට ඒ නිර්මාණය තුළින් පාඨකයා තෘප්තිමත් වන්නෙ නෑ. එවිට සිද්ධ වෙන්නේ කියවීමේ රුචිය හිනවීමක්. මේක නවකතාවට කෙටි කතාවට පමණක් වූ දෙයක් නෙවෙයි. අනෙක් කලා මාධ්‍ය තුළත් මේක සිද්ධ වුණා. ඒ හින්දා මම විශ්වාස කරනව ගැටලු සහගත රසවින්දනයෙන් පාඨකයන් මුදාගෙන ඉතාමත් සරල බසකින් ගැඹුරු පණිවිඩයක් දෙන්න පුළුවන් නම් ඔය කියන තැනින් ජනතාව මුදා ගන්න ලේඛකයාට යමක් කළ හැකියි කියන කාරණය.
සාකච්ඡා කළේ රුවන් ජයවර්ධන