චන්දන වික්‍රමසිංහ අද අපේ රටේ සිටින දක්ෂතම නර්තන ශිල්පියෙක්. දෙස් විදෙස් ප්‍රසංග සමඟ ඉතා කාර්ය බහුල දිවියක් ගත කරන චන්දන අවුරුදු දොළහකට පසුව මුද්‍රා නාට්‍යයක් නිර්මාණය කර ඇත. එහි මංගල දර්ශනය මෙම 28 වැනිදා සවස 7.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒ. සීතාගේ කතාව (Story of Seetha) මංගල දර්ශනය ඕනෑම අයෙකුට නැරඹිය හැක. ඒ එය නොමිලේ ප්‍රදර්ශනය කරන බැවිනි. චන්දන වික්‍රමසිංහගේ ජීවිත ගමනේ පනස් වැනි උපන් දින සැමරුම නිමිත්තෙන් ප්‍රේක්ෂකයා වෙත පිදෙන තිළිණයකි "සීතා". අපි චන්දන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූයේ මේ නිමිත්ත වෙනුවෙනි.
අවුරුදු විස්සක් මේ ගමන ආවේ සුව පහසු ගමන් මගකද?
නෑ.......පහුගිය කාලය ගැන කතා කරන්න අවශ්‍යතාවකුත් නෑ. මට කරදර කළ අය ගැන කතා කරන්නත් මට දැන් වෙලාවක් නෑ. මට වැඩිපුරම කරදර කළේ මගේ ගුරුවරු. අදටත් මට කරදර කරන්නේ ගුරුවරු ඒත් ගුරුවරුනේ. ඒ නිසා ඉවසා දරාගෙන සිටිය යුතුයි. මල් ඇතිරූ පාරක නොවේ මම ආවේ. අලුත් පරපුරට කියන්නේ මොන විදිහේ ප්‍රශ්න බාධක ආවත් දක්ෂතාව, කුසලතාව තිබේ නම් ඉදිරියට යන්න පුළුවන්. කුසලතාව කියන්නේ කුසල් පෙර ආත්ම භාවවලදී කළ කුසල් තමයි කුසලතා විදිහට මේ භවයේදී ලැබෙන්නේ. ඒ ලැබෙන දේ නිහතමානීව විඳගෙන යා යුතුයි. ලංකාවේ වැඩිපුරම බැට කාපු මැද ඉන්න නැට්ටුවා මම. මට දෙපසින් අලුත් පරපුර සහ මට වඩා ප්‍රවීණ පරපුර ඉන්නවා. ඔය පරපුරු දෙකටම මම මැදිවෙලා ඉන්නේ. ජනනාත් වරකාගොඩ, ප්‍රදීපා ආරියවංශ උපේඛා ගංගොඩවිල මගේ සමකාලීනයන්.
ඔබ මේ වනවිට බොහෝ රටවල නර්තන ඉදිරිපත් කරනවා. උපන් රට නියෝජනය කරන සංස්කෘතික දූතයෙක් බවට ඔබ පත්වෙලා.
ඔව්.... මම රට රටවල ගිහින් නිකං ඉන්නේ නෑ. අපේ සාම්ප්‍රදායික නැටුම ඉදිරිපත් කරන ගමන් අපේ රටේ සංචාරක ව්‍යාපාරයත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. මම ඒ රටවලට ගිහින් කියන්නේ ශ්‍රී ලංකාව ලස්සන රටක් එන්න කියලා. නැටුම් ප්‍රසංගවලට ගියාම ඒ රටවල රූපවාහිනි නාලිකා මාව සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවනවා. ඒ සාකච්ඡාවලදී මම කරන්නේ අපේ රට ගැන, රටේ සුන්දරත්වය ගැන කියන එක. අපි අපේ ආර්ථිකය සංවර්ධනය කර ගත යුතුයි. කලාකරුවන් කියන දේ මිනිස්සු අහනවා. වක්‍රාකාරයෙන් මම නැටුම විතරක් නොවේ, රටේ ආයෝජනය කරන ලෙසටත් විදේශිකයන්ට ආරාධනා කරනවා.
නර්තන ශිල්පියෙක් එසේ කළ යුතුද?
