මේ ලෝකයේ අති දැවැන්ත ගෞරවයකට හා එයටම නොදෙවෙනි වෛරයකට එක සේ පාත්‍ර වූ සහ පාත්රවන ලේඛකයා ඔහු ය. මිඩ්නයිට්’ස් චිල්රන් වෙනුවෙන් 1981 බූකර් සම්මානය, ගෝල්ඩන් පෙන් සම්මානය, රටවල් කිහිපයක ‘වසරේ ලේඛකයා’ සම්මාන සමග ඔහු නිරන්තරයෙන් ජීවත් වන්නේ මරණ වරෙන්තුව සමගය. මේ ‘පළා යමින් සිටින මිනිසා’ (Man on the Run) ගේ අලුත්ම කෘතිය සැප්තැම්බර් 5 වැනිදා වන විට වෙළඳපොළට පැමිණෙන්නට නියමිත ය. එහි නම The Golden House ය.
පෙන්ග්වින් රැන්ඩම් හවුස් (Penguin Random House) ප්රකාශනයක් වන එය ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ටේ්රලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල සමගාමී ප්රකාශනයක් ලෙසින් එළිදකිනු ඇත. පෙන්ග්වින් රැන්ඩම් හවුස් හි සාහිත්‍ය කෘති ප්‍රකාශන අංශයේ ප්‍රධාන සංස්කාරක මෙරූ ගෝකාල් මෙසේ පවසයි. “මේ රෂ්ඩිගේ හොඳම පොතයි. එය මාස්ටර්පීස් එකක් නොව” මාස්ටර් ක්ලාස් එකකි.! ‘ද ගෝල්ඩන් හවුස්’ කෘතිය අප විසින්ම තනාගත් ලෝකයේ ව්‍යාකූලත්වය ගැන ය.”
නිව්යෝක් නුවර වෙසෙන, මුම්බායෙන් පැමිණි ධනවත් පවුලක් 26/11 ඛේදවාචකය (2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය) අමතක කිරීම සඳහා ගන්නා බලාපොරොත්තු සුන් වූ කතාන්දරය ‘ගෝල්ඩන් හවුස්’ හි වස්තුබීජයයි. සිය පුද්ගලික ඛේදවාචකය හේතුවෙන් මැන්හැටන් බලා එන මේ පියා සහ අකර්මණ්‍ය පුතුන් තිදෙනාගේ ‘සැබෑ’ නම් අපට කිසිවිටෙක හමු නොවේ. ඇමරිකාවට පැමිණීමෙන් පසු පියා තමන්ව හඳුන්වා ගන්නේ ‘නීරෝ ගෝල්ඩන්’ යනුවෙනි. ඔහුගේ බාලම පුතා ‘ඩී’ ය. ඩී රැකියාව කරන්නේ ‘මියුසියම් ඔෆ් අයිඩෙන්ටිටි’ හෙවත් ‘අනන්‍යතා කෞතුකාගාරයේ’ ය. ෂල්මන් රෂ්ඩි මෙසේ කියයි. “ඇමරිකාවේදී අප අනන්‍යතා අර්බුදය ගැන කතා කරන විට මේ මොහොතේ වැඩි වශයෙන් තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාවය ගැන ගැටලුවයි. ඔබ එංගලන්තයේ සිටිනවා නම් බ්‍රෙක්සිට් විපත පිටුපස වූ ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටලුව පවතිනවා. ඉන්දියාවේදී මිනිසුන් අනන්‍යතාවය ගැන කතා කරන විට ඔවුන් ඇත්තෙන්ම කතා කරන්නේ ආගමික නිකායවාදය ගැනයි. මේ ස්ථාන ත්‍රිත්වයේම අනන්‍යතා ගැටලුව මහා පරිමාණ වන නමුත් ඒවා වටහාගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරවලින්. මා ඒ ගැනත් සිතුවා..”
එය සැබවින්ම තීව්ර සමතුලිත ක්‍රියාකාරකමක් වශයෙන් අරගලයෙන් වර්ණවත් වූ ගෝලීයකරණයකට අදාළ වෙමින් එකී රාමුව තුළ පරපුරක් අත්දකින සංස්කෘතික සහ දේශපාලනමය රික්තකය පිළිබඳ වෘත්තාන්තයකි. එය, 2009 වසරේ ඇමරිකානු ජනපති බරාක් ඔබාමා ධවල මන්දිරයට පැමිණීමෙන් ආරම්භ වී කෙස් වැටියේ උමුතු පැහැයක් ඇති අමුතු ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වා විකාශනය වන අත්හළ නොහැකි සංයුක්ත රික්තකයකි. රෂ්ඩි විසින් ට්‍රම්ප්ව ‘ජෝකර්’ යනුවෙන් නියමාකාරයෙන් හඳුන්වා දෙයි. ට්‍රම්ප් යනු රික්තකයකින් පැන නැගි අහම්බයක් නොව, පොරොප්පය හැරි බෝතලයකින් පිටතට ආ භූතයෙක් බව ඔහු නොකියා කියයි. අවසානයේ අපේ කාලයේ මහා පළා යන්නා විසින්, විකල්පමය සත්‍යයන්ගෙන් ගහණ නව ලෝක සාමය තුළ අනන්‍යතාවය, සත්‍යය, භීෂණය සහ ව්‍යාජයෙන් පිරී ගිය ලෝකයක් ගැන අසීමාන්තික නවකතාවක් ලියයි. එය නගරය පිළිබඳ පරිදර්ශක සමාජ නවකතාවක් ද වේ.
දැන් වසර 15 ක් මුළුල්ලේ ඇමරිකාවේ දිවි ගෙවන සල්මන් රෂ්ඩි දෙවරක් අවතැන් වූවෙකි. මුලින්ම ළමයෙකු වශයෙන් ඉන්දියාවේ සිට එංගලන්තයේ නේවාසිකාගාරයට පැමිණි විට අවතැන් වූ ඔහු 2000 වසරේදී ලන්ඩන් නුවර සිට නිව්යෝක් වෙත පැමිණි පසුව දෙවැනි වරට අවතැන් වූයේ වැඩිහිටියෙකු ලෙස ය. මේ ‘ඩබල් ඩිස්ප්ලේස්මන්ට්’ හෙවත් ද්විත්ව අවතැන් වීම සිය දිවියට ලැබුණු ත්‍යාගයකැයි ඔහු කියයි. මේ නිසා ඔහු ස්ථාන තුනකින් සිය අමුද්‍රව්‍ය පෝෂණය කර ගනියි.
සල්මන් රෂ්ඩි ලේඛන දිවිය ආරම්භ කළේ සුප්‍රකට ඇඩ්වටයිසින් සමාගමක පිටපත් රචකයෙකු ලෙසිනි. පළමු නවකතා දෙකම ඔහු රචනා කළේ ඒ අතරවාරයේ ය. පළමු නවකතාව වූ 1975 වසරේ රචනා කළ ‘ග්රිමස්’ මායා යථාර්ථවාදය සහ විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අතර දෝලනයක් වූවා පමණක් නොව එය විචාරකයන් හෝ පාඨකයන් අතර සංසරණය වූයේ ද අඩුවෙනි. මේ අතර දෙවැන්න වූ මිඩ්නයිට්‘ස් චිල්රන්” පළමුවැන්නෙන් සම්පුර්ණ හැරවුමක් වූවා පමණක් නොව බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඉස්ලාම් ආගමිකයෙකු ලෙස උපන් රෂ්ඩි තමන් නිරාගමිකයෙකු බව නොවළහා කියයි. මේ අතර 1988 වසරේ එළිදුටු ‘ද සාටනික් වර්සස්’ කෘතිය නිසා ඇති වූයේ මහා කලබලයකි. පොත නිසා ඔහුට ඉරානය ‘ෆැට්වා’ ආඥාවක් පනවා ඇත. කෘතිය විකුණන්නට තබා තිබූ පොත් හල්වලට බෝමබ ගැසිණි. රෂ්ඩි ප්‍රසිද්ධ ජීවිතයෙන් පළා ගියේය. විටින් විට ලෝකයා අබිමුවට පැමිණියත් ඊළඟ දස වසරම ඔහු ගත කළේ තමන් ජීවත් වන ස්ථානය හෙළි නොකරමිනි. මේ වන විට ඒ තත්වය පහව ගොස් ඇතත්, තවමත් තමන්ට ඉරාන රජයෙන් ෆැට්වා ආඥාව ගැනත්, තමන්ව මරා දැමීමට සැලසුම් කරන බවටත් විටින් විට පණිවුඩ ලැබෙන බව රෂ්ඩි කියයි.
ඔහුගේ විෂය සංවිධානාත්මක ආගම සහ දේශපාලනය විසින් ජනිත කර තිබෙන ප්රත්යක්ෂ යථාර්ථයක් වූ සමාජ ව්‍යාකූලත්වයයි. ඉතින් සිතේ පණ තිබෙන තාක්කල් මේ යකඩයා කිසිදා ලිවීම නතර කරන්නේ නැත. වයස අවුරුදු 70 ක් වීත්, අන් සියලු ලේඛකයන්ට වඩා වැඩි වාර ගණනක් සල්මන් රෂ්ඩි නැවත නැවතත් උත්ථානය ලබමින් සිටින්නේ ඒ නිසා ය.
- රදිකා ගුණරත්න-newsweb