මම එහෙම කරනවා. මට කවුරුත් කියලත් නෑ. මට ආණ්ඩුවෙන්, ඇමැතිවරු හෝ මන්ත්‍රීවරු කියලත් නෑ. මගේ යුතුකම මගේ රටට සේවය කරන එක. ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. ඒක මගේ කැමැත්ත කාටවත් තහනම් කරන්න බෑ. සමහරු රට රටවල ප්‍රසංගවලට ගිහින් සාද දානවා ෂොපින් යනවා. මම කරන්නේ රට ගැන වර්ණනා කරමින් ප්‍රවර්ධනය කරන එක. ඒ රටවල කුඩා දරුවන්ට නැටුම් වැඩමුළු පවත්වනවා. අද නර්තන කලාව තිබෙන තැන ගැන ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? නෑ. ජනප්‍රිය සංස්කෘතිය හරහා අපිත් වැරදිකරුවන් වුණාද කියලා වෙලාවකට හිතෙනවා. ඒත් "ලිට්ල් ස්ටාර්" තරගය නිසා මම එහෙම හිතන්නේ නෑ. දෙරණ නාලිකාව පුංචි දරුවන්ට "ලිට්ල් ස්ටාර්" ඔස්සේ හොඳ අවස්ථාවක් දී තිබෙනවා. කලායතනවල, පාසල්වල තරගවලට ගියාම මම දැකලා තියෙනවා ගුරුවරු රණ්ඩු වෙනවා. එක එක ළමයින්ගේ පැත්ත ගත්තා කියලා. නැටුම් ගුරුවරු තමයි ඒ රණ්ඩු කරන්නේ. නැටුම් ගුරුවරු හරි නපුරුයි. නමුත් ලිට්ල් ස්ටාර් තුළ සුදුසු දරුවාට සුදුසු තැන දෙනවා. ඒත් යම් යම් වැඩ සටහන්වල ඉදිරිපත් කරන අංග දැක්කාම දුක හිතෙනවා. මේ ලෝකේ දෙයක් නොදන්නා නළු නිළියන්, ගායක ගායිකාවන් අඩව්, කස්තිරම් අල්ලනවා දකිනවා. ඇතැම් නාලිකා මේ කරන විගඩම් දැක්කාම හිනා යනවා. ලස්සන නැටුම් තියෙනවා. නමුත් සාම්ප්‍රදායික නැටුමට නටන්න බැරි අය කරන හානිය විශාලයි. ඔතන රජවරුන් චන්න විජේවර්ධන, කුලසිරි බුදවත්ත, රැජිනි සෙල්වනායගම් වගේ ගුරුවරු රවිබන්ධු අපි ඉන්න තැන්වල බරක් හරයක් වටිනාකමක් තියෙනවා. බොලිවුඩ් නැටුම් ඕනේ. මමත් බොලිවුඩ් නැටුම් නටනවා. නමුත් සාම්ප්‍රදායික බෙරපද අරගෙන ජනප්‍රිය ගායකයන් ඇඟ සොලවනවා. ගායක ගායිකාවන්ට සහ නළු නිළියන්ව අන්දවනවා මේ නාලිකා.
කෙනෙක් හොඳ නර්තන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්නේ කොහොමද?
පළමුව ඉගෙන ගත යුතුයි. බුද්ධිය මෙහෙයවිය යුතුයි. හොඳ නර්තන ශිල්පියෙක් වෙන්න නම් තමන්ගේ ඇඟපත ලස්සනට තබා ගත යුතුයි. දැන් මම රෝමියෝට නැටුවොත් ගැළපෙනවද සුදුසු වයසේදී සුදුසු දේ සුදුසු ලෙස කළ යුතුයි. නිරන්තර අභ්‍යාසය අවශ්‍යයි. මගේ නර්තන ශිල්පීන් ගැන හැම රටකම කතා කරනවා. මගේ පිරිමි ළමයින්ගේ ඇඟපත දැක්කම.... ශරීරයේ නම්‍යශීලී බව දැක්කම නරඹන්නෝ විශ්මයට පත්වෙනවා. අපි දැකලා තියෙන්නේ හැමදාම ලස්සන ගැහැනු ළමයින් නටනවා විතරයි. හැත්තෑව අසූව දශකයේ පිරිමින්ට නැටුම නැතිවුණා. ත්‍රිභංග නැටුම් ශෛලියක් ගෙනැත් අඩනිරුවත් ගැහැනු නැටුවා. එහෙම නටපු ලොවකදී අපි පටන් ගන්නේ සෙංකඩගල නැටුමෙන්. ඒ නිසා තමයි ලෝකයේ බොහෝ රටවල මට ආරාධනා ලැබෙන්නේ. සමහරු දන්නෝ බුදුන්ගේ ගීයට අඩ නිරුවත් නැටුම් කළේ. දැන් ඒ අයගේ බොරුව හෙළි වී ගෙන යනවා. අපි අපේ ඉතිහාසය නර්තනයෙන් ගෙන එනවා. එනිසා හොඳ නැටුම් ශිල්පියෙක් වෙන්න නම් රටේ ඉතිහාසය, සාහිත්‍යය යුගය දැනගත යුතුයි. මම යුගය, ඉතිහාසය කියවා තිබෙන නිසා වෙන්න ඇති අබා, කුසපබා පත්තිනි, යශෝදරා, වැනි චිත්‍රපටවල නැටුම් අධ්‍යක්ෂණය ලැබෙන්නේ. ඉතිහාසය නොදන්නා නැට්ටුවෝ පිරිසක් තමයි පසුගිය කාලේ නැටුම් ක්ෂේත්රයේ රජ කළේ. මේ තනි අශ්වයාගේ රේස් එක මම කැඩුවා. මම එය බය නැතුව කියනවා. මම ඒ කැඩුවේ බුද්ධියෙන්. මම සාස්තරේත් එක්ක සූත්තරේත් දන්නවා.
ඔබ පවසනවා නැට්ටුවෙක් වෙන්න හොඳට ඉගෙන ගත යුතුයි කියා එසේ. ඉගෙන ගත හැකි තැන් තියෙනවද?
පළමුව බලන්න ඕනෑ ගුරුවරයා කවුද මොනවද සුදුසුකම් කියලා. විනය වැදගත්. ගුරුවරයා තුළත් විනය තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමැති නෑ. මම නර්තන ගුරුවරුන්ගේ විනය ගැන මාධ්‍යයට කියලා තොප්පි දාගත් කිහිප දෙනෙක් හිටියා. ඒ නිසාම මට වැඩසටහන් ගොඩක් නැති වුණා. මගෙ කලායතන හතේ දරුවෝ හාර දහස් ගණනක් ඉගෙන ගන්නවා. ඒ හොඳ නිසානේ.
අද අපි දකින්නේ අඩ නිරුවත් නර්තන අපේ නැටුම් කලාව තිබිය යුත්තේ මෙතැනද?
ඉතින් ගෙනත් ඉවරනේ. අපිද ගෙනාවේ නෑ. අපි ගෙනාවේ නෑ. අද ලංකාවේ ප්‍රවීණම සාම්ප්‍රදායික නැටුම් කණ්ඩායමක් රතු පාටින් වෙස් ඇඳලා නටනවා. මේ අය පරම්පරාව රකිනවා කියලා. වෙස් නැටුම් මසාලා කරලා තියෙන්නේ. වෙස් ඇඳුම කියන්නේ මුල් යක් දෙස්සාගේ ඇඳුම් කට්ටලය. මලය රජතුන් කට්ටුව කොහොඹා කංකාරිය කරන්න ඇවිත් මේ ඇඳුම්වලින් කොටසක් දීලා ගියා. දළදා වහන්සේ වැඩමවන්න ඉදිරියෙන්ම නටන්නේ හොඳ පවිත්‍ර සුදු ඇඳුම් ඇඳගත් අපේ මුල් යක් දෙස්සෝ. දැන් ඒකත් විනාශ කරලා. කවුද කළේ මමද සාම්ප්‍රදායික නැට්ටුවෝ රතු පාටින් රත්තරන් පාටින් වෙස් ඇඳලා අපිට දොස් කියනවා. අපි වෙස් ඇඳුමට කලර් දාලා නෑ. බෙර ඇඳුමට කලර් දාලා නෑ. මම ඉතාලියට ගියා. කලුපාටින් වෙස් අඳිනවා. අලුත්ම විනාශය තමයි රතුපාට, රත්තරන් පාට වෙස් ඇඳීම. ඒක කළේ ලංකාවේ පාරම්පරික නැටුම් කණ්ඩායමක්, පරම්පරාවට මිශ්‍ර වූ අප්‍රසන්න අය කළ වැඩක්. මුල් යක්දෙස්සා මල්ටි කලර් කිරීම අලුත්ම ව්‍යසනයයි.
අද නැටුම පරිහානියට ලක්වෙලා
ඉගෙන ගත්තු නැට්ටුවෝ අඩුයි. රූපවාහිනි නාලිකා පුරවන නැට්ටුවෝ වැඩියි. රුපියල් විසි පන්දහසක් විතර දුන්නාම ඕනෑම දහ ජරාවක් හදලා දෙනවා. ගොන් ආතල් ගන්නා නැටුම් ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් එයාලාගේ ගමන ගියාවේ. අපි අපේ ගමන යනවා.
ඔබ දැන් මුද්‍රා නාට්‍යයකට සූදානම්
මුද්‍රා නාට්‍යයක් කරන්නේ 2005 න් පසුව. අන්තිමට කළේ "මයුර සංදේශය" එහි නිර්මාණ අධ්යක්ෂවරයා වුණේ හේම නලීන් කරුණාරත්න. සංගීත අධ්යක්ෂවරයා වුණේ ජගත් වික්‍රමසිංහ මම නර්තන අධ්යක්ෂවරයා "ස්වර්ණවාහිනී" ස්වර්ණ අභිමානය" වෙනුවෙන් කළේ. එය එංගලන්තයෙත් පෙන්නුවා. ඉන් පස්සේ මුද්‍රා නාට්‍යයක් කරන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒත් මම හිතුවා මේ අවුරුද්දේ කරන්න.
විශේෂත්වය මොකක්ද?
මේ අවුරුද්දේ තමයි මගේ පනස් වැනි උපන් දිනය. ඒ වෙනුවෙන් ලෝකයට ගෙන යන්න ලෝකයට දැනෙන කතාවක් කරන්න හිතුවා. ඒක අපටත් සම්බන්ධ විය යුතුයි. ඒ නිසා තමයි මම "රාමායනය" බැලේ එකක් විදියට කරන්න හිතුවේ. මෙම 28 වැනිදා තමයි මුද්‍රා නාට්‍යය හවස 7.00 ට කොළඹ බිෂොප් රඟහලේ තියෙන්නේ. දෙවැනි එක තියෙන්නේ ඩුබායිවල මගේ ව්‍යායාමය සාර්ථකයි. ලෝකයම දන්නා දෘශ්‍ය කාව්‍යයක් නැටුමට හැරවීම පහසු නෑ.
Story Seetha නමින් තමයි කරන්නේ මේක "සීතා" ගේ කතාව පේෂල මනෝ- තමයි සංගීතය. අපි නොදන්නා වෙනම සංගීත ඤාණයක් පේෂල සතුයි. බරණැස හින්දු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරපු ශිල්පියෙක් ඇත්ත පේෂල එළියට එන්නේ " සීතා" තුළින්. වේදිකා පරිපාලනය උපාලි ආරියසිරි. ඔහු විවිධ ආලෝක රටා මවන්නෙක්. එකම ගීතය ගායනා කරන්නේ විශාරද නන්දා මාලිනිය. ගී පද රචනාව රත්න ශ්‍රී විජේසිංහයන්. හීනටිගල ප්‍රේමදාස වේදිකා පසුතල. හිරාන් විජේසේකර ඇඳුම් නිර්මාණය කරනවා. මෙය අපි දකින රාමායනයට වඩා වෙනස් රාමායනයක් වේවි. දවස් දෙකක සීතාගේ කතාව තමයි මෙහි රඟදැක්වෙන්නේ. රාමාගේ සහ සීතාගේ සිතිවිලි නර්තනයෙන් ප්‍රබල ලෙස ඉදිරිපත් වෙනවා. ප්‍රධාන චරිත පමණක් සාම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් සෙසු චරිත නූතන ඇඳුම් ඇවිත් බලන්න. නොමිලේ පෙන්වන්නේ මගේ පනස් වැනි උපන්දිනයට නොමිලේ හැම ප්‍රේක්ෂකයෙකුටම බලන්න පුළුවන්.
අජිත් අලහකෝන්
ඡායාරූප : චන්දන වික්‍රමසිංහ ෆේස්බුක් පිටුවෙන්